නව වසරේ සිටවත් ආත්තම්මාගේ ජිම් එකට යමුද?

අලුත් අවුරුද්දේ කන කෑම බීම වලින් හොර රහසේ වැලඳෙන රෝග
අප්‍රේල් 21, 2021

 

බක් මස කියන්නේ තෙලෙන් කාලා කිරෙන් අත් සෝදන වසරේ රසටම කන බොන මාසයයි. මේ කාලයේ ගෘහණිය වැඩිපුරම සිටින්නේ ද මුළුතැන් ගෙයි කෑම පිළියෙල කිරීමේ රාජකාරියෙයි. නිවෙසට නෑ හිත මිතුරන් එන්නේ ද අතක් බරට කෑමබීම අරන්. හිතේ හැටියට කෑවාට බිව්වාට දහදිය දමන වැඩක් පොලක් කරනවාට වඩා එක තැන සිට කතාවෙන් කාලය කා දැමීම වැඩි දෙනකුගේ සිරිතයි. ඒ නිසා ම බක් මහේදී හදවත් රෝගයකින් සතුට දුක, බවට පත් වන අවස්ථා ද එමටයි. එසේ නො වුණත් මාස ගණනකට හරියන්න ගන්නා කෑම බීම තොගය අපට හොර රහසේ බෝ නො වන රෝග රැසකට මුල පුරනවා. හදවත් රෝග, ආඝාතය ( ස්ට්‍රෝක් ), පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය , නිදන්ගත ස්වසන රෝග, ස්ථුලතාව ඒ අතරින් ප්‍රධානයි.

අපේ රටේ මරණවලින් සියයට අසූ තුනකටම වගකිව යුත්තේ බෝ නො වන රෝගයි. ඉන් සියයට තිස් හතරක්ම සිදුවන්නේ හෘදය හා රුධිර වාහිනී සම්බන්ධ රෝග තත්ත්වයන් නිසා.වැඩි දෙනෙක් ලුණු, තෙල්, සීනි පමණට වඩා කෑම අහිතකර බව දැන සිටියත් ව්‍යායාම නො කිරීම නැත්නම් දහදිය දමන තුරු සිරුර ක්‍රියාකාරී කිරීමේ වටිනාකම දන්නේ නැහැ. කාර්ය බහුල ජීවන රටාවත් සමඟ බාල, තරුණ, මහලු සියල්ලන්ම උදාසීන වෙලා.

ඇවිද්ද පය දහස් වටී කියන බුද්ධිමත් මුතුන් මිත්තන් සිටිය සමාජයක අප ජීවත් වුව ද දැන් අපේ වැඩිහිටි ජනගහනයෙන් තුනෙන් එකක් අඩියක් ඔසවා අඩියක් තැබීමටත් කම්මැළියන් බවට පත්වී සිටිනවා. මෙසේ කම්මැළි වීමෙන් බෝ නො වන රෝගවලට ගොදුරු වීමට අමතරව මාංසපේශි දුබල වීම, අස්ථි තුනීවී බිඳීම වැනි තවත් ගැටලු රැසක් ඇති වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම දරුවකුටම දිනපතා පැයක් ( සතියේ දින හතේම ) ව්‍යායාම කරන ලෙසට උපදෙස් දී තිබෙනවා. වැඩිහිටියෙක් නම් සතියට දින පහක් වත් පැය භාගයක් ගණනේ ව්‍යායාම කළ යුතුයි යන්න දැන් දෙවරක් චක්කරේ වගේ සැමටම කට පාඩම්. ඒත් පාඩම් කිරීම විභාගයට පමණක් සීමා වෙනවා වගේ ඒ උපදෙසත් මතකයට පමණක් සීමා කරගෙන. අන්තිමට බැට කන්නේ වයස් භේදයක් නැතිව සියලුදෙනාමයි.

ව්‍යායාම කිරීමේ, ඇඟට පතට දැනෙන්න ක්‍රියාකාරී වීමේ වටිනාකම දන්නවද?

සිත, කය, හදවත සුරැකෙනවා.

විෂාදය, කාංසාවේ ලක්ෂණ අඩු වෙනවා.

සිතීමේ, ඉගෙන ගැනීමේ, තීරණ ගැනීමේ හැකියාව වැඩි දියුණු වෙනවා.

හැදෙන වැඩෙන වයසේ දරුවන්ගේ වර්ධනය හොඳින්ම සිදු වෙනවා.

