දෝණිගෙ උපන් දිනයට ටින්කර්බෙල් ඇවිත්

මාර්තු 7, 2022

සුරංගනා කතා අහන්න, නරඹන්න කැමැති දෝණි ටින්කර්බෙල් සුරංගනාවට බොහොම ආදරෙයි. කොළ පැහැයෙන් සැරසී හිඳින අහිංසක චරිතයක් වූ මේ සුංරගනාව වගේ දෝණිත් අහිංසකයි. ඇගේ උපන් දිනය හැඩ කරන්න මේ කේක් එක මෙලෙස සකසා ගන්න. දෝණි මෙයට බෙහෙවන්ම ආදරේ වේවි.

මේ සඳහා ග්‍රෑම් 250 ප්‍රමාණයේ කේක් 4ක් අවශ්‍ය වේ.

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් හෝ මාගරින් ග්‍රෑම් 250ක්

සීනි ග්‍රෑම් 250ක්

පිටි ග්‍රෑම් 240ක්

බිත්තර 5ක් (ග්‍රෑම් 250)

කිරි පිටි තේ හැඳි 2ක්

බේකිං පවුඩර් තේ හැඳි 2ක්

වැනිලා ස්වල්පයක්

කහ පාට සහ කොළ පාට කලරිං

සාදන ආකාරය

පළමු පිටි, කිරි පිටි සහ බේකිං පවුඩර් තුනම එකට හලාගෙන පසෙකින් තබන්න. භාජනයක් ගෙන එයට බටර් හෝ මාගරින් සමඟ සීනි දමා සීනි කැට දියවනතුරු හොඳින් බීට් කරගන්න.

සීනි කැට දිය වූ පසු එයට බිත්තර එකින් එක එකතුකර හොඳින් බීට් කරගන්න. ඉන්පසු හලාගත් පිටි, බටර් මිශ්‍රණයට ටික ටික එකතුකර හොඳින් බිට් කරන්න. එයට වැනිලා එකතුකර ගන්න.

බිත්තර එකතු කළ පසු ද වැනිලා බිංදු කීපයක් එක් කිරීම වඩා සුදුසුයි. මෙසේ බීට් කර ගත් කේක් මිශ්‍රණය ග්‍රෑම් 250 ප්‍රමාණයේ කේක් තැටි 4ක් ගෙන එයට සම සමව දමන්න.

ඉන් කේක් දෙකකට කොළ පාට කලරිං ද අනිත් කේක් දෙකට කහ පාට කලරිං ද එක්කර ගන්න.

දැන් මේ තැටි සෙන්ටිග්‍රේඩ් අංශක 180 උෂ්ණත්වයට කලින් රත්කර ගත් අවන් එකකට දමා විනාඩි 35ක් - 40ක් පමණ බේක් කරගන්න.

බේක් කරන කාලය අවන් එකේ වර්ගය අනුව වෙනස් වේ.

බටර් අයිසිං එක සඳහා

බටර් හෝ මාගරින්

ග්‍රෑම් 250ක්

අයිසිං සීනි ග්‍රෑම්

750ක් - කිලෝ 1ක් අතර

බටර් එක ශීතකරණයෙන් ගෙන විනාඩි 5ක් පමණ තබා එය හොඳින් බිට් කරගන්න. වැඩිපුර දිය වූ විට තෙල් ගතිය මතුවේ. බටර් ටික හොඳින් බීට් කර එයට හලාගත් අයිසිං සීනි ටික ටික එකතු කර අවශ්‍ය පදමට සහ ප්‍රමාණයට අයිසිං එක සාදාගන්න.

දැන් බේක් කරගත් කොළ පාට කේක් එකක් ගෙන එයට අයිසිං තවරා ඊට උඩින් කහ පාට කේක් එකක් තබා සැන්ඩ්විච් කරගන්න. නැවත කොළ පාට කේක් එක ද ඊට උඩින් කහ පාට කේක් එක ද තබා සැන්ඩ්විච් කර ගන්න. මෙසේ උසට හදාගත් කේක් එක වටේට චොකලට් පාටින් අයිසිං තවරා ගන්න. ඉන්පසුව ගෑරුප්පුවක් ආධාරයෙන් ලී කොටසක් ආකාරයට උස අතට

ඉරි ඇඳගන්න. කේක් එකේ උඩ කොටස නොම්බර 18 නොසල් එකෙන් රවුමට ළා දුඹුරු පාට අයිසිංවලින් දමා ගන්න. දැන් කේක් එකේ ඉදිරි කොටස පින්තූරයේ පෙනෙන ආකාරයට දොරක් ලෙස නොම්බර 16 නොසල් එකෙන් අයිසිං කර ගන්න. දොරට ඉදිරියෙන් සුදු පාට වර්මිසෙල් දමා පාරක් ලෙස සකසා ගන්න. ග්‍රාස් නොසල් එක ගෙන තණකොළ ආකාරයට දමන්න. ඒ මත චූටි පාට පාට මල් දමන්න. වෙළෙඳපොළෙන් ලබාගත් ටින්කර්බෙල් කෙනෙක් තබා අලංකාර කර ගන්න. කේක් ටොපර්ස් එකක් ද එකතු කරන්න.

 

උපදෙස් - ගම්පහ බටර්
ඩ්‍රීම් කේක් හි ප්‍රවීණ උපදේශිකා
තෙයාගි සධනිකා ගමගේ

සටහන පාලිකා දිල්රුක්ෂි