ඔයත් බස් එකේදි ෆෝන් එකෙන් කෑගහන කෙනෙක් ද ?

දෙසැම්බර් 16, 2024

 

නවීන තාක්ෂණය මිනිසුන්ව අද කොච්චර දුර අරගෙන ගිහින් තියෙනවා ද? දුරකතන අතට ගත්ත පරක්කුවට බොහෝ දෙනකුට සම්බන්ධකම් කියන දේ අමතක වෙනවා. තමන් ඉන්නේ කොහෙද, කරන්නේ මොනවද ⁣මේ දේවල් දුරකතනය විසින් තීරණය කරන තත්ත්වයකට අද පත්වෙලා තියෙනවා.

බොහෝ පුද්ගලයන් බලාපොරොත්තු වන්නේ නිදහස හා සතුට කියන දේ. නමුත් මේ තාක්ෂණය පැමිණීම තුළ නැතිවෙලා ගිහින් තියෙන්නෙත් ඒ දේවල්ම තමයි. අනිත් පුද්ගලයාගේ නිදහසට ගරු නොකරන තරමටම මිනිසුන් ආත්මාර්ථයෙන් පිරී ගොස් හමාරයි.

පොදු ප්‍රවාහනය තුළ ජංගම දුරකතන කිසිදු විනයකින් තොරව භාවිත කරන කාන්තාවන් අද බොහෝවිට දැක ගන්නට පුළුවන්.

මෑත කාලයේ ජංගම දුරකතනය, විශේෂයෙන්ම කාන්තාවන්ට නැතිවම බැරි භාණ්ඩයක් බවට පත්ව තියෙනවා. තාක්ෂණය අඛණ්ඩව දියුණු වනවිට නවීන ජීවන රටාවට අනුව කාන්තාවන් වැඩිවැඩියෙන් ජංගම දුරකතන වෙත යොමු වෙලා ඇති බවක් දකින්නට පුළුවන්. දැන් ජංගම දුරකතන නැති සමාජයක් නොමැති තරම්. නමුත් ඔවුන්ගේ මේ ක්‍රියාවන් හේතුවෙන් අනෙකාගේ නිදහසට සිදුවන දරුණු හානිය පිළිබඳ අදහසක් ඔවුන්ට නැහැ. විශේෂයෙන්ම පොදු ප්‍රවාහනය තමන්ගේ පෞද්ගලික වාහනයක් යැයි සිතාගෙන මෙන් ඔවුන් කටයුතු කරන ආකාරය ඔබ දැක ඇති. මහා හයියෙන් කරන දුරකතන සංවාද, අනෙකාට බාධා කරනා සංගීතයන් ඇසීම වගේ තමා පිළිබඳ පමණක් සිතනා ක්‍රියාවන් පොදු ප්‍රවාහනයන් තුළ නිරන්තරයෙන් දකින්න පුළුවන්. මේ ආත්මාර්ථකාමී ක්‍රියාවන් වැඩි වශයෙන්ම සිදුවන්නේ කාන්තා පාර්ශ්ව⁣යෙන් වීමත් ඛේදජනකයි. මානුෂීය ගුණ ධර්මතා අගයන සමාජයක් බිහිකිරීමෙහිලා පුද්ගල ස්වකීයත්වයනට ගෞරව දැක්වීමට මනස සැකසීම හැර මෙයට විසඳුමක් නැත. අපි එය කාන්තාවන් වූ අපගෙන්ම පටන් ගනිමු.