අලුතෙන් ෆෝන් එකක් ගන්නව නම් මේ ගැනත් හිතන්න

සැප්තැම්බර් 9, 2024

 

අලුතින් ජංගම දුරකථනයක් මිලදී ගැනීම කියන්නේ අපේ අවශ්‍යතාවයක් ඉෂ්ට කර ගැනීමක් වගේම තවත් විදිහකින් ආයෝජනයක්. මේ නිසා ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී ඔබ වියදම් කරන මුදලට සරිලන ආකාරයේ හොඳ තත්ත්වයේ පවතින දුරකථනයක් මිලදී ගැනීම පිළිබඳව සැලකිලිමත් වීම ඉතාම වැදගත්. අපි එහෙම කියන්නේ ජංගම දුරකථන අලෙවියට අදාළව නොයෙක් වංචාවන් වෙ‍ෙළඳපොළ තුළ සිදුවෙන බවට පැතිරෙමින් පවතින විවිධ ආරංචි නිසා.

 

ඔබ Brand new Phone එකක් මිලදී ගැනීමට සැලසුම් කරනවනම්, ඇත්තටම ඒක ඔරිජිනල් ෆෝන් එකක්ද නැතිනම් මීට පෙර භාවිත කරන ලද එකක්ද කියන එක පිළිබඳව සැක හැර දැනගැනීම වැදගත්. අද වන විට වෙ‍ෙළඳපොළේ භාවිත කරන ලද ජංගම දුරකථන  Brand new විදියට අලෙවි කරන නිසා Phone එකේ පිට ඔපය හොඳට තිබූ පමණින් අපිට Phone එක පිළිබඳව තීරණය කරන්න අමාරුයි.

මේ සඳහා ඔබ මිලදී ගනු ලබන Phone එකේ සහ ෆෝන් බොක්ස් එකේ තියෙන IMEI Number එක සමානද යන වග පරීක්ෂා කළ යුතුයි. Phone එකේ  *#06#  යන්න Dial කිරීමෙන් ඔබට එහි IMEI Number එක පරීක්ෂා කර ගත හැකියි. ඇතැම් විට මෙහිදී ෆෝන් එකේ IMEI Number එකම ව්‍යාජ ස්ටිකරයක් මාර්ගයෙන් ෆෝන් බොක්ස් එකේ අලවලා තියෙන්න පුළුවන්. එවැනි ව්‍යාජ උපක්‍රමවලට හසු නොවී සිටීමට ඔබ ඉතාම සුපරීක්ෂාකාරී විය යුතුයි.

 

බොහොමයක් අවස්ථාවල අලුතින් මිල දී ගනු ලබන ෆෝන් එකක් සඳහා හිමි වෙන්නේ අවුරුද්දක් වැනි කාලයක් සඳහා වන වගකීම් සහතිකයක්. මෙවැනි අවස්ථාවක අවුරුද්දක වගකීමක් ඇති බව පැවසූ සැණින් ඔබ තෘප්තිමත් වෙන්න එපා. ජංගම දුරකතනයක් සඳහා වගකීම් සහතික ලබාදෙන ආකාර 2 ක් තිබෙනවා. එකක් තමයි සොෆ්ට්වෙයා සඳහා ලබාදෙන වගකීම. අනෙක දුරකථනයේ හාඩ්වෙයා කොටස් සඳහා ලබා දෙන වගකීම. මෙහිදී ඔබ මිලදී ගනු ලබන ජංගම දුරකථනය සඳහා හිමි වන වගකීම් සහතිකය සොෆ්ට්වෙයා සඳහා ද, හාඩ්වෙයා සඳහාද යන වග පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. එයට හේතුව තමයි සොෆ්ට්වෙයා සඳහා ලබා දෙන වගකීම් සහතිකයක් නම් එය වසර 5 ක් දක්වා වුණත් එහි වටිනාකමක් නැහැ. ඔබේ දුරකථනයට යම්කිසි ආකාරයක හානි වීමක් වුණොත් එය පිළිසකර කර ගත හැකි වන්නේ හාඩ්වෙයා සඳහා වන වගකීම් සහතිකයක් තිබුණොත් පමණයි.

 

ජංගම දුරකථනය මිල දී ගැනීමේදී අදාළ සමාගමෙන් හෝ බලය ලත් අලෙවි නියෝජිතවරයෙකුගෙන් මිලදී ගැනීමේදී ඔබට මේ ආකාරයේ ගැටලුවලට මුහුණ දීමට සිදු වෙන්නේ නැහැ. ඒ නිසා සැමවිටම එවැනි ස්ථානයකින් මිලදී ගැනීමට වගබලා ගන්න.

 

ඔබ විදේශ රටකින් ජංගම දුරකථනයක් මිලදී ගන්නවා නම් තමයි මේ කාරණාව පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ. එයට හේතුව තමයි ඇතැම් අවස්ථාවල වෙනත් රටවල්වල නිෂ්පාදනය කරනු ලබන ජංගම දුරකථන සඳහා භාවිත කළ හැක්කේ එම අදාළ රට තුළ භාවිත කරන සිම් කාඩ්පතක් පමණයි. මේ නිසා පිට රටකින් ෆෝන් එකක් ගනිද්දී ෆෝන් එක Unlock ද කියන එක වගේම International ද කියන එක පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි.