වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
දීප්තිමත් සමක රහස ස්ක්‍රබ් කිරීමයි
සුන්දර මුහුණක්, පැහැපත් සමක් තරුණියන්ගේ එක් පැතුමකි. ඒ නිසාම ලස්සන රුවක් ගැන හිතන අපේ ළඳුන් තමන්ගේ ලස්සන ගැන වැඩි වැඩියෙන් හිතනවා. ඒ වෙනුවෙන් වෙහෙසෙනවා.
ඒත් මේ අතරින් බොහොමයක් දෙනා රුව ලස්සන කරගැනීමේ නිසි ක්‍රමවේදය දන්නේ නැහැ.
ඒ සඳහා අත්වැලක් වන්නට ඇරඹි ලිපි පෙළේ දෙවැන්නයි අද ලබා දෙන්නේ.
අපි ෆේස් වොෂ් නිවැරැදිව භාවිත කරන ආකාරය ගිය සතියේ දැනුවත් වූ නිසා මේ සතියේ දී ෆේස් ස්ක්‍රබ් පිළිබඳ දැනුම ලබා දෙනවා.
සම පිරිසුදු කිරීම, ටෝනිං කිරීම සහ මොයිස්චරයිසිං කිරීම මෙන්ම, ස්ක්‍රබ් කිරීම ද රූපලාවණ්‍ය ක්ෂේත්රයේ දී සැලකිය යුතු ස්ථානයක් ගනී.
ස්ක්‍රබ් කිරීමෙන් සමේ ඇතිවන බොහොමයක් ගැටලු වළක්වා ගත හැකියි. ඒ වගේම විවිධ වර්ගයේ ස්ක්‍රබ් වර්ග වෙළෙඳ පොළේ තියෙනවා.
එනිසා එවැනි ගැළපෙන ස්ක්‍රබ් වර්ගයක් තෝරාගෙන ඔබේ සම පැහැපත් කිරීම කිසිසේත්ම අපහසු කාර්යයක් නොවේ. වෙළෙඳපොළේ ඇති ස්ක්‍රබ් වගේම නිවෙසේ දීත් අපිට ස්ක්‍රබ් සකසා ගත හැකියි.
ඒත් බොහොමයක් දෙනා හුරු වී හිඳින්නේ වෙළෙඳ පොළෙන් ලබාගන්නයි. ඒ නිසාම ඔබ ස්ක්‍රබ් වර්ගයක් තෝරා ගැනීමේ දී පහත කරුණු කෙරෙහි සැලකිලිමත් විය යුතුමයි.
පළමුවෙන්ම ඔබේ සමේ වර්ගය හඳුනා ගන්න. රූපලාවණ්‍ය ආයතනයකට ගිහින් පළපුරුදු රූපලාවණ්‍ය ශිල්පිනියක ලවා ඔබේ සම කුමනාකාරයේ සමක් දැයි පරීක්ෂා කරගත හැකියි.
ඒ අනුව එම සමට ගැළපෙන ස්වාභාවික ද්‍රව්‍ය යෙදූ ස්ක්‍රබ් වර්ගයක් මිලදී ගන්න. බොහෝවිට රසායනික ද්‍රව්‍ය යෙදූ ස්ක්‍රබ් වර්ග ද තියෙනවා.
ඒ නිසා හොඳ දෙයක් තෝරා ගැනීමේ දී ඒ පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වා අවශ්‍ය දේ තෝරාගන්න. මොනතරම් සල්ලි වැය කළත් එය නුසුදුසු, රසායන ද්‍රව්‍ය යෙදූ එකක් නම් කාලයක් යන විට සම විනාශ වී යා හැකියි. එමඟින් රුව ලස්සන වීම කෙසේ වෙතත් අවලස්සන වීමේ මාර්ගය නම් ඇතිවෙන්න හොඳටම ඉඩ තියෙනවා
මී පැණි, යෝගට්, සුදු හඳුන්, චොකලට්, හාල් පිටි, කෝමාරිකා, සීනි, දෙහි ආදී ස්වාභාවික ද්‍රව්‍ය ද ස්ක්‍රබ් සඳහා භාවිත කරනවා. ඒවා භාවිත කරනවා නම් අවශ්‍ය මිශ්‍රණය නියමිත ලෙස සකසා ගත යුතුයි.
