වර්ෂ 2024 ක්වූ December 23 වැනිදා Monday
තක්කාලියෝ සහ තක්කාලි ලෝලියෝ
දිගට රස නහර පිනා යන්න ලියන්න කියලා හිතුවා. රස කෑම කියලා කියන්නේ දිව දිගු වීම කියලත් කියන්න පුළුවන් හරිය. දිව වඩාත් සංස්කෘතික වීම. තක්කාලි කියලා ජාතියක් ලෝකේ තියෙන්නේ ඇයි කියලා කියන්න මම නම් කියන්න දන්නේ නෑ. සමහරු කියන විදිහට තක්කාලි තමයි ගුණෙන් වැඩිම පලතුර. සමහරු කියන විදිහට එළවළුව. කවුරු කොහොම කිව්වත් හේන්බටු තක්කාලියේ ඉඳලා ලොකු ගෙඩි මස් තක්කාලිය වෙනකම් තක්කාලි ලෝලියෙක් මම.
ඉතින් ලෝකයට ගියාම තක්කාලි වර්ග ගොඩක් තියෙනවා. අපේ හේනේ බටු තක්කාලියා ගාවට යන්න කලින් මම කැමතියි ඒ තක්කාලි ලෝකය ඔයා ඉස්සරහා තියන්න. මෙහෙමයි කතාව අපි කන කෑම වට්ටෝරු අනුව තක්කාලියා ආකාර සතකට වර්ග කරන්න පුළුවන්.
අංක එක සලයිසින් තක්කාලියා. මේ කාණ්ඩයට වැටෙන්නේ වෙළෙඳපොළේ තියෙන රවුම් හැඩයේ මැද මධ්‍යම ප්‍රතිපදාව වඩවලා ගහෙන් බහින තක්කාලියා. සැන්ඩ්විච් හදනකොට පාන් අතරේ හිනාවෙන්න තමයි මෙයාලා වඩාත්ම ආසා. ඊළඟට සලාදවලට එක එක බර්ගර්ස්වලට මෙයා පට්ටෙට ගැළපෙනවා. ඉතින් අද වෙනකොට අපි වවන තක්කාලිවලින් 98%ක්ම මේ තක්කාලියා. මේක ඉතින් අපේ කෘෂිකර්මයේ තියෙන සදාතනික ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට විසඳුම මේ නව ආණ්ඩුවවත් දේවි කියලා මම නම් හිතනවා. ඒක වෙන කතාවක්. කතාව කැලේ ගියා. ආයෙත් තක්කාලියා ගාවට ආවොත් ඊළඟට අපිට චෙරි තක්කාලියා ගැන කතා කරන්න පුළුවන්. මේක ඇත්තටම මම ආසම තක්කාලි වර්ගයක්. ෆුඩ්සිටි එකේ රාක්කේ හිනාවෙලා බලාගෙන ඉන්නකොට අතට අරගෙන සුටුස් ගාලා කටට දාගන්න හිතෙන හරි බුහුටි හුරතල් තක්කාලියෙක් තමයි මෙයා. එක පාරෙන් සුටුස් ගාලා කටට දාගෙන එහෙට මෙහෙට කරකවන්න පුළුවන් නිසා වෙස්ට් එකේ ඊස්ටෙකේ කෑම වට්ටෝරුවේ මෙයා ජනප්‍රියයි. ඉතින් ෆුඩ්සිටි එකේ මෙයාලා දැක්කොත් මල්ලට දාගන්න අමතක කරන්න එපා. එහෙම ගෙනල්ලා තඩි කුකුළෙක් එක්ක රෝස්ට් කරලා ගන්නත් අමතක කරන්න එපා.
ඊළඟට ප්ලම් තක්කාලියා එහෙමත් නැත්තං රෝමා තක්කාලියා ගැන කතා කරන්න පුළුවන්. මෙයා තමයි සෝස් වර්ග හදන්න වැඩිපුර ගන්නේ. ඒකට හේතුව තමයි අනෙක් අයට වගේ එහෙමට තෙතමනයක් මෙයාට නෑ. මාංසලේ තමයි වැඩි. ලෝකයේ වැඩිපුරම වවන්නේ මෙන්න මේ තක්කාලියා කිව්වොත් ඔයා පුදුම වෙයි. ලස්සනම කතාව තමයි අපි අඩුවෙන්ම වවන්නේ මේ තක්කාලි. ඇත්තටම කීවොත් වවන්නේ නැති ගානයි.
