වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
මිථ්‍යා මත දුරු කරමින් ඇදුම සුව කරගනිමු
“අනේ ඩොක්ටර් මට ගෙදර යන්න පුළුවන් නේද? නෝනයි දරුවයි මඟ බලාගෙන ඉන්නවා. මට හුස්ම ගන්න හරි අමාරුයි.“ ඒ ආදරණීය සැමියාගේ පියාගේ ජීවිතයේ හුස්ම පොද මාරයා උදුරා ගන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.
කෝවිඩ් -1 9 අද කවුරුත් කතා කරන ස්වසන රෝගය බවට පත් වෙලා. ඒත් පරිසර දූෂණයත් විවිධ හේතුත් මත කලක සිටම ස්වසන රෝග ගණනාවකින්ම මිනිසා පීඩා විඳිනවා. ඇදුම ඒ අතරින් මුල් තැනක් ගන්නවා. එනිසාම මැයි මාසයේ පළමු අඟහරුවාදා ලෝක ඇදුම දිනය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් නම් කර තිබෙනවා. මෙවර තේමාව ඇදුම ගැන ඇති මිථ්‍යා මත නිරාවරණය කරගනිමු යන්නයි.
ඇදුම මොන තරම් පීඩාකාරී රෝගයක් ද කියා වැටහෙන්නේ ගොඩ දැමූ මාළුවකුසේ දඟලමින් හුස්ම ගැනීමට වෙර ගන්නා තම ආදරණීයයා දෙස බලද්දීයි. වාසනාවකට අද ඇදුම පාලනය කළ හැකි ඔසු තිබෙනවා. ඒත් අහස උසට ගොඩ නැඟුණු මිථ්‍යා මත නිසා තවමත් ඇදුම රෝගයෙන් පීඩා විඳින,මියයන රෝගීන්ගෙන් අඩුවක් නැහැ. මොනවද මේ දුරින් දුරු කළ යුතු මිථ්‍යා මත ?
*ඇදුම ළමා වියේ රෝගයක්. වයසත් සමඟ සුව වෙනවා. මේ එක් මිථ්‍යා මතයක්.
ඇදුම වැලඳීමට වයස් භේදයක් නැහැ. ළමා වියේ ඇතිවන ඇදුම වයසින් වැඩෙත්ම දුරු වන අවස්ථා තිබෙනවා.
ඒත් තාවකාලිකව සුවවී නැවත වසර කිහිපයකින් ඉස්මතු වෙනවා. බරපතළ ලෙස ඇදුම ඇති දරුවන් නම් තාවකාලික සුවයක් වත් ලබන්නේ නැහැ. කුඩා දරුවන්ගේ කැස්ස, හතිය, හුස්ම ගැනීමේ අපහසුතාව ඇදුම වගේම වෙනත් ස්වසන රෝග නිසා ද ඇති වන්න පුළුවන්. බ්රොන්කයිටිස්, නියුමෝනියා එවැනි තත්ත්වයි.
මේවා කාලයත් සමඟ වඩාත් උග්‍ර වෙනවා. ඇදුම ඇති දරුවන්ට හුස්ම ගැනීමේ අපහසුතාවට අමතරව පපුවේ තද ගතියක් වේදනාවක් දැනෙනවා.
සීතල දේශගුණයක් ඇති විට, ක්‍රීඩා කළ විට, රාත්‍රියේ නින්දට ගිය විට කැස්ස ඇති වීම ළමා වියේ ඇදුම රෝගයේ ලකුණුයි. කැස්ස නිසා දරුවාගේ නින්දටත් බාධා සිදු වෙනවා.
* ඇදුම රෝගීන් ව්‍යායාම නො කළ යුතුයි.
ඇදුම රෝගීන් ව්‍යායාම නො කළ යුතුයි කියා ඇතැම් අයකු කීවත් මෙය තවත් බරපතළ වැරැදි මතයක්. නිරෝගීව සිටීමට කායික ක්‍රියාකාරිත්වය මොනතරම් වැදගත්ද?
ඇදුම නිසි ලෙස පාලනය කර ගැනීමටත් ව්‍යායාම නැත්නම් ශාරීරික ක්‍රියාකාරිත්වය ඉතා වැදගත්.
වෛද්‍ය උපදෙස් පරිදි තමන්ට ගැළපෙන ව්‍යායමයක වෙයදීමට ඇදුම රෝගියකුට ඔසු ගැනීම තරමටම වැදගත්.
