බටර් කුකීස් පුඩිං

පෙබරවාරි 7, 2022

 

(Butter Cookies Pudding)

 

මේ ඩෙසර්ට් එක හදන්න අවශ්‍ය වන්නේ අමුද්‍රව්‍ය දෙවර්ගයක් පමණයි. හදා ගන්නත් හරිම ලේසියි.

 

අවශ්‍ය වන්නේ

වැනිලා හෝ චොකලට් රසැති කුකීස් බිස්කට් පැකට් එකක් (ඉක්මනින් දියවෙන ගොඩක් සොෆ්ට් බිස්කට් එකක් තමයි සුදුසු)

විපිං ක්‍රීම් මිලිලීටර් 250ක්

අවශ්‍ය නම් සීනී ස්වල්පයක්

 

හදන්නේ මෙහෙමයි

මුලින්ම විපිං ක්‍රීම් ටික භාජනයකට දමා ඉලෙක්ට්‍රික් බීටරයෙන් හයි ස්පීඩ් එකේ බීට් කරන්න. විනාඩි 15ක් විතර. භාජනය අනිත් පැත්ත හරවනකොට හැලෙන්නේ නැති ගානට බීට් කරන්න. අවශ්‍ය නම් පමණක් සීනී ටිකක් දමා බීට් කරන්න. බිස්කට් පැණි රස නිසා සීනී අවශ්‍යම නෑ.

දැන් පුඩිං හදන භාජනයේ අඩියට බීට් කරපු විපිං ක්‍රීම් තට්ටුවක් දාන්න. ඊට පස්සේ පින්තූරවල වගේ ඒක උඩින් බිස්කට් තට්ටුවක් දාන්න.

ඒ වගේ පිළිවෙළින් විපිං ක්‍රීම් හා බිස්කට් තට්ටු වශයෙන් දාන්න. ඊට පසු පැය 6ක් පමණ ශීතකරණයේ තබා රස විඳින්න.

කන දවසට කලින් දවසේ සාදා තබා කෑමට ගත්තොත් රස වැඩියි. මොකද එතකොට තමයි විපිං ක්‍රීම් එක්ක බිස්කට් දියවෙන්නේ.

 

 

උපදෙස් හා ඡායාරූප - සූපවේදිනී

තිලානි විතානගේ

------------------------

පුතුගේ 21 වැනි උපන් දිනයට

 

21 වැනි උපන්දිනය හරිම සුවිශේෂී යි. යොවුන්විය ගෙවී අහවරව වැඩිහිටියකු ලෙස ජීවිතය දකින්න පිය නගන කාලයයි. මේ තියෙන්නෙ 21වැනි උපන්දිනය සමරන ඔබේ ආදරණීය පුතු වෙනුවෙන් සකසා දිය හැකි කේක් නිර්මාණයකි.

අවශ්‍ය දේවල්

අඟල් 20 බෝඩ් එකක්

අඟල් 18 බෝඩ් එකක්

අඟල් 16 තැටියක පුලුස්සා ගත් කිලෝ 4ක

රිබන් කේක් (මෙය කොටස් 3 කට පුලුස්සා

සැන්ඩ්විච් කරන්න. බටර් අයිසිං මඟින්

අඟල් 10 විෂ්කම්භය සහිත අඟල් 8 උස ඩමී 1ක්

අඟල් 8 විෂ්කම්භය සහිත අඟල් 6ක්

උස ඩමී 1ක්

අයිසිං (පාච්මන්ට්) වලින් හෝ රිජිෆෝම් බෝල විවිධ ප්‍රමාණයන්ගෙන් 16ක් ෆොන්ඩන්ට් යොදා කවර් කර රන් පැහැ ඩස්ට් ආලේප කරන්න.

 

නිර්මාණය කිරීම

බේස් බෝඩ් මත ෆොන්ඩන්ට් (නිල් වර්ණ යොදා) දමා ඒ මත බටර් කේක් තබමින් සැන්ඩ්විච් කර එය ද වටේට බටර් අයිසිං තවරා ෆොන්ඩන්ට් දමන්න. ඩමී දෙක ද ඒ ආකාරයටම නිම කර නිල් වර්ණයෙන් ස්ප්‍රේකර කේක් එක නිම කරන්න.

(ඩමියට ඇලවීමට රෝයල් අයිසිං භාවිත කරන්න.) ගෝල්ඩන් යෙලෝ යෙදූ රෝයල් අයිසිං ගොටුවකට දමා රූපයේ පෙනෙනා පරිදි වක්කරන්න. එය වේළුණු පසුව රන් වර්ණ ඩස්ට් පින්සලයෙන් තවරන්න.

රන් වර්ණ සකසා ගත් බෝල තැනින් තැන අලවන්න. රූපයේ පෙනෙනා පරිදි බෝල රඳවා සුබ පැතුම ද 21 අංකය ද රඳවා කේක් එක නිම කරන්න.

උපදෙස්ප

ප්‍රවීණ සූපවේදිනී

ප්‍රදීකා විජේසූරිය