Wednesday, December 10, 2025
Epaper

by Thanushika

තරුණී හිමිදිරිය, ඔබගේ නිර්මාණ පළවන කාන්තා පුවත්පත් අතර ජනප්‍රියතම කවි පිටුවයි. ඒ සඳහා ඔබේ නිර්මාණ අපට එවන්න. ප්‍රවීණ කවි කිවිඳියන් විසින් තෝරාගනු ලබන හොඳම කවිය ඔබේ කවිය කරගන්න. ඔබේ නිර්මාණ හිමිදිරිය, තරුණී, ලේක් හවුස්, කොළඹ 10 ලිපිනයට යොමු කරන්න.

අද හිමිදිරියට කවි තෝරන ඔහු සුදත් ගාමිණී බණ්ඩාර

ප්‍රවීණ කවියකු සේම ගී පද රචකයකු වන සුදත් ගාමිණී බණ්ඩාර මේ වන විට කවි පොත් හයක් සහ ගී පදමාලා සංග්‍රහ දෙකක් පළකර ඇත. ඔහුගේ ‘උමා’ නමැති ගී පදමාලා කෘතිය උදෙසා 2006 වසරේදී ‘රාජ්‍ය සාහිත්‍ය සම්මානය’ හිමි විය. සමන් ජිනදාස ගායනා කරන ‘තුමුල නමුණුකුල’ සහ කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන ‘හන්තාන දෙසින් එන’ වැනි ප්‍රශස්ත ගී රැසක පද රචකයා ද ඔහුය.

හොඳම කවිය

රන් හදවත දැන් මා ගාවයි

අසීරුම කාර්තුවක බර ගෙන
උතුරු කෙළවරට යමි මම
එකලාව නැගෙන ශීතය
ඇසෙයි හිම වලස් ගීතය

ගෙදරින් පිට අඳුරු වැසි ළඟ
සරත් සමයයි දොරකඩ
මේ රේන්දය ගොතන්නට
ඉඳිකටුව! එන්න මා වෙත

ඉදිරියෙන් යයි නූල් බෝලය
අසුන් තහනම් වන මැද
ලොකු නුවණක්කාර පුංචි ඉවාන්
නිදි ඇති පිදුරු මිටියක

බිරියෝසා ගස් සුදු පාටයි
රතු එළදෙන සුදුමැලි පාටයි
රිදී පීරිසිය නුඹ ගාවයි
රන් හදවත දැන් මා ගාවයි

නයෝමී අමරසිංහ

මේ සතියේ හොඳම කවිය ලෙස නයෝමි අමරසිංහ කිවිඳියගේ ‘රන් හදවත දැන් මා ගාවයි’ නිර්මාණය තෝරා ගතිමි.

මෙය විදේශීය සාහිත්‍ය කෘතියක් පාදක කරගෙන ප්‍රතිනිර්මාණය කරන ලද කවියක් බව පෙනෙයි. ඒ රුසියානු සුරංගනා කතා මාලාවක් වන ‘ලස්සන වසිලීස්සා’ විය හැකිය.
එසේ තම සිත් ගත් වෙනත් කලා කෘතියක් පාදක කරගෙන කවි ලිවිය හැකියි.
එබඳු කතාවක එන චරිතයක ආත්මකථනයක් ලෙස මෙය හැඳින්විය හැකිය.
මේ මඟින් මුල් කෘතිය කියවූ රසිකයන් තුළ පමණක් නොව, නොකියවූ රසිකයන් තුළ ද භාවයන් ජනිත කරවීමට කිවිඳිය සමත් වී ඇත.
මෙම නිර්මාණයේ කාව්‍යෝචිත වූ භාෂා භාවිතය අගය කළ හැකිය. එසේම කවියේ අනුභූතියට උචිත වූ රිද්මයක් ප්‍රතිනිර්මාණය කිරීමට නයෝමි අමරසිංහ සමත් වී ඇත.

ආරාධිත කවිය

අම්මලා එක වගේ…..

මොටෝ රථ ඇදී යන ඩිසිප්ලීන් පෙරහරේ
මිහිඳු පෙරහර නටමි ඉංග්‍රීසි වීදියේ
කාංසා බෝකරන නිල් දුඹුරු ඇස් ගොඩේ
අම්මෙ මම ඔබ සොයමි නාඳුනන හිස් ගොඩේ

එකසරව ඇවිද යන සිසිරයේ සීතලේ
මම මටම කතා කළ දවස් වැඩියෙන් තියේ
ඍතු මාරුවට පිපෙන
ස්නෝඩ්‍රොප්ස් මල් වගේ
නයන දිය මල් පිපුණ
අම්මෙ නෙත් අගිස්සෙ

කෝපි දුම මීදුමේ වෙලී රැඟුමකි උදේ
ගණනකට නොගත් හිරු කුසීතව අවදි වේ
රැස්පබා ඉඳහිටක සිදුරු විද මීදුමේ
වඩිද්දී සහස් මල් අම්මෙ මසිතේ පිපේ

ලතු ඇපල් පොලිතීන් සළු ඇඳන් ඉකිගසයි
උකටලී ගවර රැළ තණබිමක උලාකයි
යූකලිප්ටස් දූම වැසි ⁣දියෙන් පහර කයි
රියැලටිය චිත්‍රෙකට වඩා අම්මේ දුරයි

වෙලා පාළුව ගෙනෙන අවාළු අඳුරෙ දී
උණුසුමට පොරව ගමි තනිකමේ පොරවනේ
සෙල්සියස් බිංදුවට හිම මිදුණ හදවතේ
කවි කැලැත්තෙන අයුරු අම්මෙ පුදුමත් හිතේ

පැසි පැටව් කුස හොවා මං අතරමං ලෙසේ
පැන දුවන කැන්ගරු අම්මලත් නෙත ගැටේ
විදුලි සැරයක් වගේ ඔයාවයි සිහිවු⁣ණේ
විශ්වයේ කොහෙ කොහෙත්
අම්මලා එක වගේ

ඉරේෂා හේමමාලි
මෙල්බර්න් – ඔස්ට්‍රේලියාව

යූකලිප්ටස් දූම – ඔස්ට්‍රේලියාවෙ තියෙන ගස් වර්ගයක්
ස්නෝඩ්‍රොප්ස් මල් – ඔස්ට්‍රේලියාවේ සීත ඍතුව අවසන් වන විට පිපෙන හිම වගේ සුදු පාට ⁣කුඩා මලක්.

