අතපය නො කඩා දරුවකු හැදීම වගේම නීරෝගි උපතක් ලබා දීමත් වැදගත්

ලෝක උපත් ආබාධ වළක්වන දිනය මාර්තු 3 වැනි දිනට යෙදී තිබෙනවා
පෙබරවාරි 21, 2022

කිරි සුවඳ උතුරා යන පුයර, සබන්වලින් කාමරය පිරිලා ගිහින්. කෞමදී බබාගෙ ඇඳුම් දමන පෙට්ටියේ කොනක ළදරු සබන් කැට ටිකක් තිබ්බා. දරු පැටියා දෝතට එනතුරු ඉවසීමක් නැති ඇයට ඕන ඇඳුම් පොඩි ටික කිරි සුවඳින් නහවන්නයි. ආදරවන්තයන් අම්මලා තාත්තලා වෙද්දී දෙසිතක ආදරය අවසන ලැඟුම් ගන්නේ පවුලට එක්වන පුංචි අමුත්තන්ගෙන්. අමුත්තියන්ගෙන්.

මී මැසි තුඩකින්වත් හානි නො වුණු මල් කැකුළක් දෝතට ගන්න මාපියන් මඟ බලා සිටිනවා. දරුවා පිළිසිඳ ගැනීමට පෙර සිට ෆෝලික් පෙති ගැනීමෙන් නියමිත දිනයට සායනයට යාමෙන් අවශ්‍ය විටමින් - එන්නත් ලබා ගැනීමෙන් දරුවා වෙනුවෙන් සියලු යුතුකම් ඉටුකළා යැයි මවක් සිතනවා. ඒත් අම්මා නො දැනුවත්ව ම අංග සම්පූර්ණ දරුවකු ලෙස බිහිවීමේ අයිතිය දරුවාගෙන් උදුරා ගෙන තිබෙන්න පුළුවන්.

වර්තමාන පරම්පරාව පමණක් නො වෙයි ඊට පරම්පරා දෙකකට පමණ පෙරදීත් සියරට කෑම සිරි සැප දෙන බව සිතනවාට වඩා සුද්දන් ගේ පිටි කෑම රටාවට වහල් වෙලයි ඉන්නේ. කොරියාව වැනි රටවල දේශීය ආහාර හා දේශීය ආහාර පිසීමේ රටාවන් දිගින් දිගට ම ප්‍රවර්ධනය කෙරෙනවා. ඒත් අපේ රටට තිරිඟු පිටි ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කළොත් බොහෝ අම්මලා පාන් ගෙඩිය සිහි වෙලා ක්ලාන්ත වේවි. විවිධාකාරයෙන් වැඩිහිටියාට වගේම නූපන් දරුවාටත් විසැති බොහෝ දේ නො දැනුවත්ව ශරීරගත වෙනවා. මේ ඉන් කිහිපයක් පමණයි.

ජානමය වශයෙන් විකෘති කළ ආහාර වගා කිරීමේදී වැඩිපුර යොදා ගන්නේ ග්ලයිෆොසේට් ( Glyphosate ) අඩංගු වල් නාශකයකයි. ග්ලයිෆොසේට් අධිකව යොදන රටවල උපත් ආබාධ ඇති දරුවන් බිහිවනවා වැඩියි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය පිළිකා කාරකයක් ලෙසින් සඳහන්කර තිබෙනවා.

hexachlorobenzene හෙක්සාක්ලෝරොබෙන්සීන් නම් කෘෂිකර්මයට හා කාර්මික කටයුතුවලට යොදා ගන්නා රසායනයට ගැබිනි වියේදී නිරාවරණය වීම ද උපත් ආබාධ ඇති දරුවකු බිහිවීමට මඟ පාදනවා. මේ රසායනයනයෙන් අපිරිසුදු වූ ආහාර, මාළුවලින් කෙනකුට ශරීරගත වන්න පුළුවන්.

ජානමය වශයෙන් වෙනස් කළ ආහාර මොනවාද ? අමෙරිකාවේ වගා කරන බඩ ඉරිඟුවලින් සෝයා බෝංචිවලින් වැඩි ප්‍රතිශතයක් ජානමය වශයෙන් විකෘති කළ ඒවායි. ග්ලයිෆොසේට් බාධා කරන්නේ පිරිපුන් දරු උපතකට පමණක් නො වෙයි. මඳසරු බවට, ගබ්සා වීමට ග්ලයිෆොසේට් හේතු වෙනවා. අර්තාපල්, ගස්ලබු, ඇතැම් ඇපල් වර්ග, සීනි සෑදීමට ගන්නා බීට් ජානමය වෙනස්කම් කළ ආහාර කීපයක්.

