වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
හිතුමතයට ගන්නා කැස්ස සිරප්වලින් ඇත්තට ම ලෙඩේ සුවවෙනවාද?
කෝවිඩ් පැතිරීමත් සමඟ රට වසා තිබුණත් නිතර නිතර පුද්ගලයන් යන තැනක් තිබෙනවා. ඒ ඖෂධ ශාලාවන්ය. ඔබ වගේම ඔබේ පවුලේ සාමාජිකයනුත් වෛද්‍ය නිර්දේශ ඇතිව හෝ නැතුව කෙතරම් වාරයක් නම් ඔසු සලට යනවාදැයි ගණන්කර බලන්න. මෙසේ ගොස් ගන්නා ඖෂධ අතර පෙරමුණ ගන්නේ විටමින් සී, සින්ක්, ඩී විටමින් හා කැස්සට ගන්නා සිරප්ය. වෛද්‍ය නිර්දේශ මත ගන්නා ඖෂධයකින් නම් කිසිවකුටත් අහිතකර බලපෑමක් ඇති නො වෙයි. එහෙත් හිතුමතයේ ඔසු ගැනීමේ භයානකකම ඔබ දන්නවාද ?
කැස්සට ගන්නා සිරප්
මේ සිරප් නිපදවා ඇත්තේ රෝගියාට කැස්සෙන් සහනයක් ලැබෙන විදියටයි. සමහර සිරප් මඟින් ශ්ලේෂ්මල තුනීකර කැස්ස පහසු කරනවා. තවත් සිරප් වර්ගවලින් නාසයේ උගුරේ ඉදිමීම අඩු කරනවා. අධ්‍යයනවලින් හෙළිවී ඇත්තේ කැස්ස නතර කිරීමේ හැකියාවක් වෙළෙඳ පොළේ ඇති බොහෝ ඖෂධවලට නැති බවයි.
මේවා ගැනීමෙන් නිදිමත ගතියක් ඇතිවන නිසා වයස අවුරුදු හතරට අඩු දරුවන්ට නිර්දේශ කරන්නේ නැහැ.
කැස්ස රෝග ලකුණක් පමණක් නො වෙයි.
කෝවිඩ් - 19 රෝගයේ ප්‍රධාන ලකුණක් බවට කැස්ස පත්වී තිබුණත්
කැස්ස කියන්නේ බාහිරින් ස්වසන මාර්ගයට ඇතුළු වන දෙයක් වගේම අමතර ශ්ලේෂ්මල ඉවත් කරන ස්වභාවික ආරක්ෂක ක්‍රියාවලියක්. ස්වසන මඟට ඇතුළු වන දූවිලි, මල් රේණු, දුම් ආදී විවිධ දේ මෙසේ කැස්ස මඟින් බැහැර කරනවා.
කෝවිඩ් වැනි රෝග වැලඳුණු විට කැස්සට සහනයක් ලබා ගැනීමට කැස්සට දෙන විවිධ සිරප් වර්ග ගත්තත් ඒවායේ අඩංගුව තිබෙන්නේ මොනවාද ? ඇල්කොහොල්, කැනබිස්, ක්ලෝරෆෝම්, මෝර්ෆීන්, හෙරොයින් වැනි දේත් මෙහි තිබෙනවා. කුමන දේ අඩංගු වුවත් කැස්සට දෙන සිරප්වලින් ලැබෙන්නේ සුළු සහනයක් පමණයි.
මාත්‍රාව ඉක්මවා නම් ගන්නම එපා
නියමිත ප්‍රමාණයට වඩා කැස්සට දෙන සිරප් ගත්තොත් මාරාන්තික ප්‍රතිඵල පවා අත්දකින්න පුළුවන්. නිදිමත, ඇස්වල චලනය පාලනය කිරීමට නො හැකිවීම, මානසික ව්යාකූලතාවත් සිරප් නිසා ඇතිවන්න පුළුවන් තත්ත්වයන් කිහිපයක්.
වඩාත්ම අහිතකර ලෙසින් කැස්ස සිරප් බලපාන්නේ දරුවන්ටයි. නියමිත මාත්‍රාවට වඩා වැඩි මාත්‍රාවක් ගත්තොත් දරුවා රෝහල්ගත කිරීමට සිදු වෙනවා.
