පිෂ්ටය අඩුවෙන් කෑවොත් ඇඟට වෙන දේ දන්නවාද?

ජනවාරි 3, 2022

 

අද කාලයේ හැටියට ලෙඩක් නැතිව ජීවත් වෙන්න තියෙනවා නම් මොනතරම් වාසනාවක්ද? ඇත්තෙන්ම ලෙඩ අඩුවීම මහත් වූ ප්‍රතිලාභයකි. වැඩිදෙනෙක් තමන් හරිහම්බ කරන දෙයින් වැඩි කොටසක් වියදම් කරන්නේ බෙහෙත්වලට බව පැවසීම මුසාවක් නොවේ. දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය, අක්මාවේ තෙල් තැන්පත්වීම වැනි බෝ නොවන රෝග අතුරෙන් කොලෙස්ටරෝල් නැතිනම් හෘදයාබාධ, වැඩි පිරිසක් ඖෂධ භාවිත කරන රෝග තත්ත්වයකි.

කොලෙස්ටරෝල් අපේ සිරුරට වැදගත් වන්නේ ඇයි? එමඟින් සිරුරට සිදුවන වාසි අවාසි මොනවාද යන්න ගැන අපි පසුගිය සතියේ දී කතාබහ කළෙමු.

ඒ අනුව අද අපි තවදුරටත් ඒ පිළිබද දැනුවත් වෙමු. කොලෙස්ටරෝල්, හොඳ කොලෙස්ටරෝල් සහ නරක කොලෙස්ටරෝල් ලෙස හැඳින්වීමට හේතුව ද අපි දැන ගතිමු. නමුත් එසේ බෙදා වෙන් කිරීම සෞඛ්‍යයට එතරම් අදාළ දෙයක් නොවේ.

රුධිර කොලෙස්ටරෝල් මට්ටම ජානමය සාධක, හෝමෝන වෙනස්වීම්, නොයෙකුත් ආබාධ, නොයෙකුත් රෝග තත්ත්වයන් වැනි සාධක ගණනාවක් මත තීරණය වේ. ඔබේ ආහාර රටාව ද රුධිර කොලෙස්ටරෝල් මට්ටම තීරණය කරන එක් සාධකයකි. පිළිගත් කොලෙස්ටරෝල් මට්ටම්, ජනගහන සංඛ්‍යලේඛණ සහ දත්ත පදනම් කරගත් මධ්‍ය අගයක් වන බැවින්, එක් එක් පුද්ගලයාට ආවේණික අංගයක් යන සංකල්පය බැහැර කර ඇත.

උදාහරණයක් ලෙස, ඇතැම් සමීක්ෂණවල LDL අඩු අගයක් ගන්නා අය අඩු ආයුකාලයක් ගතකරන ඇති අතර වැඩි LDL අගයක් තිබුණු පුද්ගලයන් වැඩි ආයු කාලයක් ගතකර ඇත. මෙහිදී සැලකිය යුතු කරුණ වන්නේ LDL මට්ටම හෝ සම්පූර්ණ කොලෙස්ටරෝල් මට්ටම හෘද රෝග වැලඳීමට ඇති එකම සාධකය ලෙස නොසලකා අනෙකුත් සාධක ද සැලකිල්ලට ගත යුතු බවයි.

පිෂ්ටය අඩු හා මේදය වැඩි ආහාර රටාවක දී රුධිර කොලෙස්ටරෝල් මට්ටම මඳක් ඉහළ යා හැකිය. TGL (ට්‍රයිග්ලිසරයිඩ) සහ VLDL මට්ටම ශ්‍රීඝ්‍ර‍යෙන් පහළ යයි. එමෙන්ම HDL මට්ටම ඉහළ යයි. මේ වෙනස්වීම් දෙකම ඕනෑම වෛද්‍යවරයකු සතුටට පත් කරයි.

