සියලු රෝග සුව කරන නි‍ෙවසට කිරි උතුරන බලගතු යන්තරය

ජූලි 22, 2024

අප පසුගිය සතියේ ඔබට තිළිණ කළ බලගතු මංජුසාව සඳහා උණුසුම් ප්‍රතිචාර හිමි විය. තවද නිතර නිතර අපගේ පාඨකයින් විසින් යොමු කරන ගැටලුවක් වන්නේ තම දියුණුව නිවෙසේ නොමැති බවයි. එයට හේතුව සොයා බැලීමේදී නිතර ලෙඩ රෝග ඇතිවීම හා පවුලේ අසමඟිය බව අනාවරණය වෙයි.

මෙවැනි දේ සිදුවීමට ප්‍රධාන කාරණය වන්නේ ඇස්වහ, කටවහ මෙන්ම යම් අමනුෂ්‍ය බලවේග තිබෙන බව අතීතයේ සිටම අප දැනුම්වත්ව ඇත. ඔබගේ පවුලේ ආදායම ගණන් බලන්නේ අවට සිටින ඥාති මිත්‍රාදීන්ය. කාටත් එකසේ එය වෙයි. උදේ සවස අනෙකාගේ දියුණුවට අකුල් හෙළන මිනිසුන් මෙන්ම උපතින් පිහිටි ඇස්වහ කටවහ ඇති පිරිමි හා ගැහැනු කොතෙකුත් සිටිති. ගැහැනු පිරිමි පාර්ශ්වයේ ඇස්වහ, කටවහ, අනවින, කොඩිවින පරාද වේ. හෝ වහ යනුවෙන් සඳහන් වන්නේ දියුණුව තමාගේ පුරාජේරුව කතා කිරීම හා තමාම තමාට දෙන්නා වූ ඇස් වහ කටවහ වන්නේය. එමෙන්ම නොපෙනෙන ලෝකයේ යක්ෂ, ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩයන් අරක්ගන්නා විටද ගෙවල් සහ ව්‍යාපාර පාළුවෙයි. එමෙන්ම කුඩා දරුවන්ට ඇදුම, වලිප්පුව, ග්‍රහණිය, මාන්දම වැනි බාල රෝගද හටගනී. තවද යෞවන තරුණයන්ට ස්වජන මෝචනය ලෙස හීනෙන් ධාතු පිටවීමෙන් මදනකාම යක්ෂණී නැතිනම් මෝහිනීගේ බැල්ම වැටීම ලෙසද, යෞවනියන්ට මල්වර වීමේ සිට ඇතිවන පළමු ඔසප් වීමේ සිට නතර නොවී අඛණ්ඩ ලේ වහනය වීමේ ස්ව ප්‍රදරය නමැති රෝගයද කළු කුමාරයා සහ මල් කඩවර යක්ෂ දෝෂ ද බහුලව පවතී. මෙවැනි සියලුම දෝෂ සඳහා බලගතු යන්ත්‍රයක්වන ජලනන්දන යන්ත්‍රය සකසා ගැනීම ඉතාමත්ම ප්‍රබල වෙයි. මෙය බුදුන් දවස ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද තෙරුන්ට සැඩොල් කුලයේ කාන්තාවක් නීච කුල බන්ධනයක් කර තිබූ අවස්ථාවේ එයින් මුදා ගැනීම සඳහා බුදුන් වහන්සේ විසින් දේශනා කළ බුද්ධ මන්ත්‍රයකි. මෙය සාදා ගැනීමට කළින් හොඳින් පිරිසුදුවන ඇදුරා පංචෝපාහර මල් තට්ටුවක් සාදා මස් මාංශයෙන් වැළකී කිලිහරණය කළ යුතුය. ඉන්පසුව තට්ටුව මැද ගොක් කොළයෙන් නෙළුම් මලේ හැඩයට එය සාදාගන්න. දැන් තැඹිලි ගෙඩිය මත සුභ නැකැතින් අඳින ලද තඹ, රිදී, රත්තරන් යන්ත්‍ර තහඩුව නියමිත පොටවල් ගණනක් යෙදූ කපු නූලෙන් ඔතන්න.

එහි කොන ඇදුරාගේ අතේ තබාගෙන නියමිත සුවඳ පුද පූජා තබමින් එකසිය අට වරක් හෝ දහස්වරක් හෝ ලක්ෂවාරයක් හෝ ජපකර ගැනීම සුබ වෙයි. වාර වැඩි වූ තරමට ප්‍රතිඵල වැඩිවෙයි. එමෙන්ම නොපෑඟු බැස යන වතුර කඩකින් ගල්කැට අටක් ගෙන එකසිය අට වරක් මතුරා හිරු උදාවීමට පෙර මුට්ටි අටකට බහ එය ගෙයි කොන් හතරේ ද වත්තේ කොන් හතරේ ද වැළලීමෙන් මහඟු ආරක්ෂාවක් ලබාගත හැකියි. තුන් වරුවක් මෙය පිරිත්කර තැඹිලි තෙල් මතුරා ගෑමෙන් රෝග සුව වන්නේය. දක්ෂ පළපුරුදු ඇදුරෙකු ලවා මෙම යන්ත්‍රය පැලඳීම හෝ කොන් හතරේ මුට්ටි හතර විද්‍යානුකූලව වැළලීම මඟින් නි‍ෙවසේ හා ව්‍යාපාර ස්ථානයේ සියලු දෝෂ දුරුවී සෞභාග්‍ය උදාකරයි.