එන්ගේජ්මන්ට් එකට රිබන් කේක් හදවතක්

ඔක්තෝබර් 3, 2022

 

විවාහ ගිවිස ගැනීමත් විවාහ සංවත්සරයක් ජීවිතයේ වැදගත් සිදුවීම්ය. ඒ සඳහා පුංචි සාදයක් පවත්වන්න හුරුබුහුටි කේක් එකක් තිබුණොත් හොඳයි නේද? මෙන්න, එහෙනම් රිබන් කේක් හදවතක්... රෝස මලින් හැඩ කරලා...

 

අවශ්‍ය දේවල්

බටර් ග්‍රෑම් 250ක්

පිටි ග්‍රෑම් 250ක්

සීනි ග්‍රෑම් 250ක්

වැනිලා තේ හැඳි 2ක්

බනානා එසන්ස් බිංදු 2ක්

බිත්තර 4ක්

බේකිං පවුඩර් ග්‍රෑම් 15ක්

කිරි මේස හැඳි 2ක්

ෆුඩ් කලරිං

 

සාදමු

බටර් හා සීනි හොඳින් ගසාගන්න. එම මිශ්‍රණයටම බිත්තර එක බැගින් එක් කරමින් ගසාගන්න. එයටම වැනිලා සහ බනානා එසන්ස් එකතු කරන්න. පිටි සහ බේකිං පවුඩර් හොඳින් හලා ගන්න.

දැන් බටර්, සීනි, බිත්තර මිශ්‍රණයට පිටි ටික ටික එකතු කරමින් හොඳින් කලවම් කරන්න. නැත්නම් ලෝ ස්පීඩ් බිට් කරන්න. දැන් කිරි එකතු කර කලවම් කරන්න. කේක් මිශ්‍රණය කොටස් දෙකකට වෙන් කරන්න. එක කොටසකට රෝස හෝ රතු පාට ෆුඩ් කලරිං බිංදු දෙකක් එකතු කරන්න.

කිලෝ එකේ හදවත් හැඩති කේක් තැටියක් බේකිං පේපර් එකක් යොදා සකස් කරගෙන ඒ මත කේක් මිශ්‍රණය පාට දෙකම කලවම් වන ලෙස අතුරන්න. විනාඩි 8 කට විතර කලින් රත් කරගත් සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් යුතු අවන් එකේ විනාඩි 40ක් බේක් කරන්න. බේක් කරගත් කේක් එක අවන් එකෙන් එළියට ගෙන හොඳින් නිවෙන්න තියන්න.

දැන් අපි හොදින් නිවුණු කේක් එක බටර් අයිසින් මඟින් හැඩ කරගමු.

 

ඒ සඳහා බටර් ග්‍රෑම් 600ක්

අයිසිං සීනි ග්‍රෑම් 1200ක්

වැනිලා තේ හැඳි 1/2ක්

කිරි මේස හැඳි 2ක්

 

අයිසිං කරමු

බටර්, අයිසිං සීනි, වැනිලා, කිරි එකට එකතු කර ක්‍රීම් එකක් වනතුරු බිට් කරන්න. දැන් සාදාගත් බටර් අයිසිං එකෙන් 1/3 ක ප්‍රමාණයක් මල් සහ කොළ සඳහා වෙන් කරගන්න. ඉතිරි බටර් අයිසිං 2/3 කේක් එක කවර් කිරීමට වෙන් කරගන්න. නිවුණු කේක් එක උඩ සහ වටේ දුඹුරු පාට කොටස් අයින් කරන්න. දැන් කේක් එක උඩ සහ වටේ බටර් අයිසිංවලින් කවර් කරගන්න. මල් සහ කොළ සඳහා වෙන් කරගත් බටර් ක්‍රීම් එකෙන් වැඩි ප්‍රමාණයක් මල් සඳහා වෙන්කර ඒ කොටසට රතු වර්ණකය එක් කරන්න. අනිත් කොටසට කොළ වර්ණකය එක් කරන්න. පෙටල් නොසල් එක භාවිත කරමින් රෝස මල් නිර්මාණය කරන්න. කොළ යෙදීම සඳහා භාවිත කරන නොසල් එක උපයෝගී කරගෙන කොළ යොදා කේක් එක හැඩ කරගන්න. කේක් එක වටේ යට දාරය දිගේ ස්ටාර් නොසල් එක මඟින් හැඩකර තම ආදරණීයයන් හා එක්වී රස බලන්න.

 

 

 

ප්‍රවීණ සුපවේදිනී

ජනනී ගුරුසිංහ

පර්මා - ඉතාලිය