පොල්කිරි මිරිකීමේ දී මේ ගැනත් සිතන්න...

උයන කලාවේ රහස් දැන ගනිමු
දෙසැම්බර් 6, 2021

 

ආහාරයක රසය ඇතැම් විට අපේ ජීවිතයට ගෙන එන්නේ උද්‍යෝගයක්. ආහාරයක පෝෂ්‍ය ගුණය සිරුරට අවශ්‍ය පෝෂ්‍ය කොටස් ලබා දෙන්නා සේ ම එහි රසය දිව'ගට මිහිරත්, එහි පෙනුම සිතට පී‍්‍රතියත් ගෙන දීමට සමත් ය.

මේ හැම දෙයකින් ම යුතු ආහාරයක් පුද්ගලයකුගේ දිව, ඇස, සිත පිනවා සිරුරට අවැසි ජවය ද ලබා දේ.

මේ නිසා ආහාරයක් සැකසීමේ දී ඔබ ඒ පිළිබඳ වැඩියෙන් සිතාw බැලීම වැදගත් වේ. ආහාර විවිධ රසයට, විවිධ පෙනුමට, විවිධ ක්‍රමයට සැකසිය හැකි වුවත් ඉහත කී කාරණා ද එහිදී සිත් හි තබා ගැනීම සුදුසුය.

ආහාරයක රස, සුවඳ, වර්ණය, ගුණය වැඩි කිරීම සඳහා ස්වභාවික රසකාරක 42ක් භාවිත කෙරෙයි. මෙම රසකාරක 42 තුළ ඇති එකම සංයෝගය වන්නේ කරි පවුඩර් ය. මෙය ඉස්සර ගෘහණියන් භාවිත කළේ තුන පහ නමිනි. එය සූදුරු, මාදුරු, කොත්තමල්ලි, කහ සහ මිරිස් යන රසකාරක වර්ග 5 ගලේ ඇඹරීමෙන් සකසා ගනී. කරි පවුඩර් සෑදීමේදී සූදුරු, මාදුරු, කොත්තමල්ලි යන රසකාරක වර්ග තුන පමණක් කුඩු කර යොදා ගනී. මේ කරි පවුඩර් සමඟ කහ සහ මිරිස් කුඩු සාමාන්‍යයෙන් එළවළු, මස්, මාළු සැකසීමේ දී යොදා ගනියි. එවැනි විටෙක වර්ණය, සුවඳ, රසය, එකතුකර ගැනීමට පොල් කිරි යොදා ගැනීම අනිවාර්යයෙන්ම සිදු කරයි.

ආහාර සැකසීමේ දී වඩාත් වැඩියෙන් ප්‍රයෝජනයට ගන්නා ද්‍රව්‍යයක් ලෙස කිරි හැඳින්විය හැකිය. ලෝකයෙන් ම දකුණු ඉන්දියානුවන් හා ලාංකිකයන් ආහාර සැකසීමේ දී වැඩි වශයෙන් පොල් කිරි යොදා ගනියි. අනික් රටවල වැඩි වශයෙන් යොදා ගැනෙන්නේ සත්ත්ව කිරි ය. නිර්මාංස ආහාර ගන්නා විට පොල්කිරි වැදගත් වේ. පොල්කිරිවල කොලෙස්ටරෝල් ඇතැයි පසුගිය කාලයක වැරැදි මතයක් සමාජගත වුණද අද වන විට පැවසෙන්නේ පොල්කිරි සිරුරට ඉතා ගුණදායක බවයි.

ආහාරයකට පොල්කිරි නොදැමූ විට අපට අවශ්‍ය ලෙසින් රසය, සුවඳ, වර්ණය වෙනස්කර ගැනීමට නොහැකි වේ. පොල් අඹරා කිරි මිරිකා ගැනීම නොකළ යුතුය. පොල්කිරි උණුජලයෙන් මිරිකීම සුදුසු නොවන අතර සිසිල් ජලයෙන් මිරිකා ගත යුතුය. පොල් මිරිකා එම කිරි ශීතකරණයේ තබාගෙන පාවිච්චියට ගැනීම ද එතරම් සුදුසු දෙයක් නෙමෙයි. එහිදී කිරිවල ඇති රස, ගුණ වෙනස් වේ. කාලවේලාව තිබෙනවා නම් පහසුව ගැන නොසිතා ආහාර සකසන වෙලාවේදී ම පොල්කිරි මිරිකා ගැනීම වඩාත් සුදුසුයි.

