Sunday, May 17, 2026
Epaper
Home Hairපළුදු වූ කෙස් කලඹට පණ දෙන රහස්

පළුදු වූ කෙස් කලඹට පණ දෙන රහස්

by Shanaka Lakehouse

ඔෆිස් එකේ නිමාලි අද ආවේ වෙනදා වගේ නොවෙයි. කොණ්ඩෙත් ස්කාෆ් එකකින් වහගෙන. වෙනදා හැමෝත් එක්ක හිනා වෙලා කතා කරන ඇය අද නිහඬයි. කාටවත් මුහුණ දෙන්න බැරි වගේ හැඟීමක් මුහුණ පුරාම තිබුණා. ඇස් දෙකත් රතු වෙලා තිබුණේ එළිවෙනකම් අඬපු ලකුණක් වගේ.

“මොකද වුණේ නිමාලි…?” ඔෆිස් එකේ හැමෝම ඇහුවේ එකම ප්‍රශ්නය.

ඇය සෙමින් ස්කාෆ් එක ගලවලා පෙන්නුවා. එතකොටයි හැමෝටම තේරුණේ ඇය මේ තරම් අසරණ වෙලා හිටියේ ඇයි කියලා. ලස්සනට, දිලිසෙන විදිහට තිබුණු කොණ්ඩය ගුළි ගැහිලා. සමහර තැන්වල ගැට ගැහිලා පීරන්නවත් බැරි තත්ත්වයක්. තවත් තැන්වල වියළිලා, ඉස්සිලා, කැඩිලා තිබුණා.

“මං පෙරේදා කොණ්ඩේ ස්ට්‍රේට් කළා. එයාලා කිවුවේ දවස් තුනක් යනකන් හෝදන්න එපා කියලා. ඒත් ඔළුව රිදෙන්න ගත්තා. පාවිච්චි කරපු ක්‍රීම් එකේ සුවඳටත් මට අමාරුයි. ඉවසගන්න බැරි තැන මං වොෂ් කළා. ඒකෙන් තමයි මෙහෙම වුණේ…” කියලා ඇය කඳුළු පිසදාගත්තා.

මෙවැනි සිදුවීම් අද කාලයේ අසාමාන්‍ය දෙයක් නොවෙයි. Hair straightening, perming, rebonding, relaxing, keratin treatment වගේ beauty treatment වලින් පස්සේ සමහර අයට කොණ්ඩය වියළීම, කැඩීම, ගැට ගැසීම, හිසකෙස් වැටීම වැඩි වීම වැනි ගැටලු ඇතිවිය හැකිය.

ඇයි එහෙම වෙන්නේ?

කොණ්ඩය ස්ට්‍රේට් කිරීමක් හෝ පර්මිං කිරීමක් කරන විට අපි කරන්නේ කොණ්ඩයේ ස්වාභාවික බන්ධන ව්‍යූහයන් (bond structure) වෙනස් කිරීමයි. සාමාන්‍යයෙන් කොණ්ඩය සෑදී තිබෙන්නේ කෙරටීන් ප්‍රෝටීන්වලින්. ඒ ප්‍රෝටීන් අතර තිබෙන bonds තමයි කොණ්ඩයට කර්ල්, වේව්, ස්ට්‍රේට් වගේ ස්වාභාවික හැඩය දෙන්නේ.

ස්ට්‍රේට්නිං හෝ පර්මිං සත්කාරවලදී රසායනික නිෂ්පාදන භාවිත කරමින් කෙස් ගස හරහා ඇතුළට ගොස් inner cortex layer එකේ bonds break කර නැවත වෙනස් ආකාරයකින් set කරනවා. ඒ නිසා කොණ්ඩය ස්ට්‍රේට් හෝ කර්ලි වුණත්, මේ ක්‍රියාවලියෙන් පසු කෙස් ගස තාවකාලිකව දුර්වල විය හැකියි. මේ ක්‍රියාවලිය නිවැරදිව නොකළොත්, cuticle layer හානි වීම, කෙස් ගස වියළීම, ඇදෙනසුලු බව නැති වීම, ගැට ගැසීම, කැඩී යාම, රළු ස්වභාවයක් ඇති වීම වැනි ගැටලු ඇතිවිය හැකියි.

