වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
නවතම මදුරු විශේෂ දෙකක් රෝග වාහකයන් දැයි තවමත් පර්යේෂණ ...
මේ මදුරුවා ඉන්දියාව තුළ දී මොළයේ උණ රෝගය බෝ කරන කියුලෙක්ස් ඉන්ෆියුලා යන මදුරු විශේෂයට ඉතාමත් ආසන්න මදුරු විශේෂයක් වන අතර ශ්‍රී ලංකාව තුළ
වාහකයෙක් ද නැද්ද යන්න තවමත් පර්යේෂණ මට්ටමේ පවතී.
කෘමි සතුන් කෙරෙහි අපට එතරම් ප්‍රසන්නතාවක් නොමැත. ඒ බොහොමයක් කෘමි විශේෂ අපට නොයෙකුත් අන්දමින් හානි පමුණුවන නිසයි. මදුරුවන්ට අපි කොහෙත්ම කැමැති නැත. මදුරුවෙක් දෂ්ට කළ විට ඇතිවන නේකවිධ අපහසුතා ඊට හේතුවයි. ඩෙංගු වයිරසය ඇති කරන මදුරුවන් නිසා මේ බිය දෙගුණ තෙගුණ වී ඇත. එහෙත් ඕනෑම භූමියක ජෛව විවිධත්වය වැඩි කරනුයේ නොයෙකුත් සතුන් විශේෂයි.
ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය වැඩි කරමින් තවත් අලුත් මදුරු විශේෂයක් සොයා ගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා කණ්ඩායමට හැකිව තිබේ.
කියුලෙක්ස් සින්ටෙලස් නමැති මේ විශේෂය දැනට ලෝකය වෙතින් වාර්තා වන්නේ තායිලන්තය සහ ඉන්දියාව වැනි රටවලිනි. අපේ රටේ මේ පිළිබඳ පර්යේෂණ කෙරුණු මීරිගම, කළුතර යන ප්‍රදේශවලින් මේ මදුරු විශේෂය වාර්තා වී ඇත. අනෙකුත් ප්‍රදේශවලත් මේ මදුරුවන් සිටීමට පුළුවනි. මේ මදුරු විශේෂය රෝග වාහකයෙක් ද නැද්ද යන වග තවමත් පර්යේෂණ මට්ටමේ පවතී. ගෝලීය මට්ටමින් වුවද වාහකයකු වශයෙන් තවමත් වාර්තා වී නොමැත.
මීට අමතරව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා කණ්ඩායම මෑතකදී කියුලෙක්ස් ගණයට අයත් කියුලෙක්ස් නියඉන්ෆියුලා නමැති මදුරු විශේෂය ද සොයා ගැනීමට සමත් වී තිබේ.
එම මදුරුවා ඉන්දියාව තුළ දී මොළයේ උණ රෝගය බෝ කරන කියුලෙක්ස් ඉන්ෆියුලා යන මදුරු විශේෂයට ඉතාමත් ආසන්න මදුරු විශේෂයක් වන අතර ශ්‍රී ලංකාව තුළ වාහකයෙක් ද නැද්ද යන්න තවමත් පර්යේෂණ මට්ටමේ පවතී. එම මදුරු විශේෂය වාහකයකු වීමේ වැඩි සම්භාවිතාවක් පවතී.
මේ මදුරු විශේෂයන් රෝග වාහකයන් ලෙස කටයුතු කරන්නේ ද යන්න තවමත් පර්යේෂණ මට්ටමේ පවතින නිසා එම මදුරුවන් දෂ්ට කළහොත් සාමාන්‍ය මදුරුවෙක් දෂ්ට කළාක් වැනි රෝග ලක්ෂණ ඇති වේවි. ඔවුන් ඉතාම සාමාන්‍ය මදුරු විශේෂයක් ද බෝවන රෝග ඇති කරන්නේ ද රෝග වාහකයන් ලෙස කටයුතු කරන්නේ ද යන්න පර්යේෂණ මට්ටමේ ඇති නිසා තවමත් ප්‍රශ්නාර්ථයක් බවට පත්ව තිබේ.
ඉන්දියාවේ මෙම මදුරු විශේෂවලින් ඇතැම් ඒවා රෝග වාහකයකු ලෙස කටයුතු කළත් එම මදුරුවන් ම රටින් රටට, භූමියෙන් භූමියට වෙනස්විය හැකියි. උදාහරණයක් ලෙස අපේ රටේ ඩෙංගු මදුරුවාගේ භයානකම රෝග වාහකයන් දෙදෙනා වන්නේ ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇලබොපික්ටස් ය. වෙනත් රටවල ඇත්තේ වෙනත් ඩෙංගු මදුරු විශේෂ යි.
මෑත කාලය තුළ නව මදුරු විශේෂ 3ක් සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින් සොයා ගැනීමට සමත් වූ අතර තවත් මදුරු විශේෂ 4ක් ශ්‍රී ලංකාව තුළ තහවුරු කර ගනිමින් ජානමය පර්යේෂණ සඳහා නියැදි යවා ඇත. මෑත කාලය තුළ මේ නව සොයා ගැනීම් සමඟ කීට විද්‍යා ක්ෂේත්රය ඔස්සේ සෞඛ්‍ය ක්ෂේත්රයේ වෙනස්කම් කිහිපයක් ම ඇති විය හැකියි.
උපදෙස්
සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරි
දිස්නක දිසානායක
(සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක)