බබාට කවන්න හරියටම ඉගෙන ගන්න

පෙබරවාරි 27, 2023

 

මව්කිරි විතරක් බීපු දරු පැටියට ඝන ආහාර හදුන්වා දෙන එක දරුවාගේ වර්ධනයේ ප්‍රධානතම සංධිස්ථානයක්. එය කායික ව වගේම මානසිකවත් වැදගත්

මාස හයක් පුරාවට මවුකිරිවලින් පමණක්ම සැනහුණු පුංචි දරු පැටියට අමතර ආහාර දීම පටන් ගන්නවා.

ළමා පෝෂණය ඇරැඹෙන්නේ දරුවකු මවුකුස පිළිසිඳ ගත් අවස්ථාවේ පටන්මයි.දරුවාට අවශ්‍ය ඇතැම් පෝෂක කොටස් සිරුරේ තැන්පත් වෙන්නේ ගර්භිණී සමය තුළයි.

මාස හයේ පටන් අමතර ආහාර සඳහා හුරුවන දරු පැටියා වැඩිහිටි අය එක්ක මේසයට වාඩි වෙලා ආහාර ගන්න පුළුවන් වෙනවා නම් කෑම කැවීමේ සටනේ මූලික ජයග්‍රහණය ඇත්තේ එතැනයි.

දරුවන්ට කෑම කැවීම යුද්ධයක් බව නොරහසක්. අම්මලට මේ සම්බන්ධයෙන් පැන නඟින ගැටලු බොහොමයි.

 

කහ පැහැති එළවළු, පලතුරු ගත් විට දරුවන් කහ වෙනවද?

කැරට්, වට්ටක්කා වැනි කැරටිනොයිඩ අඩංගු ආහාර වැඩිපුර ගත්විට ඇතැම් දරුවන්ගේ සම කහ පැහැයක් ගනී. නමුත් මෙය රෝගී තත්ත්වයක් නොවේ. විවිධ රෝග සඳහා ද දරුවන් කහ වෙයි. මේ නිසා දරුවන් කහ වෙයි නම් බලා සිටින්න එපා. වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

අතින් අල්ලා ගන්නා ආහාර (Finger foods) දීම පටන් ගත යුත්තේ ⁣කුමන වයසකදීද?

මේ සඳහා මාස 7 - 9 වයස සුදුසුයි.දරුවා ඒ සඳහා සූදානමක් නැත්නම් තරමක් පමා කළ හැකියි.

 

දිනකට වරක් හෝ බත් දිය යුතුමද?

දරුවන් බත්වලට කැමැත්තක් නොදක්වන්නේ නම් බත් දීම අනිවාර්යය නැහැ.බත්වල අඩංගු පිෂ්ටය අවශ්‍ය පමණට වෙනත් ආහාරයකින් ගන්නේ නම් බත් දිය යුතුමයි කියා නියමයක් නැහැ.

දරු පැටියගේ ආහාර වේල බ්ලෙන්ඩර් කළාට වරදක් නැද්ද ?

දරුවාට ආහාර හඳුන්වා දෙන මුල් දිනවලදීම උකු ස්වභාවයෙන් එනම් හැන්දේ රැඳී පවතින පරිදි දෙන්න. එයින් වැඩි ශක්තියක් සහ පෝෂණයක් ලැබේ.

 

දරුවාගේ බර වැඩි කිරීමට ආහාර දිය යුතු රටාවක් තිබේද ?

තෙල්, උකු පොල් කිරි, බටර් ආදී දෑ අනිවාර්යයෙන් දරුවාගේ බර වැඩි කරයි.වරකට මේවායින් එක් දෙයක් හෝ ආහාරයට එක් කිරීමට අමතක කරන්න එපා.එයින් දරුවාට වැඩි ශක්තියක් ලැබේ.

 

විටමින්(මෝරතෙල්, මෝර ගුලි) දරුවාට දීම අවශ්‍ය ද?

මෙය අත්‍යවශ්‍ය කාරණයක් නොවේ. විටමින් දියයුතු වන්නේ වෛද්‍ය උපදෙස් මතයි.

නාරං, දොඩම් යුෂ දරුවාට දිය යුතුවන්නේ අමතර ආහාර ආරම්භයේදීම ද?

 

එදා වැඩිහිටියන් අලුත උපන් දරුවන්ට පවා නාරං, දොඩම් යුෂ දුන්නා. මෙය කිසිසේත්ම නොකළ යුතුයි. මාස හයක් සම්පූර්ණ වූ පසු අමතර ආහාර දීම ආරම්භයේ දී මේ පලතුරු යුෂ දිය හැකියි. රැකියාවට යන මවක් මාස හතරක් අවසානයේ පලතුරු යුෂ දීමෙහි වරදක් නැහැ.

දරුවාට මාමයිට් දීම සුදුසු ද එසේ නම් ඒ කුමන වයසේදී ද?

මාමයිට් වැනි දේ දරුවාට වයස අවුරුද්දක් සම්පූර්ණ වීමට පෙර නොදිය යුතුයි.කෘත්‍රිම හෝ කල් තබාගත හැකි ආහාර වෙනුවට නැවුම් එළවළු සාරය වැනි ආහාර දීම උචිතයි.

 

පැණිරස කෑවම පුංචි දරුවන්ගේ දත් නරක් වෙනවද?

දත් නරක් වෙන්නේ පැණි රස කෑමෙන් නෙවෙයි. පැණිරස අඩංගු දේ කෑමෙන් පසු කටේ ඉතිරිවන සීනි මිශ්‍ර කෑම කැබැලි දත්වල රැඳී තිබීමෙනුයි දත් නරක් වෙන්නේ. නිතර නිතර සීනි මිශ්‍ර කෑම නොගැනීමටත්, කෑම කෑ විගස කට සෝදා දැමීමෙනුත් දත් ආරක්ෂා කරගත හැකියි.

දරුවාට වතුර දීම කළ යුතුවන්නේ කොහොමද ?

මාස හයට අඩු දරුවන්ට කිසිසේත්ම වතුර අවශ්‍ය වන්නේ නැහැ.අවශ්‍ය වතුර ප්‍රමාණය මව්කිරිවලින් නොඅඩුව ලැබෙනවා. ඌෂ්ණ කාලගුණ ඇතිවිට මවුකිරි ඊට අනුව වෙනස් වෙනවා. මව්කිරි වල සියයට 88 - 94 ත් අතර ඇත්තේ ජලයයි.

අමතර ආහාර පටන් ගත් වහාම වතුර දීම ද අවශ්‍යයි. නමුත් වතුර ගතියට ආහාර ලබාදීම (උදාහරණ: කැඳ, සුප්, පලතුරු යුෂ) හෝ වතුර බොමින් කෑම කැවීම නොකළ යුතුයි. ආහාර ගැනීමෙන් පසු වතුර කෝප්ප භාගයක් පමණ ලබා දීම සුදුසුයි.

හොඳින් උතුරුවා නිවාගත් ජලය හෝ ප්‍රමිතිගත පෝෂණයකින් පෙරාගත් වතුර පමණක් දරුවන්ට ලබා දෙන්න.

වයස අවුරුද්දක සිට අවුරුදු 3 වන තෙක් දරුවාට දිනකට වතුර මිලිලීටර් 1200 - 1600 ක් පමණ අවශ්‍ය වේ. මේ වතුර ප්‍රමාණය තැඹිලි, පලතුරු යුෂ, කිරි ආදී ලෙසත් සිරුරට ලබා සිය හැකියි.

වියළි කාලගුණය, පරිසර උෂ්ණත්වය වැඩි කාලවල, අධික දහඩිය දහඩිය දමන විට, පාචනය, උණ, සෙම්ප්‍රතිශ්‍යාව ඇති විට පාන වර්ග වැඩිපුර ලබා දිය යුතුයි. දරුවා කැමැති බඳුන්වල හා පහසුවෙන් ළඟා විය හැකි තැනක ජලය තබන්න. උදාහරණ බෝතල්, කරාමයක් සහිත ජල පෙරණයක්, පියන සහිත උරන කෝප්ප

දරුවාගේ පෞරුෂ වර්ධනයට ආහාර ගැනීම ගැනීම විනෝදයක් කිරීමට අතින් අල්ලාගෙන තනිව වතුර බීමට හුරු කිරීම හොඳ ක්‍රියාකාරකමකි.

 

උපදෙස් :

ළදරු හා ළමා සෞඛ්‍ය උපදේශිකා

ශ්‍යාමලී පතිරගේ