වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
වැස්ස පායද්දිම අතවනන වසංගත රෝගවලට ඉඩක් දෙනවාද?
අව්ව පායලා පායලා ඉන්න බැරි තරමට දැඩි රස්නයක් ඇවිත් ජල මූලාශ්‍ර හිඳෙන තරමටම ජලය නැති වෙද්දි ගහකොළ සතා සීපාවා පවා මලානික වෙලා යද්දි හිතෙන්නේ දැන්නම් පෑව්වා හොඳටම ඇති කියලා. එහෙම හිතන් ඉද්දි අනෝරා වැස්ස එකදිගටම ඇද හැලෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවට නම් අව්ව පායලාම තිබ්බා නම් හොඳයි කියලත් හිතෙනවා.
නොකඩවා ඇද හැලෙන වැස්ස අවසන් වෙන්නේ මිනිසුන්ට උන්හිටි තැන් පවා අහිමි කරන ගංවතුරකුත් සමඟිනුයි. වැස්සත් සමඟ ගංවතුරත් එක්ක වසංගත රෝග අතවනනබව නම් නොකියාම බැහැ. දින ගණනාවක් එකදිගට වැස්ස ඇද වැටෙද්දී දැනුම්වත් බවින් යුතුව කටයුතු කළොත් අපව සොයා එන වසංගත රෝගවලින් ආරක්ෂා වීමට පුළුවන් වේවි. වසංගත රෝග පැතිරෙන්න පටන් ගන්නේ වැස්සේ අවසන් දින කිහිපයත් සමඟින්.
වසරකට වතාවක් හෝ දෙවතාවක් තදවැසි ඇද වැටෙද්දී පහත් බිම් ආශ්රිත ප්‍රදේශ ගංවතුර උවදුරට ලක්වීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්වෙලා.
උණුකර නිවා ගත් ජලය පානය
මෙවැනි කාලවලදී ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම නිසා උණුකර නිවා ගත් ජලය පානය කෙරෙහි මැලිවන්නට එපා. එසේ නොවුණු විටකදී බෝතල් ජලය පානයට ගැනීම සුදුසුයි. ඇතැම්විට උණුකර නිවා ගත් ජලය ඉවුම් පිහුම් කටයුතුවලදීත් යොදා ගන්නට වේවි.
පිසූ ආහාර ගැනීම
මේ දිනවල ආහාර පිසීම සම්බන්ධයෙන් ගෘහිණියට යම් වගකීමක් පැවරේවි. ඒ නොපිසූ ආහාර වෙනුවට පිසූ ආහාර පිළියෙල කිරීමට හැකිතරම් උනන්දු විය යුතුයි. සලාද, සම්බෝල වැනි දෑ ආහාරයට ගැනීම මේ දිනවලට ඔබින නොවේවි. පලා ආදිය සම්බෝලයක් වෙනුවට මැල්ලුමක් ලෙස පිළියෙල කොට ගැනීමේ වරදක් නැහැ.
පලතුරු ආදිය කෑමට ගනිද්දී හොඳින් සෝදා පිස දමා ආහාරයට ගන්න.
ජල මූලාශ්‍ර ගංවතුරට හසුවී නම්
ජල මූලාශ්‍ර විශේෂයෙන්ම ළිං ආදිය ගංවතුරට හසුවී නම් ගංවතුර බැස ගිය පසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ උපදෙස් ඇතිව ළිං ඉස ක්ලෝරීන් දමා පිරිසුදු කිරීම අත්‍යවශ්‍ය කාරණයකි.
මැසි ඝණත්වය
වැසි සමය, ගංවතුර ඇති වීම සමඟින් මැස්සන් බෝවීම ඉතාම ශීඝ්‍රයෙන් යුතුව සිදු වේ. මේනිසා පිළියෙල කරන ආහාරපාන ආදිය ඉතා පිරිසුදුව ආරක්ෂිතව තැබිය යුතුයි. හැළි වළංවල ඇති කෑම, කෑම පිඟන්වලට බෙදා ඇතිවිට ඒවා නිරතුරුවම වසා තැබිය යුතුයි. මොනම අන්දමින්වත් මැස්සන්ට වැසිය නොහැකි ලෙස තබන්නට වගබලාගත යුතුයි.
බෝවන රෝග රැසකට අත වනයි
වැසි සමය සහ ගංවතුර යනු නිතැතින්ම බෝවන රෝග රැසකට අතවනන කාලයයි. අපිරිසුදු ජලය භාවිතය සහ මැස්සන් වැසූ කෑමබීම ආහාරයට ගැනීම මෙයට ප්‍රධාන හේතුවයි. පාචනය, අතීසාරය, උණසන්නිපාතය, බෝවන සෙංගමාලය ඇතිවන්නට ඉඩකඩ ඇති බැවින් ප්‍රවේසම් විය යුතුයි.
ඩෙංගු ව්‍යාප්තිය
අන් කවරදාකටත් වඩා ඩෙංගු රෝගීන් වැඩිම ප්‍රමාණයක් කොළඹ ප්‍රධානව දිස්ත්‍රික්ක කිහිපයකින්ම වාර්තා වේ. ඩෙංගු අධිවසංගත තත්ත්වයක්ව පවතිද්දී ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟින් මෙය තව තවත් උත්සන්න වනු ඇත.
මේ නිසා වතුර එකතුවන වැහිපීලි, ටයර්, පොල්කටු, තැඹිලි කෝම්බ, මල් පෝච්චි ඇතුළු ස්ථාන පිළිබඳ නිරන්තර අවධානය යොමු කළ යුතු වේ. ඩෙංගු මදුරුවන්ට මේ ස්ථාන රිසිසේ බිත්තර දමන්නට අවැසි ඉඩකඩ සපයයි. වතුර එකතුවන හැමදෙයක්ම විනාශ කිරීම ඒ ඉඩකඩ මුලිනුපුටා දැමීමකි. ඩෙංගු මදුරුවන් බෝනොවීමට හේතුවකි.
මී උණ
ගංවතුරක් ඇතිවූ විටකදී වතුරේ බැස සිටීම, සෙල්ලම් කිරීම කුඩා ළමුන්ට, කොලු කුරුට්ටන්ට මහත් විනෝදයකි. අනවශ්‍ය ලෙස ගංවතුරේ සිටීම, ගංවතුරේ ඇවිද යෑම මී උණ වැනි රෝග ඇති කිරීමට හේතු වෙයි.
ඉහත කී කරුණු කාරණා කෙරෙහි දක්වන උනන්දුව මත ගංවතුර තත්ත්වයකදී වුව වසංගත රෝගවලින් මිදී සුවසේ කාලය ගත කරන්නට හැකිවනු ඇත.
උපදෙස් :
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා
විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