බබාලට කෑම පිළිගන්වද්දී පෙනුම ගැනත් හිතන්නම ඕනෙ

ජූලි 15, 2024

 

පුංචි ළමයෙකුට කෑම කවාගන්න තියෙන කරදරේ ගැන අහන්න ඕනෙ ඉතින් වයස අවුරුදු 1– 3ත් අතරේ වගේ වයසේ බබාලා ඉන්න අම්ම කෙනෙකුගෙන්ම තමයි. කෑම වෙලාවට ගෙදර පුංචි යුද පිට්ටනියක් වෙන තරමටම මේ කෑම කවාගන්න එක හුඟක් ගෙවල් වල අමාරුම කාර්යයක්. ඉතින් ඔන්න මේ කියන්න යන කතාව වැදගත් වෙන්නෙ එහෙම කෑම නොකන බබාලා ඉන්න, යුද්ද කරන ගෙවල් තියෙන අම්මලාට තමයි. බබාලා කෑම ප්‍රතික්ෂේප කරන්න විවිධ හේතු තියෙන්න පුළුවන්. සමහරවිට ඒවා සෞඛ්‍යමය හේතු වෙන්නත් පුළුවන්. එහෙම අවස්ථාවක නම් ඒ ගැන අනිවාර්යයෙන්ම බබාගේ වෛද්‍යවරයා එක්ක කතාකරන්නම ඕනෙ. හැබැයි එහෙම නොවෙන, කන්න කම්මැළිකමට, එහෙමත් නැත්තම් කඩචෝරු කන්න ආසාවට කෑම එපා කියන බබාලා තමයි ගොඩක්ම ඉන්නේ. කොහොම වුණත් ඔය කෑම යුද්ධය දිනන්න නම් බබාගේ කෑම එකට වෙනසක් එකතු කරගන්නම ඕනේ.

 විචිත්‍රභාවයක්

    කුඩා දරුවෝ පාටවලට හරි කැමතියි. ඉතින් පාට පාට එළවළුවලින් පුංචි පුංචි සැරසිලි ටිකක් කරලා එයාලට දුන්නොත් එයාලා ආසාවෙන් කයි. හුඟක් පුංචි දරුවන් එළවළු වර්ග කෑම ප්‍රතික්ෂේප කරනවා. පුංචිම දරුවන්ට, ඒ කියන්නෙ වයස අවුරුදු එකට අඩු දරුවන්ටනම් එළවළු තීරු විදිහට කපලා අතින් අහුලාගෙන කන්න දෙන්න පුළුවන්. අලුත් වැඩක් නිසා හුඟක් වෙලාවට ඔවුන් ආස වෙනවා. ඒ වගේම එකම පාට එළවළු නැතුව විවිධ වර්ණයේ එළවළු එකතු කරන එකෙනුත් ඔවුන්ට කෑමට ආසාව ඇතිකරන්න පුළුවන්.

 

වෙනස් වෙනස් හැඩ

 

හැමෝම වගේ පුරුද්දක් විදිහට එළවළු කපන්නේ දිගු හැඩයට. නැත්තම් කොටුවට. ඉතින් මේ එකම හැඩයේ එළවළු දකින පොඩ්ඩන් කෑම ප්‍රතික්ෂේප කරන එක අහන්නත් දෙයක් ද. මල්, කුරුල්ලෝ, තරු, සත්ත්ව රූප ආදි නොයෙකුත් හැඩවලින් කටර්ස් වෙළෙඳපොළේ තිබෙනවා. ඉතින් තම්බාගත් එළවළු මේ කටර්ස්වලින් විවිධ හැඩයට කපා ගන්න පුළුවන්. මේ ක්‍රමය පාන් පෙත්තටත් යොදා ගන්න පුළුවන්.

 

අලුත් කෑම

 

හැමදාම කන එකම කෑම වර්ග ටික විතරක්ම බබාට දෙන්න ගියොත් බබා කෑම ප්‍රතික්ෂේප කරන එක අහන්න දෙයක් නෙවෙයි. ඒ නිසා දවසින් දවස අලුත් කෑම වර්ග හඳුන්වා දෙන්න. පුංචි දරුවෝ අලුතෙන් හඳුන්වාදෙන කෑම කන්නත් හුඟක් වෙලාවට අකමැතියි. ඒකටත් අම්මලා ටිකක් උපක්‍රමශීලි වෙන්න ඕනෙ. බබා ආසම කෑමකට සමාන විදිහට අලුත් කෑම ලබාදීම, මුලින් මුලින් කුඩා ප්‍රමාණ වලින් ලබාදීලා හුරු කිරීම වගේම එකවරක් ප්‍රතික්ෂේප කරපු ගමන් නැවත නොදී ඉන්නෙ නැතුව දිගින් දිගටම උත්සාහ කිරීම තමයි මේ ගැටලුවට විසඳුම්. 

 

පාසල් කෑම පෙට්ටියට වෙනසක්

 

දරුවන් හරි ආසයි අනෙක් දරුවන් සමඟ බෙදා හදාගෙන කෑම රසවිඳින්න. වැඩියෙන්ම එයාලා කැමති අම්මා හදන හරි අපූරු කෑම අනිත් අයට පෙන්නන්න.

පාන්වලින් රවුම් සැන්ඩ්විච් එකක් හදල French fries, ක්‍රැකර්, එළවළු සහ වියළි මිදි එකතුකර ගත් මෙම නිර්මාණය ඉතාම ඉක්මනින් සකසාගන්න පුළුවන්.

බත් යවන්න වෙනවනම් Sweet Corn, ග්‍රීන් පීස්, හතු, චීස් කැබලි වැනි වෙනස් දේවල් එකතුකර ගන්න. වතුරගතිය අඩු කරි එකක් හෝ සලාදයක් එකතු කරගන්නත් අමතක කරන්න එපා.

පාට පාට පැස්ටා එකකට ලස්සනට කැපූ එළවළු, ධාන්‍ය වර්ග, මස්/මාළු/බිත්තර එකතුකරලා දුන්නොත් පොඩ්ඩා රස කර කර කාවි. අතුරුපසට අනිවාර්යයෙන්ම පලතුරකුත් ලස්සනට කපලා එකතු කරන්න.

මේ විදිහට පොඩි වෙනසක් කරලා හදලා දුන්නොත් පොඩ්ඩා පාසලේදි කිසිම අදි මදි කිරීමක් නැතිව අාසාවෙන් යාළුවොත් එක්ක කෑම කාවි.