ආහාරවලට එකතු කරන දේ ද බලපානවා. අද අප ගන්නේ මොනතරම් දේවල් එක් කළ ආහාරද ? මේ එක් කරන ආහාර අතරේ නූපන් දරුවන්ට අහිතකර ආහාරත් තිබෙනවා. ආහාරයෙන් ලාබ ලබා ගැනීමට වර්ණවත් කිරීමට, ආහාරයේ පෙනුම වැඩි කිරීමට විවිධ අනවශ්‍ය දේ එක් කරනු ලබනවා. කිරි නිෂ්පාදනයේදී අධිකව නොයෙකුත් දේ යොදනවා. මේවායින් ආහාරයේ ගුණාත්මකභාවය අඩු වෙනවා. විස රසායන එක් වෙනවා. ඉන් බොහොමයක් සෞඛ්‍යයට හානිකරයි. පිටි කළ කිරිවල යුරියා, ෆෝමලින්, සේදුම්කාරක, ඇමෝනියම් සල්ෆේට්, බෝරික් අම්ලය, කෝස්ටික් සෝඩා, බෙන්සොයික් අම්ලය, සැලිසිලික් අම්ලය, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, සීනි හා මෙලමයින් අඩංගුයි.

තේ, කෝපිවලට පවා විවිධ අහිතකර දේ එක් කරන බව නො රහසක්. තේ කොළවලට සමාන කොළ යොදා තේ නිපදවන අවස්ථා තිබෙනවා. ඒවා සමහරක් ආහාරයට නො ගන්නා ඒවාය. අක්මා ආසාදනවලට එවන් තේ පරිභෝජනය හේතුවෙනවා. කෝපි ඇටවලට සියඹලා ඇට, අබ, එක් කරන අවස්ථා තිබෙනවා. මේවායින් ඩයරියා තත්ත්ව පවා ඇතිවීමට පුළුවන්.

පුස් කෑ පරිප්පු ගැන පසු ගිය කාලයේ නිතර කතා බහ වුණත් දැන් නම් ඒ ගැන අමතක වෙලා.

දිලිසෙන එළවළු විවිධ ඩයි වර්ග හා ද්‍රව්‍ය යෙදූ ඒවායි. ඒවා බොහොමයක් පිළිකා කාරකයි. එළවළු, පලතුරු බොහොමයකට ඔක්සිටොසින් සැකරින්, ඉටි, කැල්සියම් කාබයිඩ්, කොපර් සල්ෆේට් වැනි විස රසායන එක් කරනවා.

පරිප්පුවලට කෘත්‍රීම සහ වර්ණකය යෙදීම ඉන්දියාවේ සුලබව කෙරෙන්නක්. metanil yellow වර්ණකය යෙදූ පරිප්පු එක දිගට කෑමෙන් මොළයේ ස්නායු පටකවලට හානි වෙනවා. ඇතැම් අයිස්ක්‍රීම් නිෂ්පාදනවලට pepperonil, ethylacetate,butraldehyde, emil acetate, nitrate, , washing powder පවා එක් කරනවා.

මේවා වස විසට පොඩ්ඩයි දෙවැනි වෙන්නේ. අයිස්ක්‍රීම්වලට එක් කරන ද්‍රව්‍ය පෙණහලු, වකුගඩු, හදවත භයානක ලෙස රෝගී කරනවා.

විවිධ දේ එක් කළ ආහාර පිළිකාකාරක වගේ ම උපත් ආබාධ ඇති වීමටත් හේතු වෙනවා. ආහාරවලට යොදන ඇබ්බැහිකාරක ( additives ) සහ කල්තබා ගැනීමට යොදන ද්‍රව්‍ය කුසෙහි වැඩෙන දරුවාට වගේම මවු කිරි බොන දරුවාටත් බලපානවා. ආහාර දවටනවල E100 වැනි අංකවලින් දැක්වෙන්නේ ඇබ්බැහිකාරකයි.

ගැබිනි වියේදීවත් සිය රට දේ සිරි සැප දෙන බව සිතීම දරුවා වෙනුවෙන් මවකට කළ හැකි යුතුකමක්. ඒ වගේම එය වගකීමක් ද වෙනවා.

උපදෙස් - ළමා රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ගේ දේශනයක් ඇසුරින් සහ ලෝක සෞඛ්‍ය සංවිධාන පත්‍රිකාවකින්

 

සටහන
චම්පිකා දීපානි රණසිංහ