කෑම වර්ග ලෙස කිරිබත්, පිට්ටු, රසකැවිලි ආදිය සැකසීමේ දී ද පොල්කිරි භාවිත කෙරෙයි. වටලප්පමක් හදා ගැනීමේ දී වෙනත් කිරිවලට වඩා පොල්කිරිවලින් දැමීමෙන් එහි නියම රසය, වර්ණය, සුවඳ, ගුණය ලබා ගත හැකියි.

පොල්සම්බෝල සාදා ගන්නා විට එය ඇඹරීමට හෝ අනවශ්‍ය ලෙස කෙටීම සුදුසු නැත. මෙහිදී උම්බලකඩ, මිරිස්, ලුණු ආදිය දමා කොටා අවසානයේ දී පොල් එකතුකරන්න. දැන්, මේ සියල්ල මිශ්‍ර වන සේ කොටා ගැනීම ප්‍රමාණවත්.

ආහාර පිළිබඳ ඇති වෛද්‍ය මත කලින් කලට වෙනස් වේ. කාලයක් පොල්කිරි හා පොල් තෙල් නිසා කොලෙස්ටරෝල් වැඩි වන බවට මතයක් පැවතිණි. නමුත් මේ වන විට එම මතයන් වෙනස් වී ඇත.

ඒ කෙසේ වෙතත් අපේ සම්ප්‍රදාය රැකගෙන ආහාර නිසි ලෙස සැකසීමේ දී ආහාරයේ අපේක්ෂිත පෝෂ්‍ය ගුණය ලබා ගත හැකියි. කොතරම් ගුණ ආහාරයක් වුවද අපේ අත්වැරැදීම් හෝ අප කරන යම් වැරැද්දක් නිසා විස විය හැකියි.

එම නිසා හැකි හැම විටෙක ම ආහාර නැවුම්ව ආහාරයට ගැනීමට උනන්දු වන්න. ආහාරවල ඇති ඇතැම් සංඝටකයන්ගේ රසායනික සංයුතීන්වල වෙනස්කම් ඇති වීම මඟින් අසාත්මිකතා මෙන්ම ආහාරයේ රසයක වෙනස්වීම ද සිදුවිය හැකියි.

ආහාර සැකසීම කලාවක් වන්නේ මේ හැම දෙයක් ගැනම නිසි දැනුමක් හා නිසි සැලකිල්ලක් දක්වමින් එය සිදු කිරීම නිසයි. අපට අවශ්‍ය පෝෂ්‍ය ගුණය, රසය ලබා ගැනීමට නම් මේ කරුණු පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

ආහාරයක රසය තිබුණු පමණින් ම එය හොඳ ආහාරයක් යැයි කිව නොහැකි ය. දිවගට රසයක් ලැබුණත් එම ආහාරයෙන් සිරුරට යම් පෝෂණයක් නොලැබෙන්නේ නම් එය කුස පිරීම සඳහා කුමන හෝ දෙයක් ඇතුළු කරවීමකි. පෝෂ්‍ය ගුණයෙන් ඉහළ වන ලෙස ආහාරයක් සැකසුවත් එහි කිසිදු රසයක්, සුවඳක්, සිත පිනවන වර්ණයක් නැතිනම් කොතරම් ගුණයෙන් ඉහළ ආහාරයක් වුවත් එය ආහාරයට ගැනීමට අපහසු වේ.

ස්වභාවිකව ම ආහාර දිරවීම සඳහා එන්සයිමයන් ශ්‍රාවය වීමට ආහාරයක සුවඳ, වර්ණය, රස වැදගත් ය. මේ කරුණු දෙකම එකිනෙකට බද්ධ වූ ඒවා බැවින් නිවැරැදි ලෙස ආහාරයක් සැකසීමේ දී මේ කරුණු ගැන සිතා කටයුතු කිරීම ඔබ සතු වගකීමකි.

රස වැඩි කිරීමේ මෙන්ම විස නැසීමේ ගුණයෙන් යුතු පොල්කිරි සතු පෝෂණීය අගය නිසි ලෙස භාවිතයෙන් සිරුරට ලබා ගන්න. ඔබේ පවුලේ නිරෝගී බව වැඩිකර ගන්න.