අන්නාසි කස්ටර්ඩ් පුඩිං

ජනවාරි 31, 2022

 

රස වෑහෙන අන්නාසි කස්ටර්ඩ් මෙන්න. ඔබේ පවුලේ කෑම මේසයේ රසවත්ම අතුරුපස මෙය වෙවි.

 

අවශ්‍ය දේවල්

 

අන්නාසි ගෙඩියකින් භාගයක් (මැද නාරටිය ඉවත් කර කුඩා කැබලි කපා ගන්න)

සීනි පීරිසි කෝප්ප භාගයක්

කස්ටර්ඩ් පවුඩර් මේස හැඳි 4ක් (ස්ට්‍රෝබෙරි හෝ වැනිලා)

බටර් කේක්, රිබන් කේක් හෝ ක්ලබ් කේක් ග්‍රෑම් 250ක් (සිහින් පෙති කපා ගන්න)

ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 2ක්

කුරුඳු කැබැල්ලක්

 

හදන්නේ මෙහෙමයි

 

මුලින්ම අන්නාසි ටික ස්ටූ කරන්න. ඒ සඳහා නොන්ස්ටික් භාජනයක් ළිපේ තබා එයට අන්නාසි කැබලි, වතුර කෝප්පයක් හා සීනි දමා උණු කරන්න. සීනී දිය වී වතුර උතුරන කොට හැඳි ගාන්න. කුරුඳු කැබැල්ල ද එකතු කරන්න.

අන්නාසි කැබලි තැම්බී වතුර ටික උකු වෙනකොට ළිප නිවා අන්නාසි කැබලි පෙරා වතුර ටික වෙනත් භාජනයකට දමා නිවෙන්න තියන්න.

 

දැන් කස්ටර්ඩ් එක හදමු

 

භාජනයකට කිරි දමා ළිප තබා උණු කරන්න.

එයින් කිරි ටිකක් අරන් කස්ටර්ඩ් පවුඩර්වලට දමා දිය කරගෙන උණු කිරිවලට එකතු කර මිශ්‍රණය උකු වනතුරු මඳ ගින්දරේ හැඳි ගාන්න.

ඔබේ රස පදමට සීනි එකතු කරගෙන ළිප නිවන්න (කේක් හා අන්නාසිවල පැණි රස තියෙන නිසා කස්ටර්ඩ් මිශ්‍රණයට සීනි අඩුවෙන් භාවිත කරනවා නම් හොඳයි.)

දැන් පැතලි හතරැස් භාජනයක් හෝ ඩෙසර්ට් කප්ස්වල අඩියට ස්ටූ කර ගත් අන්නාසි කැබලි අතුරන්න. ඊට උඩින් අන්නාසි ස්ටූ කරපු වතුරවල පොඟවා ගත් කේක් පෙති අතුරන්න. ඊට පස්සේ කස්ටර්ඩ් මිශ්‍රණය අතුරා ඊටත් උඩුන් නැවතත් ස්ටූ කරපු අන්නාසි කැබලි තබා සරසා ශීතකරණයේ තබා රස විඳින්න.

උපදෙස් හා ඡායාරූප - සූපවේදිනී තිලානි විතානගේ

---------------------

උපන්දින සැමරුමට BTS Lovers cake

Bangtan Boys හෙවත් BTS කියන්නේ අද ලෝකයේ ම ජනප්‍රිය දකුණු කොරියානු සංගීත කණ්ඩායමක්. අපේ රටේ කුඩා දරුවන් මෙන්ම යොවුන් වයසේ පසුවන දරුවන් ද මේ සංගීත කණ්ඩායමට බෙහෙවින් ආදරය කරනවා.

ඒ නිසාම අපි BTS ලාට ආදරේ කරන දරුවන් වෙනුවෙන් සකසා දිය හැකි උපන්දින කේක් එකක් මෙලෙස ගෙන එනවා.