ඒත් ව්‍යායාම කිරීමට පෙර ඖෂධ ගෙන ඇදුම හොඳින් පාලනය කළ යුතුයි.
ඖෂධ ගනිමින් ව්‍යායාම ගන්නා විට ඇදුම හොඳින් පාලනය වෙයි. ව්‍යායාම ගන්නා අතරේ ඇදුම ලක්ෂණ මතු වුණොත් වහාම ව්‍යායාම කිරීම නවතා ඇදුම පාලනය කරන ඔසු ගත යුතුයි.
ඇදුම රෝගයෙන් පෙලුණත් අන්තර්ජාතිකව කීර්තියට පත්වූ ඩේවිඩ් බෙකම් වැනි ක්‍රීඩකයන් පවා සිටිනවා.
උසට සරිලන බරක් පවත්වා ගැනීමට උපකාරී වන, පෙණහලු ක්‍රියාකාරිත්වය වැඩි කරන, ප්‍රතිශක්තිය වැඩි කරන, ආතතිය අඩු කරන ව්‍යායාමවලට ඇදුම රෝගීන් මුල් තැන දිය යුතුයි. යෝගා, පිහිනීම, ගොල්ෆ්, ටෙනිස්, බැඩ්මින්ටන්, වොලිබෝල්, බර ඉසිලීම, ඇවිදීම, පඩි නැඟීම ඇදුම රෝගීන්ට වඩාත්ම සුදුසු ක්රියාකාරිත්වයන්.
* උරන ඖෂධ වඩා හානිකරයි
උරන ඖෂධ පෙතිවලට වඩා හානිකරයි යන්න තවත් මිථ්‍යා මතයක්.
රුධිරයට එක්වන පෙති වශයෙන් ගන්නා ඔසුවලට වඩා පෙණහලුවලට කෙළින්ම බලපාන ස්ටීරොයිඩ ඔසු
(corticosteroid ) ඇදුම පාලනයට යොදාගත හැකි හොඳම ඔසුවක්.
ඇදුමට ගන්නා ඖෂධ පෙති වලින් යම් යම් අතුරු ආබාධ ඇති වුවත් මේ උරන ඔසු නැතිනම් ඉන්හේලර් වලින් ගන්නා ඔසුවල අතුරු ආබාධ අඩුයි.
එම නිසා අතුරු ආබාධ අඩුම ඇදුමට ගත හැකි හොඳම ඔසුවක් වන්නේ උරන ඔසුයි.
* ඇදුම බෝ වෙන රෝගයක් නිසා රෝගීන්ගෙන් දුරස් වී සිටිය යුතුයි.
මේ තවත් එවැනි මිථ්‍යා මතයක්. ඇදුම බෝවන රෝගයක් නො වෙයි. ඇදුම රෝගීන්ට නම් ප
හසුවෙන් වෙනත් බෝවන ස්වසන රෝග වැලඳිය හැකියි.
මේ නිසා නිතර සබන් ගා දෑත් සේදීම, මුහුණු ආවරණ පැලඳීම, දුරස්ථ භාවය වැනි යහ සුව පුරුදු දිගින් දිගටම පවත්වා ගැනීම ඇදුම රෝගීන්ට ඉතා වැදගත්.
පරම්පරාගතව නම් රෝගය වැලඳිය හැකියි. එකම පවුලේ කිහිප දෙනකු ඇදුම රෝගයෙන් පීඩා විඳින්න පුළුවන්.
එග්සීමා, පීනස වැනි වෙනත් අසාත්මිකතා ඇති අය ඇදුම රෝගයට ගොදුරු වීමේ අවදානමක් පවතිනවා. දූෂ්‍ය නාගරික පරිසරය, අක්‍රීය දුම්පානය, දූවිලි මැක්කන්, සත්ව ලොම්, පුස්, රසායන, දුම්, දූවිල්ල රෝගය උත්සන්න කරනවා.
ඇදුම කියන්නේ අසාත්මිකතාවක් නිසා දෑස් , මුහුණ , නාසය කැසීම මේ අය අතර සුලබයි.
කෝවිඩ් - 19 වැනි වසංගතයක් පවතින කාලයක මුහුණ, දෑතට තහනම් අඩවියක් කළ යුතුයි.
උපදෙස් - ස්වසන රෝග විශේෂඥ
අමිත ප්‍රනාන්දු