නමුත් ගැටලුව ඇරඹෙන්නේ ඇතැම් විටෙක LDL මට්ටම ඉහළ ගියවිටයි. මෙසේ LDL මට්ටම ඉහළ යන්නට හේතුව වන්නේ පිෂ්ටය අඩු පරිසරයක දී සිරුරේ මේද සංචිත පහළ යාමත්, අක්මාවේ ග්ලයිකොජන් සංචිත පහළ යාමත් නිසයි. වැඩිවන ශක්ති අවශ්‍යතාව සපුරාලීම සඳහා අක්මාව වැඩියෙන් LDL නිපදවා ඒ සමඟ මේද අම්ල සෛල වෙත මුදාහරියි.

මතක තබාගත යුතු කරුණ වන්නේ මේ ආහාර රටාවේ දී සිරුරේ ප්‍රධාන ශක්ති ප්‍රභවය ග්ලූකෝස් නොව, මේද අම්ල බවයි. මේ මේද අම්ල ශක්තිය ලෙස දහනය කරනු ලබන අතර තවදුරටත් සිරුරේ තැන්පත් වී රෝග කාරක ලෙස ක්‍රියා නොකරයි.

පිෂ්ටය අඩු මේදය වැඩි ආහාර රටාව මඟින් පහත වෙනස්කම් ඔබේ සිරුරේ ඇති කරයි.

* උදරයේ සහ සිරුරේ තැන්පත් මේදය අඩු කරයි.

* TGL මට්ටම පහළ දමයි.

* HDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දමයි.

* කුඩා LDL අංශු මට්ටම පහත දමයි.

* රුධිරයේ ඉන්සියුලින් මට්ටම පහත දමයි.

* රුධිරයේ සීනි මට්ටම පහත දමයි.

* සිරුරේ ඉන්සියුලින් සංවේදීතාව වැඩි කරයි.

මේදය වැඩි ආහාර රටාව මඟින් හෘද රෝග අඩුකරන බවට තවමත් සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් වී නැති වුවද හෘද රෝග සහ සෞඛ්‍ය යහපත් කරන සාධක ලෙස ඉහත සඳහන් සාධක අවිවාදයෙන් පිළිගැනී ඇත.

වසර 50ක පමණ කාලයේ සිට සංතෘප්ත මේදය වස විස සේ සලකා පිඟානෙන් බැහැර කරන්නට උපදෙස් ලැබිණි. නමුත් මිනිසා වසර මිලියන ගණනක් ජීවත් වූයේ මෙම ආහාර සමඟය. පිඟානෙන් මේදය ඉවත් කෙරුණේ එතැනට ඇමෙරිකාවේ අතිරික්ත සීනි, එළවළු තෙල් සහ තිරිඟු නිෂ්පාදන ආදේශ කිරීමට අවැසි පසුබිම සකසා ගැනීමටයි. එතැන් පටන් මුළු ලොවම රෝගී වන්නට විය.

අද වන විට ස්ථුලතාව, දියවැඩියාව, පිළිකා සහ හෘද රෝග වැනි බෝ නොවන රෝග ඇත්තේ ඉහළ මට්ටමකය. වැඩිවීම පාලනය ඉතා අපහසු වී ඇති මේ රෝගවල රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කරනවා විනා නිට්ටාවට සුව කිරීමට නොහැකි වී ඇත‍. නවතම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ බෝ නොවන රෝගවලට ප්‍රධාන හෙතුව සංතෘප්ත මේදය නොව, සීනි, පාන්පිටි, එළවළු තෙල් සහ සකස් කළ ආහාර (prossed food) බවයි.

පසුගිය වසර කිහිපය තුළ පෝෂණ විද්‍යාව අංශක 180කින් ආපසු හැරී තිබේ. අප මේ සඳහන් කළ කරුණු 2020 සඳහා අමෙරිකානු දියවැඩියා සංගමයේ මාර්ගෝපදේශ සංග්‍රහයේ පැහැදිලිව සඳහන්ය. අවාසනාවට අපේ රටේ තවමත් නිර්දේශ කරනුයේ වසර 50ක් යල් පැන ගිය පෝෂණ රටාවන් ය.

ඒ නිසා දැනුමෙන් සන්නද්ධව නිරෝගී දිවි පෙවෙතක් උදෙසා අපේ ජීවනරටාව වෙනස්කර ගනිමු.

 

ලෙඩ අඩු කර
හැඩ වැඩි කරන හැටි කියාදෙන වෛද්‍ය
ජානක වන්නකු