මේ සඳහා කිලෝ 2 ප්‍රමාණයේ කේක් එකක් සාදාගත යුතු වේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් හෝ මාජරින් ග්‍රෑම් 500ක්

සීනි ග්‍රෑම් 500ක්

කේක් පිටි ග්‍රෑම් 490ක්

කිරි පිටි මේස හැඳි 2ක්

බිත්තර 10ක් (ග්‍රෑම් 500ක්)

බේකිං පවුඩර් තේ හැඳි 4ක්

වැනිලා

රෝස පාට සහ නිල් පාට කලරිං

 

බටර් අයිසිං එක සඳහා

බටර් ග්‍රෑම් 400ක්

අයිසිං සීනි ග්‍රෑම් 1200 - 1500ක් අතර

වැනිලා

රෝස සහ නිල් කලරිං

 

කේක් එක සාදන ආකාරය

පිරිසුදු භාජනයට බටර හෝ මාජරින් දමා එයට සීනි එක් කර බීට් කරගන්න. සීනි දිය වූ පසු එයට එකින් එක බිත්තර එක් කරන්න. හොඳට බීට් කර වැනිලා ස්වල්පයක් එකතු කරන්න. නැවත බීට් කරන්න. කේක් පිටි, කිරි පිටි සහ බේකිං පවුඩර් තුනම එකට හලාගෙන පිටි මිශ්‍රණය ටික ටික බිත්තර සීනි මිශ්‍රණයට එකතු කර හොඳින් බිට් කර තවත් වැනිලා ස්වල්පයක් එකතු කර ක්‍රීම් එකක් ආකාරයට හොඳින් බීට් කරගන්න.

ඉන්පසු කේක් මිශ්‍රණය සම සමව දෙකට බෙදා ගන්න. එක් මිශ්‍රණයකට රෝස පාට කලරිං එකතු කර ළා රෝස පාට කේක් මිශ්‍රණයක් සාදා ගන්න. අනිත් කොටසට නිල් පාට කලරිං ස්වල්පයක් එකතු කර ළා නිල් පාට කේක් මිශ්‍රණයක් සාදා ගන්න. දැන් මේ මිශ්‍රණ දෙක කිලෝ 1 ප්‍රමාණයේ රවුම් තැටි දෙකකට දමා සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයට විනාඩි 5ක් පමණ පෙර රත් කර ගත් අවන් එකක දමා විනාඩි 35ක් - 45ක් අතර කාලයක දී බේක් කර ගන්න. (බේක් කරන කාලය අවන් එකේ වර්ගය අනුව වෙනස් වේ) ඉන්පසු අවන් එකෙන් බාගත් කේක් දෙක හොඳින් නිවා ගන්න. ශීතකරණයෙන් ගත් බටර් විනාඩි 5ක් පමණ අයිස් යන්න තබා හොඳින් බීට් කරගන්න. (වැඩිපුර අයිස් යන්න තිබ්බොත් අයිසිං එක තෙල් මතුවී දියවෙන්න ගනී) හලාගත් අයිසිං සීනි ටික ටික එකතු කර අවශ්‍ය පදමට අයිසිං එක සාදාගන්න.

දැන් රෝස සහ නිල් පාට දැමූ කේක් දෙක මැදින් බටර් අයිසිංවලින් සැන්ඩ්විච් කර කේක් බෝඩ් එකක උඩ තබා ළා නිල් පාට අයිසිංවලින් කවර් කරගන්න. කේක් එකේ යට බෝඩරය ළා රෝස පාටින් නොම්බර 17 නොසල් එකෙන් ෂෙල්බෝඩරය දමන්න. කේක් එක මත පින්තූරයේ පෙනෙන ආකාරයට රෝස පාටින් මියුසික් අකුරු සහ කුඩා හාට් දමා ගන්න.

පාච්මන්ට් අයිසිංවලින් කපාගත් BTS අකුරු කේක් එකට එකතු කරන්න. පාච්මන්ට්වලින් කපාගත් නිල් සහ රෝස පාට හාට් කේක් එක උඩින් තබන්න. අන්තර්ජාලයෙන් ලබාගත් BTS පින්තූර ප්‍රින්ට් අවුට් දමාගෙන පින්තූරයේ පෙනෙන ආකාරයට කේක් එක මත තබා අලංකාර කර ගන්න. අවශ්‍ය වයස කේක එක උඩ පාච්මන්ට්වලින් රඳවන්න.

 

උපදෙස් - ගම්පහ Butter Dream Cakes හි

තෙයාගි සධනිකා ගමගේ