ඇසුවාය ඇය

විසල් මැඳුරැති වීදි අතරින්
එකට පියමැන ගියපු දාක
ඇත්ත.! මතකෙට ගන්න බෑ මට
ඇය සිනහ වුණු වාර ගාණ

දූලි සුවඳැති මන්ද මාරුත
මහා නගරය මැදින් පාව
යනෙන විටදී ඇසුවාය ඇය
“අපිට මොකටද තවත් සාද.?”

නිශාන්ත බණ්ඩාර
පාලින්දනුවර

අතීත මතකය

ඉර ඇහැරෙන එකහමාර
සුවඳ පිරුණු එකහමාර
ඇස් නැටවෙන එකහමාර
පාසල අදවෙයි හමාර

පිනුම් පිරුණ ඔය පුරාම
හඳයා එක්ක නියර ගාව
සරුංගලේ ළඟ තියාන
දුවන අපේ මල් හිනාව

හීන නැතිව පාට ගෑව
අපට අහිමි හුදෙකලාව
ආයෙත් හමුවෙලා වගේ
මන්දාරම් අහස ගාව

සිසිර අඹන්පිටිය
පින්නවල

නුඹ නොමැති තත්පර

ඉඳහිටක වැහි වැටෙන අහසක්
ළඟදි නුඹ ළඟ හිඳින්න
පුළුවනි ද පෙර මතක පාරෙම
එහෙව් දිනෙකදි දකින්න
දුර යැවෙන ලොකු හීන
එනමුදු එපා එදිනට හොයන්න
ගතවෙනා හැම තත්පරේකම
හිතින් සිප අතහරින්න

ගිහාන් ප්‍රනාන්දු
කළුතර

 

නිහඬ සාක්ෂිය

දියවැඩියාවට
පැණි රහ අගුණයි කිය කියා
සීනි බෝතලේ හූරද්දි තාත්තා
හාංකවිසියක් තිබුණේම නෑ
එළඹෙන දවස් ගැන,
අම්මත් ගියාට පස්සෙ එලොව
පෙට්‍රල් මෑන් වෙලා
කර ගහන් ජීවිතේ බර
ඇස් දෙක වගේමයි බලාගත්තෙ
කෙලි පැටික්කිව
“ලිපිකාරිනියක් කරවලා
රජයේ ඔෆිසියක”

සින්න වෙන මහ ගෙදර
අඹ ගහේ මුදුන් අත්තක
හවස හය පහු වෙනවා එක්කම
උලලේනා කෑ ගෑව එදා මූසල දවසක් !
අනේ!
අර පොඩි එකීට යන දසාව,
“සුමනෙ ලිස්සල වැටිලා
පණ ගිහින් එතැනමලු”
ගම වටේටම ආරංචිය
ගියේ විනාඩියට දෙකට

යාන වාහනෙන් බටවුන
වට කරන් නෑදෑ පිරිවර
නැතත් මල් වඩම්
එහෙත් මළ ගෙයකි

සුදු කොඩියක් විතරක් එල්ලුව,
මොළේට ලේ බැහීමක්
හේතුවෙන් වුණු මරණයක්
වෛද්‍ය වාර්තාව ලියැවුණා
ඒත්,
සාක්කි ඕනෑවට වැඩියෙන් ඇති
විත්තිකරු තවමත් නිදැල්ලේ
නිහැඬිය …….
තාත්තා පයලෑව
ගෙවුණු හිල් බාටා දෙක

නදී රූබසිංහ
මාතර

 

තහංචි

පැළවෙන ගොයමට
නිල්ල ඉසින විට
වැහිමඩ රැල්ලක් වැටුණයි
මැණිකෙගේ සේලේ
නෙරි කැරැල්ල වටකොට
ඇඳි සේලේ

පන්දම් ඇස් අග
ගිනි අහුලන අන්දම්
කඳුළද මාගේ පරවේණි
තහංචි ඇයි මට මේ හිත අද්දර
මැසිවිලි නොකිය සුන් කළ
හිත මාගේ

සුළඟේ ඇවිදින් තහංචි ඇරලා
විරිය පුරලා ගන්නද සුරතට
මවලා දෙනවද සිත මාගේ
නීලි වැස්ස කරදර ඇයි අද
තහංචි නෑ….

බන්ඩි ගොයම දැන්
සුළඟේ සැලෙයි
ඉරු සඳු පේවී සඳගල ගාවින්
මැණිකේ එනකොට
මැඩියෝ රොත්තක්
කෑගැසුවයි ඉහළ වෙලේ

උකුළු මුකුළු පා දෑත් සලා
ගිගිරි හඬින් බාල ලියෝ
රඟන රැඟුම් බලන බැලුම්
ඇති දැන්නම්
ගොනු පිට දැමූ බර
ගෝණි වගෙයි
මගේ හිත දැන්නම්
විරිය පානා හැටි අන්දම්

චන්ද්‍රිකා පුෂ්පරාණි ජයවීර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?