ඊළඟට Beefsteak Tomatoes කියන්නේ හරිතාගාරවල වවන ප්‍රමාණයෙන් විශාල තක්කාලියෙක්. මහතදෙහෙත මෙයා රවුමට කපලා සැන්ඩ්විච්, බර්ගර්වලට දාගත්තාම ආයෙත් ඉතින් මොනවාද? Grape Tomatoes කියන්නේ චෙරි තක්කාලි වගේම තක්කාලියෙක්ට. ඒත් ඉතින් මෙයා එයා වගේ බෝලෙට නෑ. දිගැටියි. මෙයා අපේ හේනේ තක්කාලියා වගේ නෙවෙයි. චෙරි තක්කාලියා වගෙත් නෙවෙයි. මෙයා ටිකක් ස්වීටි. ඔයා පැස්තා හදනවා නම් ඔන්න ගන්න ඕනෑ මෙයා. එතකොට තමයි ඒ පැණි රස මාත්තුව දිවේ එතෙන්නේ. Canning Tomatoes කියලා කියන්නේ බෝතල් කරන්න ටින් කරන්න වගා කරන තක්කාලි ප්‍රභේදවලට. ඒවා රෝමා වගේම සෝස් සහ සල්සා සඳහා හොඳින් ගැළපෙනවා. අඩු ඇට ප්‍රමාණයක් තමයි මෙයා තියාගෙන ඉන්නේ. ඒ විතරක් නම් මදැයි මෙයාගේ හම පහසුවෙන් ගලවගන්න පුළුවන්. ඊළඟට අවසන් තක්කාලියා තමයි Heirloom Tomatoes කියන්නේ. ඇත්තටම විවිධ රටවල පාරම්පරිකව කාලාන්තරයක් තිස්සේ වගා කරමින් එන තක්කාලියා වර්ග තමයි මේ කාණ්ඩයට වැටෙන්නේ. අපේ හේනේ හම්බවෙන බටු තක්කාලියා එහෙමත් නැත්තං ගොරකා තක්කාලියා මෙන්න මේ කාණ්ඩයට තමයි වැටෙන්නේ. ලෝකය පුරාම මෙයාලා හරි දුකෙන් ඉන්නවා. මේ තක්කාලියාගේ සනුහරය ගැන කරුණු ගත්තේ අපේ සංජය රවිඳුගෙන්. ලංකාව අස්සේ නවීන කෘෂිකර්මයක් වෙනුවෙන් මහන්සිවෙන හාදයෙක් මිනිහා.
අපේ අම්මගේ තක්කාලියා
ඉස්සර අපේ අම්මා කරවල හාල්මැස්සෝ මොන ජාතිය හැදුවත් තක්කාලි ඒකට වීසිකරන්න අමතක කළේ නෑ. එළවළු ගේන්න කඩේට ගිය කිසිම වෙලාවක එයා තක්කාලි අමතක කළේ නෑ. ඒ හින්දමද කොහේද තක්කාලිවලට මාත් මාර ආසයි. පහළ ඌවේ හේන් පැල් වටේට හිනාවෙන පුංචි බටු තක්කාලිය හේන් හොද්දට වීසි කළාම තක්කාලිය ඒ හොද්දේ තවරන ඇඹුල් රසය මාරයි. සමහර වෙලාවට හේනේ ඉදෙන මඤ්ඤොක්කා කොළ මැල්ලුමට මේ හේන් තක්කාලි ගෙඩියක් එහෙට මෙහෙට කපලා දැම්මාම ඒකට එනවා අර මඤ්ඤෝකා කොළ රසට වෙනස් උත්තුංග රසක්.