දියවැඩියාව, හදවත් රෝග . අධි රුධිර පීඩනය වැනි නිදන්ගත රෝගයකින් පීඩා විඳින්නෙක් වෛද්‍ය නිර්දේශයකින් තොරව කැස්සට සිරප් නො ගත යුතුයි.
අධික සීනි ප්‍රමාණයක් අඩංගු නිසා දත් දිරායාමේ ඉඩක්
තැස්සට දෙන සිරප් බොහොමයක දත්වලට අහිතකර සුක්රෝස්, ෆෘක්ටෝස්, කෝන් සිරප්, සිට්රික් අම්ලය, ඇල්කොහොල් අඩංගුයි. මේවා දත්වලට හානිකරයි. දිගු කාලයක් කැස්ස සිරප් ගැනීමෙන් දීර්ගකාලීන දන්තාබාධ සෑදෙනවා.
දියවැඩියා රෝගීන් කිසි විටකත් හිතුමතේ කැස්ස සිරප් පානය නො කළ යුත්තේ ඒවායේ අධික ලෙස සීනි අඩංගු නිසයි. ඔවුන්ට ගැළපෙන සිරප් වෛද්‍යවරයකුම නිර්දේශ කළ යුතුයි.
ඇල්කොහොල් ඇත්නම් මුව වියළෙනවා.
මේ සිරප්වල අඩංගු තවත් අහිතකර ද්‍රව්‍යයක් වන්නේ ඇල්කොහොල්. සුළුවෙන් අඩංගුව තිබුණත් ඇල්කොහොල් මුව වියළි බවට පත් කරනවා. මුව ආවරණ නිතරම පැලඳීමෙන් මුව වියළිමේ වැඩි අවදානමක් ඇති මේ කාලයේ එවැනි සිරප්වලින් මුවට සිදුවන හානිය වැඩියි. සාමාන්‍යයෙන් අපේ මුවින් දිනකට ඛේඨය ලීටර් 0.5 -1.5 පමණ නිෂ්පාදනය වෙනවා. ඛේඨය අහිතකර බැක්ටීරියාවන් විනාශ කරනවා. භයානක අම්ල භාෂ්මික කරනවා. ඇල්කොහොල්වලින් මුව වියළුණු විට ඛේඨය නිපදවන්නේ අඩුවෙන්. එවිට භයානක අම්ල, අහිතකර බැක්ටීරියා මුවේ වැඩිවී දත් දිරායාමේ ඉඩ වැඩි වෙනවා.
සිරප් වෙනුවට පෙති ගැනීම, ආහාරයක් සමඟ සිරප් ගැනීම මීට පිළියමක්. ආහාර ගන්නා විට ස්වභාවයෙන්ම ඛේඨය වැඩිපුර නිපදවෙන නිසා දත්වලට සිදුවිය හැකි හානිය අඩු වෙනවා. සිරප් පානයෙන් පසු දත් මැදීම ද දත් රැකගත හැකි ක්‍රමයක්. විශේෂයෙන් රාත්‍රී නින්දට පෙර දත් මැදීම අනිවාර්යයෙන්ම කළ යුත්තක්.
නව යොවුන් දරුවන් සිටිනවා නම් වැඩි අවධානයක් යොමු කරන්න
කාලයක් ඖෂධ ශාලාවලින් වෛද්‍ය නිර්දේශයකින් තොරව කැස්ස සිරප් ගැනීමට හැකි වුණේ නැහැ. එයට හේතුව නව යොවුන් දරුවන් මීට ඇබ්බැහි වීමයි. codeine,hydrocodone හා dextromethorphan [DXM] අඩංගු කැස්සට ගන්නා සිරප්වල නිදිමත සෑදීම, අක්‍රීය වීම වගේම ඇබ්බැහි වීමේ ඉඩ කඩත් වැඩි කරනවා. අධි මාත්‍රාවෙන් dextromethorphan [DXM] ගත් විට පුද්ගලයා තමන්ටම හානිකර ගැනීමට පවා ඉඩ තිබෙනවා. මේ අයගේ හද ගැස්ම වේගවත් වෙනවා.
නව යොවුන් දරුවන් සිටින නිවෙස්වල මාපියන් කැස්සට දෙන සිරප් බෝතලයක් තිබෙනවා නම් එය තමන්ගේ භාරයේම තියා ගන්න.
උපදෙස් -
ප්‍රජා වෛද්‍ය විශේෂඥ
දිමුතු ධර්මවර්ධන