මෙය නො දන්නාකම නිසා හෝ නො සැලකිලිමත්කම නිසා ගෝලීයව මිලියන 5 ක් අකාලයේ මිය යනවා. ලෝකයේම වැඩිහිටියන්ගෙන් හතර දෙනකුගෙන් එක් අයකු ව්‍යායාම කරන්නේ නැහැ.

පියවර ඔසවා ඇවිදින්න ගත් දිනයේ සිටම ව්‍යායාම අවශ්‍යයි. වයස අවුරුද්දේ දෙකේ දරුවන්ට පවා අඩු වශයෙන් මිනිත්තු 180 ක වත් ව්‍යායාම අවශ්‍යයි. දරුවාට අවුරුදු තුන හතරක් වන තුරුම මිනිත්තු 180 ක ව්‍යායාමයක් ලබා දිය යුතුයි. දරුවා කැමැති සෙල්ලමක් කිරීම මඟින් ද හොඳ ව්‍යායාමයක් ලබා දිය හැකියි.ඒත් අම්මලා, තාත්තලා නම් තමන්ගේ වැඩ කිරීමට පොඩ්ඩන් දවසෙම එක තැනක තබා ගන්න කැමැතියි. එසේ කිරීමෙන් මාපියන් කරන්නේ මොන තරම් බරපතළ වරදක්ද? වයස අවුරුදු පහට අඩු දරුවන්ට ජංගම දුරකථනය, පුංචි තිරය හැකි තරම් සීමා කළ යුතුයි. තිර කාලය පැයකට අඩු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශකර තිබෙනවා. ජංගම දුරකථනයත්, පුංචි තිරයත් දරුවා එක තැනකට කොටු කරනවා. ඒවා මනසට වගේම ඒ නිසා ගතටත් අහිතකරයි.

දරුවන් එක තැනක තබා ගත යුත්තේ කතන්දරයක් කියවීම වැනි අවස්ථාවකදී පමණයි.

වයස අවුරුදු පහේ සිට දාහත දක්වා අයට දිනකට මිනිත්තු 60 ක වත් ව්‍යායාමයක් ඕනෑ. ඒත් මේ වයසේ දරුවන් පොතපත අධ්‍යාපනයට පමණක් ‍සීමා කරන්න බොහෝ මාපියන් පෙලඹෙනවා.

නව යොවුන් වියෙන් තාරුණ්‍යයට පිය මනින වයස අවුරුදු 18 වයස් කාණ්ඩයේ සිට වයස අවුරුදු 64 දක්වාම දිනකට මිනිත්තු 150 - 300 ක ව්‍යායාමයක් අවශ්‍යයි. විශේෂයෙන් මාංසපේශි සවිමත් කරන ව්‍යායාමවලට මේ වයස් සීමාවේදී වැඩි තැනක් දෙන්න ඕන. වයස අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන් ද සතියකට දින 3 ක් හෝ ඊට වඩා දින ගණනක් ව්‍යායාම කළ යුතුයි.

අපේ සමාජයේ ගර්භණී වීමත් එක්තරා රෝගයක් වැලඳීමක් වගෙයි. අම්මා කෙනෙක් වෙන්න යන බව ආරංචි වුණොත් අතක් පයක් නොසෙල්වා එක තැනකට වී අන් අයකු පිස දෙන ආහාර ගන්නා අම්මලාත් සිටිනවා. එහෙත් ගැබිනි මවකටත් දිනකට අඩු වශයෙන් මිනිත්තු 150ක වත් ව්‍යායාම අවශ්‍යයි. එයින් ප්‍රසූතිය පහසු වෙනවා. දරු ප්‍රසූතියෙන් පසුවත් ප්‍රසූතියේ සංකූලතා නැති මවුවරුන් දිනකට මිනිත්තු 150 ක් ව්‍යායාම කළ යුතුයි.

බෝ නො වන රෝගවලින් පීඩා විඳින අයට ඉදිරියටවත් රෝගවල අතුරු ආබාධ අඩුකර ගැනීමට ඇති හොඳම ඔසුවක් වන්නේ ව්‍යායාමයි. මේ අයත් දිනකට අඩු වශයෙන් මිනිත්තු 150 - 300 ක් ව්‍යායාම කළ යුතුයි. ව්‍යායාම කිරීමේදී වෛද්‍ය උපදෙස් පැතීම වැදගත්.

 

 

උපදෙස් -

සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නො වන

රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ

ශාන්ති ගුණවර්ධන