ඉස්සර අම්මා අපිට උණ හැදිලා කටට කිසි දෙයක් රස නැතිවුණාම උගුර තුවාලවෙලා වගේ තියෙන වෙලවට හදලා දෙන සම්බෝල වර්ග දෙකක් තිබුණා. එකක් තමයි පොල් ගලෝලා ළිපේ අඟුරු අස්සෙ සඟවලා කළුවට හිනාවුණාම එළියට අරං ගලේ ගම්මිරිස් එක්ක අඹරලා හදන සම්බෝලය. ඇත්තටම මේක සම්බෝල කීවට ලුණු මිරිසක් වගේ එකක්. කළුවට කළුවේ දිවග මේක තියා ගත්තාම ඉතින් බත් ටික බඩට වැටෙනවා කිසි හිරිකිතයක් නැතුවම. ඊළඟට අපිට මෙහෙම වෙලාවට දෙනවා තක්කාලි කපලා ලොකු ලූනු, ගම්මිරිස්, නයි කොච්චි එක්ක මික්ස් කරලා. මේකටනම් උඩින් දෙහි මිරිකනවා. දෙහියි නයි මිරිසුයි තක්කාලියි ලොකු ලූනුයි එකතුවුණාම එන රස නොදන්න කෙනෙක් ලංකාවේ ඉන්න විදිහක් නෑ. මේක උඩින් උම්බලකඩ ඕසෙට ඉස්සාම රස දෙගුණ වෙනවා. මෙහෙම සම්බෝලයක් හැදුවාම ඒකේ රසම කොටහා තමයි භාජනය අඩියේ ඉතුරු වෙන හොද්ද. මට හිතෙන්නේ රත්නපුරේට සුවිශේෂ රසක් තමයි මේ හොද්ද. මේක පස්සේ කාලේ ඔය තායිකාරයෝ එහෙම ඇවිත් රත්නපුරේ පදිංචි වුණාම වෙනම රසක් විදිහට බයිට් උඩින් උඩින් වැටුණා. රත්නපුරේ තියෙන රික්මන්ඩ් එක වගේ තැන්වල ඉස්සර බීපු එවුන්ට මේ රස අමතක වෙන්න විදිහක් නෑ. කරුමේ කියන්නේ මට මේකේ නම කටට එන්නෙම නෑ. ඒ වෙනුවට කටට කෙළ උනනවා..
මේ ළඟදි දවසක කන්න හදාගන්න කිසිම දෙයක් නැති වෙලාවක එහේ මෙහේ බැලුවාම තක්කාලි ගෙඩි දෙකක් හිනාවෙනවා. රසකාරක නූඩ්ලස් පැකට් පොඩ්ඩෙකුත් අයිනක හිටියා. දැන් ඉතින් කොරන්න දෙයක් නෑ. වතුර අඩු කෝප්පයක් විතර ළිපේ තියලා ඒකට ලොකුවට කපලා තක්කාලි ගෙඩි ටික දැම්මා. ඊළඟට ලොකු ලූනු ගෙඩියකුත් හතරට පහට කපලා වීසි කළා. වතුර එක නටාගෙන එනකොට බඩ නට නටා බඩගිනී කියනකොට නූඩ්ලස් එකත් අරකටම එකතුකරලා සෝයා සෝස් ටිකක් ලාවට සියඹලාවක් එකතුකරලා කරකෝලා ගත්තා. අම්මෝ අමා රස. තක්කාලි මස යාන්තමට මෙලෙක වෙනකොට ගන්න තියේනම් රහ වැඩී.
කාලයක් මම සිංගප්පූරුවේ ලා විලා කියලා, ඉතාලි රස සුවඳ ඇඟට හලාගත්ත රෙස්ටුරෙන්ටුවක වැඩ කළා ඩීජේවරයෙක් විදිහට. (ඒක ගරු නාමයක් විතරයි..!) ඉතින් උතුරු ඉන්දියානු යක්ෂයා අපි එහෙමයි ඒ චෙපාට කියන්නේ.. මිනිහා උදෙන්ම ඇවිත් කරන පළමුවැනි වැඩේ තමයි ලස්සනම ලස්සන තක්කාලි පැටව් ටික පොත්ත යාන්තම් තැනින් තැන කළුවට හැරෙනකම් අවන්ගත කරන එක. ඊටපස්සේ තමයි ඒකෙන් පීසාව උඩින් වනන තක්කාලි ජූසියව හදාගන්නේ.
ඔයාලා තක්කාලිවලට ආසනම් තක්කාලි අවන්ගත කරලා කාලා බලන්න. ඇලුමිනියම් කොළයේ දවටලා පුච්චගෙන කාලා බලන්න. රස්නෙට පිට කට්ටකැඩිලා රස්නේ තක්කාලි ජූසිව දිවඟට හලාගත්ත නම් ඔබ තක්කාලි පෙරේතයෙක් පෙරේතියක් වෙනවා නිසැකයි.
ඒ ජූස් එකේ නැත්තම් රස සිරපයේ රස පැණියගේ ඔබ ආසකරන හැම රසක්ම තියෙනවා. ඔබගේ දිව රසග්‍රහණකාමී නම් රාගීවරයෙක් විදිහට ඔබට තක්කාලි රස එක්ක මුසු වෙන්න පුළුවන් වෙනවා.