ගුණාත්මක නිෂ්පාදන

හිස් කබලට සහ කොණ්ඩයට භාවිත කරන නිෂ්පාදන තෝරාගැනීමේදී ප්‍රමිතිය ඉතා වැදගත්. විශේෂයෙන් NMRA අනුමැතිය සහිත, නිසි ලෙස ලියාපදිංචි වූ, විශ්වාසදායක නිෂ්පාදන භාවිත කිරීම වඩා ආරක්ෂිතය. සේවාදායකයෙක් විදිහටත් තමන්ගේ හිසට ගාන නිෂ්පාදනය මොකක්ද, ඒක ගුණාත්මක ද, භාවිත කරන්න සුදුසු ද කියලා අහන්න අයිතියක් තියෙනවා. සැලෝන් එකෙන් කියන නිසාම පිළිගන්න ඕනේ නැහැ. තමන්ගේ ශරීරයට භාවිත කරන දේ ගැන දැනගැනීම පාරිභෝගික අයිතියක්.

රූපලාවණ්‍ය ශිල්පිනියගේ වගකීම

නිෂ්පාදන නිවැරදිව භාවිත කිරීම රූපලාවණ්‍ය ශිල්පිනියගේ වගකීමක්. හැම නිෂ්පාදනයකටම වෙනම උපදෙස් මාලාවක් තියෙනවා. මිශ්‍ර කිරීමේ අනුපාතය, යෙදවුම් ක්‍රමය, සැකසුම් කාලය, සේදීමේ ක්‍රමය වගේ දේවල් උපදෙස් අනුවම ක්‍රියාවට නැංවිය යුතුයි.

ගාන්න ඕනේ ප්‍රමාණය ඉක්මවා නොගෑවීම, අවශ්‍ය තැන්වලට පමණක් ගෑම, කියන වෙලාවට සේදීම, neutralizer හෝ aftercare steps අමතක නොකිරීම මේ හැම දෙයක් ගැනම මනා අවබෝධයක් තිබිය යුතුයි. මිනිත්තු 10කින් පිරිසුදු කරන්න කියලා උපදෙස් දී තියෙනවා නම් ඒ විදිහටම කරන්න ඕනේ. වැඩියෙන් තැබුවොත් හානි වෙන්න පුළුවන්. හරියට පිරිසුදු නොකළොත් රසායනික අපද්‍රව්‍ය ඉතුරු වෙලා දුගඳ සහ හිසරදය වැනි දේවල් එන්න පුළුවන්.

උපදෙස් නොපිළිපැදීමත් ගැටලුවක්

සත්කාරයෙන් පස්සේ රූපලාවණ්‍ය ශිල්පිනිය දෙන උපදෙස් අනිවාර්යයෙන් පිළිපදින්න ඕනේ. බොහෝවිට ඔවුන් කියන්නේ දවස් 2–3ක් හෝදන්න එපා, කොණ්ඩය බැඳගන්න එපා, කොණ්ඩා කටු දාන්න එපා, වැහි වතුරට නිරාවරණය වෙන්න එපා, රළු ෂැම්පු භාවිත කරන්න එපා වැනි උපදෙස්. මේ උපදෙස් නොපිළිපදිද්දී සත්කාරයේ ප්‍රතිඵලය වැරදෙන්න පුළුවන්. Hair bonds ස්ථාවර වෙන්න කාලයක් ඕනේ. ඒවා හරියට පිළිපදින්නේ නැති වුණොත් නැමීම්, රැලි වැටීම්, වියළි බව, අසමාන වයනය වැනි දේවල් මතු වේ.

තනියම තීරණ ගන්න එපා

සත්කාරයෙන් පස්සේ ඔළුව රිදෙනවා, ගඳ ඉවසන්න බැහැ, හිස් කබල කසනවා, දැවෙනවා වගේ දේවල් තිබුණොත් ගෙදර ඉඳගෙන “මම වොෂ් කරලා බලන්නම්” කියලා තනි තීරණ ගන්න හොඳ නැහැ. එවැනි අවස්ථාවක හොඳම දේ සත්කාරය කරපු සැලෝන් එකට වහාම දැනුම් දීමයි. ඉන්පසු ගිහින් පෙන්වන්න. කළ යුතු දේ ගැන ඔවුන් සමඟ කතා කරන්න.

වෘත්තීය උපදෙස් අනුව ක්‍රියාත්මක වීමේදී ප්‍රතික්‍රියාවක් තියෙනවා නම් ආපසු හැරවීමේ ක්‍රම ගැන රූපලාවණ්‍ය ශිල්පිනිය දැනුවත් වෙලා ඉන්න ඕනේ.

හැමෝටම හැම සත්කාරයම ගැළපෙන්නේ නැහැ

සේවාදායකයෙක්ට සත්කාරයක් ලබා දෙන්න කලින් ඇයගේ ජීවන රටාව ගැනත් බලන්න ඕනේ. එයා නිතර දාඩිය දාන කෙනෙක් ද? දිනපතා හිස හෝදන්න ඕනේ කෙනෙක් ද? කොණ්ඩේ වෙනුවෙන් වෙලාවක් නැති කෙනෙක් ද? එළිමහනේ රැකියාව කරන කෙනෙක් ද?

මෙවැනි අයට දැඩි පසු සත්කාර තියෙන සත්කාර හැමවිටම ගැළපෙන්නේ නැහැ. Hair extensions දාගෙන දිග කොණ්ඩයක් තියාගන්න කැමැති කෙනෙක්ට ඒක නඩත්තු කරන්න වෙලාවක් නැත්නම් ඒක ප්‍රායෝගික නැහැ. උදේ හවස වෙලාවක් අරන් කොණ්ඩය පීරන්න, රෑට කොණ්ඩය ගොතන්න, වෙනම රැකවරණයක් දෙන්න වෙලාවක් නැත්නම් ඒ සත්කාරය කරන එකේ තේරුමක් නැහැ. ඒ වගේම මුහුණේ හැඩය, හිසකෙස් ඝනත්වය, ඝනකම අනුව ගැළපෙන දේ තෝරන්න ඕනේ. ඉතා තුනී කොණ්ඩයකට ස්ට්‍රේට් එකක් කළොත් කොණ්ඩේ තවත් අඩුවෙලා පේන්න පුළුවන්. ඒ වගේම ඉතා ඝන කොණ්ඩයකට කර්ලි එකක් දැම්මොත් අසාමාන්‍ය විදිහට කොණ්ඩය වැඩි වෙලා පේන්න පුළුවන්.

ආපසු හරවන ක්‍රම

නිමාලිට වුණ දේම ඔයාටත් වෙලා කොණ්ඩය ගැට ගැහිලා, රළු වෙලා, කැඩි කැඩී යනවා නම් protein treatment, bond repair treatment, deep conditioning වැනි ක්‍රම හරහා යථා තත්ත්වයට පත් කර ගත හැකියි. එක රැයකින් නොවෙයි, නමුත් කෙස් කලඹට නිසි රැකවරණයක් දුන්නොත් බොහෝවිට තත්ත්වය හොඳ කරගන්න පුළුවන්.

ටික කාලයක් රසායනික සත්කාරවලින් ඈත් වෙන්න. සල්ෆේට් රහිත ෂැම්පු භාවිත කරන්න. කන්ඩිෂනර් අනිවාර්යයෙන් පාවිච්චි කරන්න. ප්‍රෝටීන් සත්කාරයක් කරන්න. සතියකට සැරයක් හෙයාර් මාස්ක් එකක් දාන්න. කෙස් කලඹ උණුසුමට නිරාවරණය වීමට ඉඩ නොතබන්න. කෙස් කලඹේ තෙතමනයක් තබා ගන්න.

නමුත් සත්කාරයේදී රසායනික ද්‍රව්‍ය කෙස් ගස ඇතුළටම ගිහින් කෙස් ගසට දැඩි හානි සිදුවෙලා නම් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීම අපහසුයි. කෙස් ගසේ කියුටිකල් එකට බරපතළ ලෙස හානි වුණාම කොණ්ඩය ගැට ගැහෙනවා, පීරන්න අමාරුයි. ඇදෙනසුලු බව නැති වෙනවා. අග කැඩෙනවා, රළු වෙනවා. එවැනි අවස්ථාවල හානි වූ කොටස් කපා දැමීම හොඳම විසඳුම වෙන්න පුළුවන්.

කොණ්ඩයට මෙහෙම දෙයක් වුණාම හිතත් කැඩෙනවා. නමුත් එය අවසානයක් නොවෙයි. හොඳ නිෂ්පාදන, දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියන්, නිවැරදි තාක්ෂණය, සේවාදායක සහයෝගීතාව සහ පසු රැකවරණය කියන දේවල් එකට ආවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. සත්කාරයෙන් පස්සේ දෙන උපදෙස් පිළිපදන්න. ගැටලුවක් ඇතිවුණොත් කලබල නොවී වෘත්තීය උදවු ලබා ගන්න.

 

 

TEXT – විදුමිණි දිසාකරුණා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?