ආතතිය දුරලන නාඩි ශුද්ධි ප්‍රාණයාම

අප්‍රේල් 15, 2024

මානසික ආතතිය නොඑසේනම් ඉංග්‍රීසියෙන් ‘ Stress‘ නමින් හඳුන්වන තත්ත්වය වර්තමානයේදී සුලබව අසන්නටත්, දකින්නටත් ලැබෙන්නකි. මානසිකව රෝගී වූ හා රෝගී නොවූ සැමටම මුහුණ පාන්නට සිදුවන අවස්ථාවකි. අපට එදිනෙදා ජීවිතයේ මුහුණ පාන්නට සිදුවන සිදුවීම් හමුවේ සිතේ ඇතිවන ප්‍රතික්‍රියාව මානසික හා ශාරීරික ආතතිය නමින් හැඳින්වේ.

විභාගයකට මුහුණ දීමේදී, ප්‍රේම සම්බන්ධතාවක් බිඳ වැටීමේදී, තම හිතවතකුගේ මරණයකදී ,රැකියාව අහිමි වීමේදී, අධික කාර්ය බහුලත්වය මේ කුමන අවස්ථාවකදී වුවත් අපට ආතතිය ඇතිවිය හැකිය. එදිනෙදා ජීවිතයේ අපට බලපාන කවරම හෝ සබඳතාවක් ආතතියක් විය හැකිය. අද වන විට නවීන සමාජයේ බහුතරයක් දෙනා සිටින්නේ මානසික ආතතියෙනි. මීට අවුරුදු 50 - 60කට පෙර මෙම මානසික ආතතිය මෙපමණ අපිට බලපෑවේ නැති වුණත් අද වන විට සෘජුව හෝ වක්‍රව මෙම තත්ත්වයෙන් බලපෑම් ඇතිකරයි. විශේෂයෙන් මෙම ආතති තත්ත්වය වැඩි වශයෙන් බලපාන්නේ උගත් යැයි සමාජය පිළිගන්නා විධායක ශ්‍රේණියේ සේවය කරන අයටය.

අපගේ ජීවිතය යම් අරමුණක් කරා ගෙනයාමට යම් ආතතියක් අවශ්‍ය අතර එය ගුඩ් ස්ට්‍රෙස් යනුවෙන් හඳුන්වයි. නමුත් ජීවිතය විඳින්න බැරි තරමට අප කාර්යබහුල නම් එය හඳුන්වන්නේ බෑඩ් ස්ට්‍රෙස් යනුවෙනි. පසුගිය කාලය පුරාවට පැවැති ආර්ථිකයත් එක්ක බොහෝ දෙනාට ඇති වූයෙත් මෙම තත්ත්වයයි.

ආතති තත්ත්වයක් ඇති වූ විට එයින් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට කාලයක් ගත වේ. නමුත් ආතතියත් එක්ක ඇතිවන අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගවලින් සම්පූර්ණයෙන් මිදීමට හැකිය. මේ සඳහා යෝග අභ්‍යාස ඉතාම වැදගත්වන අතර ලද පමණින් සතුටු වීමට හැකි වීම ද එක් ප්‍රතිකාරයකි.

බොහෝ විට අපට ඉෂ්ට සිද්ධකර ගැනීමට නොහැකි දේ කරා අප කාලයක් තිස්සේ වේගයෙන් දිව යන අතර ඒවා ඉෂ්ට සිද්ධ නොවන විට අප මානසික පීඩනයට ලක්වේ.

අද අවුරුදු 7-8 වයස්වල දරුවන් පවා විභාග අසමත් වුණු විට සියදිවි නසා ගැනීමට තරම් මානසිකව දුර්වල වනුයේ වයස් භේදයකින් තොරව ඇති වී තිබෙන මානසික පීඩනය නිසාය.

මේ සඳහා ප්‍රතිකාර වශයෙන් යෝග ප්‍රතිකාර, නර්තනය, චිත්‍ර ඇඳීම, සොබාදහම සමඟ ඇවිදීම, හයියෙන් සිනාසීම, භාවනාව සහ සම්බාහනය ආදී බොහෝ ප්‍රතිකාර තිබේ. අද වනවිට බටහිර රටවල ඊට පිළියම් වශයෙන් එම ක්‍රමවේද භාවිත කරයි. යම්කිසි රටක දියුණුව රඳා පවතිනුයේ එම රටේ පුද්ගලයින් ලෙඩවන තරමට නොව නිරොගීවන තරමටය. හැමදේටම කලියෙන් තමාට පැයක්වත් දිනකට ආදරය කිරීමට පටන් ගතහොත් මෙම ආතති තත්ත්වයෙන් මිදී රූපස්වභාවය සහ තාරුණ්‍ය ද වර්ධනය කරගත හැකිය.

අද අප ඔබට හඳුන්වාදෙන මෙම අභ්‍යාස ක්‍රමය හඳුන්වනුයේ ප්‍රාණයාම වශයෙනි. ප්‍රාණ යනු ආයුෂ යන්නයි. යාම යනු පාලනය කිරීමයි. අපිට කේන්තියක්, පීඩනයක් ආ විට හෘද ස්පන්දනය සහ ස්වසන වේගය වැඩි වේ. එහෙයින් දවසකට විනාඩි 10 - 15ක් පමණ ප්‍රාණයාම කිරීමෙන් හෘදය, මොළය, රුධිර සංසරණය ඇතුළු සියලු පද්ධතීන් විවේකයක් ලබා ගන්නා අතර එමඟින් මානසික සුවතාවය වැඩි වර්ධනය වේ. මෙම ප්‍රාණයාම පිළිබඳව එකල සඳහන්ව තිබුණේ මරණයට ඇති බය නිසා දෙවියන් පවා ප්‍රාණයාමයේ යෙදෙන බවයි.

 

එහෙයින් ව්‍යායාම් යෝගාසන කෙසේ වෙතත් යෝගයේ හදවත කියා සලකන්නේ ප්‍රාණයාමයයි.

 

නාඩි ශුද්ධි ප්‍රාණයාමට සූදානම් වෙමු

මේ සඳහා යෙදීමට හොඳම වෙලාව වන්නේ පාන්දර 4.12 - 5.12 යන බ්‍රහ්ම මුහුර්ත කාලයයි. මෙම කාලයේදී අවට පරිසරය නිශ්චලව තිබෙන හෙයින් පහසුවෙන් සිත එක්තැන්කර ගැනීමට හැකිය. එහෙයින් පළමුව මුව කට සෝදා පිරිසුදු වතුර වීදුරු දෙක තුනක් පානය කරන්න. ඉන්පසු පිරිසුදු නිදහස් තැනක ඇතිරිල්ලක් දමා වාඩිවෙන්න. ඉන්පසු පහසු භාවනා ඉරියව්වක පද්මාසන, ශුකාසන, සිද්ධාසන, වජ්‍රාසන වැනි පහසු ඉරියව්වකට පැමිණෙන්න. කොන්ද සෘජු කොට දෙයත් දණහිස්වල තබා ඇස් පියාගෙන මනසින් ඔබේ ඉෂ්ට දේවතාවා සිහිකරන්න. දකුණු අතේ දබර ඇඟිල්ලේ අග සහ මැද ඇඟිල්ල ඇහි බැම අතර ඔබේ නළල මත තබන්න. ඔබේ මුදු ඇඟිල්ල සහ කුඩා ඇඟිල්ල වම් නාස්පුඩුව වැසෙන අතර, මාපටඇඟිල්ලෙන් දකුණු නාස්පුඬුව වසාගන්න. ඔබේ දකුණු මාපටඇඟිල්ලේ අග දකුණු නාස්පුඩුව වසා වම් නාස්පුඩුව හරහා හුස්ම ගන්න.

පිට කිරීමේදී දකුණු නාස්පුඩුව ඔබේ මහපටඇඟිල්ලෙන් නිදහස්කර දකුණු නාස්පුඩුව හරහා හුස්ම පිට කරන්න. නැවත දකුණු නාස්පුඩුවෙන් ආශ්වාස කරන්න. පසුව මාපටඇඟිල්ලෙන් වසා වම් නාස්පුඩුව හරහා හුස්ම පිට කරන්න. එසේ කරන විට ඔබේ හුස්ම ඒකාකාරව, සෙමින් මෘදු ලෙස තබා ගන්න.

බොහෝ අය මෙය ඔක්ෂිජන් ලබා ගැනීමේ අභ්‍යාසයක් ලෙස දක්වන අතර එය සම්පූර්ණයෙන් එසේ නොවේ. මෙලෙස ආශ්වාස ප්‍රාශ්වාස වේගය පාලනය කිරීමෙන් අපගේ මනස හොඳින් සන්සුන්ව තබාගත හැකිය. මෙය දිනපතා හොඳින් භාවනාවක් සේ පුහුණුවන්න. ඔබේ මනසට වගේම බොහෝ රෝගයන්ට මෙය ප්‍රතිකාරයක් සේ ක්‍රියාකරනු ඇත.

උපදෙස් -

ආචාර්ය චාමින් වර්ණකුල

සෙත්සඳ යෝග නිකේතනය

 

ඡායාරූප - රංජිත් අසංක