පීසා, පස්තා, ලසඤ්ඤා වගේ කෑම ජාති ගත්තාම ඒවාට මේ අපි කතාකරන තක්කාලියා නැතිව රසට සුවඳට ලස්සනට හිනාවෙන්න බෑ. රස ගුලාවක් වෙන්නත් බෑ. එක එක තක්කාලි වර්ග එක එක රස වගේම එක එක කෑම වට්ටෝරු හැඩ කරනවා කියලා අපි මේ රස කතාව පටන් ගන්නකොටම කීවනේ. ඉතින් තක්කාලියා කියන්නේ කෑම රස කරන කරපිංචා, රම්පේ වගේ දෙයක් විතරක් නෙවෙයි. තක්කාලියා කියලා කියන්නේ වෙනම කන්න පුළුවන් දහස් ගාණක් රස වට්ටෝරුවල මුල් තැන හොබවන එළවළුවක්. ස්පාඤ්ඤය නම් අවුරුද්දකට සැරයක් තක්කාලිවලින් ගහගෙන මේ රස තක්කාලියාව රසට සමරනවා. ඒක තක්කාලි සෝස් එකක කිමිදිලා හිටියා වගේ වැඩක්.
මස්, මාළු, කරවල මේ මොකක් වුණත් තක්කාලි ජූස් එකෙන් තම්බගෙන කාලා බලන්න ඒක මොනතරම් රසද කියලා. හරක් මස් වගේ තද මාංශයක් තක්කාලි එක්ක එකට තිබ්බාම මස් අස්සට තක්කාලියා රිංගලා අපේ දිවට දෙන සැප ගැන නොදන්න කෙනෙක් මේ ලෝකේ ඉන්න විදිහක් නෑ. පොඩි පොඩි චෙරි තක්කාලි සැලඩයක හොවලා ලස්සනට හැඩ බලන ගමන් එකින් එක කටට වීසිකරගෙන බලන්න, කොච්චර රසද කියලා. මස් තක්කාලියා යාන්තම් පුච්චලා වගේ අරන් මීකිරි එකක දාලා ලුණු ඉසලා ගම්මිරිස් ඉසලා කාලා බලන්න කොහොමෙයි කියලා.
ඉතින් මේක නිකමට වගේ ලීවේ අපි මේ රස උන්නැහේට සලකනවා මදි කියලා කියන්න. තක්කාලිවල ගුණ ගැන කතාවට මම රුසියෙක් නෙවෙයි. ඒත් සරල අදහස තක්කාලි කියන්නේ ගුණවන්තයෙක් කියන එක. එක එක මල්ටි විටමීන අත්‍යවශ්‍ය ලෝහ එහෙම දවටගෙන ඉන්න තක්කාලියා ගැන ටිකක් වැඩිපුර හිතන්න. අපි අහක දාන එළවළු අතරේ මුදුනින්ම ඉන්න කෙනෙක් තමයි මේ තක්කාලියා. ඔය ටකට ටකට කොත්තුවක් ඔබ ගෙදර හදාගන්නවා නම් තක්කාලියෙක් දෙන්නෙක් දාලා හොඳට ගසාගෙන බලන්න. මුලින්ම තැටිය උඩ තියලා පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා රත් කරගන්න.
ගෙදර තියෙන්නේ හාලුයි, තක්කාලියි විතරයි නම් දෙකම එකට දාලා ඒකට තව කරපිංචා, සුදු ලූනු, රම්පේ, සේර, කහ, පොල් කිරි සුඟක් වගේ එකට සංයෝග කරලා උයලා බලන්න.. ආයි එළවළු සොයන්න කඩේට දුවන එකක් නෑ. ඒක තමයි තක්කාලියා අපිට සලකන විදිහ. පොල් කිරට තක්කාලි කෑලි දාලා හොඳට උම්බලකඩ වීසිකරලා උළුහාල් හොඳට දාලා තක්කාලි හොද්ද කාපු අය නොඉන්න විදිහක් නෑ. එහෙම අය රස මතක් කරගන්න. රතු පොල් සම්බෝලෙට චරස් ගාලා හැපෙන්න තක්කාලි වීසිකරන ඈයෝ මේක කියවන්නම ඕනෑ.
ඔන්න ඕකයි තක්කාලියාගේ කතාව..!