ස්ක්‍රබ් කිරීමෙන් ඇතිවන වාසි බොහොමයි
පිරිසුදු සමක් සඳහා
කුණු, තෙල් හා දහදියෙන් තොර පිරිසුදු සමක් ලබා දෙයි. ෆේස් වොෂ් සහ මුහුණට යොදන අනෙකුත් පිරිසුදුකාරකවලට ඔබේ සමේ සිදුරු තුළ එකතු වන සියලුම දූවිලි පිටතට ඇද ගත නොහැකියි. එහෙත් ස්ක්‍රබ් කිරීම මෙම කාර්යය සාර්ථකව කරයි.
මැරුණු සම ඉවත් කරයි
මැරුණූු සම් කැබැලි රැඳුණු සම පිළිකුල් සහගතයි. එය පැහැදිලිවම රුව අවලස්සන කරන්න හේතු වේ. ස්ක්‍රබ් මඟින් මෙම මැරුණු සම් කොටස් ඉවත් කර සම පිරිසුදු කර යථා තත්ත්වයට පත් කරයි. මිය ගිය සෛල සම අඳුරු කරන අතර වෙහෙසකර පෙනුමක් ද ලබා දෙයි.
සමට දීප්තිය එක් කරයි
ස්ක්‍රබ් කිරීමෙන් ඔබේ සම පැහැපත් වේ. සමේ අඳුරු පැච් ඉවත් කරයි. මෙලෙස අඳුරු පැල්ලම් සහිත සම ඉවත් කිරීමට ස්ක්‍රබ් කිරීම කදිම විසඳුමකි. කුරුලෑ කැළැල් ඉවත් කිරීමට ද ස්ක්‍රබ් කිරීම උපකාරී වේ. සිනිඳු සමකට බොහෝ අය කැමැතියි. ස්ක්‍රබ් කිරීමෙන් සමට සුසිනිඳු බවත් ලැබේ. එමෙන්ම ඔබේ සමේ වයනය වැඩි දියුණු කරයි. නාසය දෙපස නිකටේ ඇති අඳුරු ලප හොඳින් ඉවත් කරගැනීමට ද මෙය කදිම විසඳුමකි. ඒ නිසා ඔබේ ලස්සන වීමේ ක්‍රියාවලිය තුළ ස්ක්‍රබ් කිරීමට ද ඉඩක් තිබිය යුතුයි. මැරුණූු සම, හා කුණූු දූවිලි මඟින් හොඳින් වාතය සමට ගලා ඒමක් සිදුවන්නේ නැහැ. සම බ්ලොක් වෙලා තියෙන්නේ. එය දිගින් දිගටම පැවැතීමෙන් අකලට මහලු පෙනුමක් ලැබෙනවා වගේම සමත් ටිකෙන් ටික දුර්වර්ණ වෙලා අවලස්සන පෙනුමත් ඇති කරනවා. කොහොමද නිවැරැදිව ස්ක්‍රබ් කරන්නේ?
පළමුවෙන්ම ෆේස් වොෂ් භාවිතයෙන් මුහුණ හා බෙල්ල හොඳින් සෝදාගන්න. ඉන්පසුව ස්ක්‍රබ් අත්ලට ගෙන මුහුණ පුරා ගල්වන්න. මෙහිදී නාසය උඩ, නාසය දෙපස, නිකට, බෙල්ල, නළල, මුහුණ දෙපස ආදී ස්ථාන පිළිබඳ සැලකිලිමත් වෙමින් ස්ක්‍රබ් ගල්වා සම්බාහනය කළ යුතුයි. ඇස්වල ගල්වන්න එපා. ඊට පසුව ඇඟිලි තුඩුවලින් කවාකාරව පිරිමදිමින් විනාඩි 5 -7 ක් සෙමෙන් සම්බාහානය කරන්න. අවසානයේ මඳ උණුසුම් වතුරෙන් සෝදා හරින්න. ඔබ භාවිත කරන්නේ සියයට සියයක් ම ස්වාභාවික ස්ක්‍රබ් වර්ගයක් නම් දවසක් හැර දවසක් ස්ක්‍රබ් කිරීමෙන් සමට මනා පෙනුමක් ලබාගත හැකියි.
මැරුණු සම, කුණු ආදිය ඉවත් වීම නිසා සමට දීප්තිමත් පෙනුමක් ලැබෙනවා. මෙය දිගින් දිගටම කිරීමෙන් සුන්දර පෙනුම දිනෙන් දින වැඩි වෙනවා. එය ඔබේ පෞරුෂය වර්ධනය කරගැනීමටත් හේතුවක් වේවි.
ප්‍රවීණ රූපලාවණ්‍ය උපදේශිකා, ජැනට් කොස්මැටික් ආයතනයේ අධ්‍යක්ෂිකා
ෂෙරීන් ප්‍රනාන්දු ගෙන්ඔබ ලස්සන කරන්නට අගනා උපදෙස්