ඉන්දියාවේ වයිරල් වුණ අපේ කේක් එකේ කතාව

දෙසැම්බර් 16, 2024

 

මල් ගොමුවක පිරි හරි අපූරු වයලීනයක්.. තැන තැන විසිරී තිබුණේ සංගීත ස්වර ප්‍රස්ථාර, ඇසෙන්නේ ළායාන්විත ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතයක්. සංගීතයෙන් මන්මත් වුණු රතු රෝස ගවසාලූ මේ පුදුමාකාර කේක් එක නිර්මාණය වෙන්නේ ලෝකයම කතාබහ වන ඉන්දියානු සංගීතඥයින් දෙපළක් වන කවීතා ක්‍රිෂ්ණමූර්ති සහ ඇගේ සැමියා එල්. සුබ්‍රමනියම් දෙපළගේ 25 වැනි විවාහ සංවත්සරය වෙනුවෙනි.

 

හින්දි, බෙංගාලි, කණ්ණඩ, රාජස්ථානි, තෙළිඟු‍, ඔඩියා, මරාති, ඉංග්‍රීසි, උර්දු, දමිළ, මලයාලම්, ගුජරාටි, නේපාලි, අසෑම්, කොංකනි, පන්ජාබ්, හෝජ්පූර් මේ ආදී භාෂා ගණනාවකින් ඇය ගයාලූ ගී පනස්දහසකටත් වැඩියි. ඉන්දියාවේ Melody queen යන විරුදාවලිය ලත් කවිතා ක්‍රිෂ්ණමූර්තිගේ ජීවිතය ප්‍රේමයෙන් වර්ණවත් කළ එල්. සුබ්‍රමනියම් ඉන්දියානු වයලීනයේ පියා යන විරුදාවලිය ලබයි.

ඉතින් ඔවුන්ගේ අවුරුදු 25ක ආදර කතන්දරයේ සැමරුම් කේක් ගෙඩිය එයාලා කැපුවෙ ලංකාවෙදි. මේ ආදරවන්ත කේක් එක නිර්මාණය කරන්නේ A Taste of Heaven හි හිමිකරු විජිත කුමාර.

ඔවුන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් විජිත හදපු මේ කේක් එක කාගේත් කතාබහට ලක් වුණා. ඒ අපූරු කේක් එක හැදුණේ මෙහෙමයි. කේක් එකක් කිව්වට ඇත්තටම මේක කේක් ආකෘතියක්. මේ කේක් එක සම්පූර්ණ ඍජුෆෝම්වලින් කරලා තියෙන්නේ. කපන කේක් කොටස පමණයි කේක්වලින් හදලා තියෙන්නේ. කොටස සඳහා රිබන් කේක් යොදාගෙන තියෙනවා. දැන් අපි බලමු මේ ආකෘතිය හදන්නේ කොහොමද කියලා.

 

තට්ටු තුනක් සහිත මේ කේක් ආකෘතියේ උඩ තට්ටුව අඟල් 6 ත්, දෙවැනි තට්ටුව සඳහා 9ත්, යටම තට්ටුව සඳහා 12ත් වන ප්‍රමාණයේ ඍජුෆෝම් කේක් තුනක් යොදාගෙන තිබෙනවා. ඒ විදිහට හදපු කේක් ආකෘතිය සරසා ගන්නා විදිහ දැන් අපි බලමු.

 

දැන් මේ කේක් ඩමීස් තුන සුදුපාට ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරගන්න. ඉන්පසු රූපයේ පරිදි විශාල ප්‍රමාණයේ ඩමියේ සිට කුඩා ප්‍රමාණය දක්වා කේක් ඩමීස් එක මත එක තියාගන්න. කේක් ඩමීස් තුනේම යට කොටසේ පහළට වටේට අඟලේ රතු රිබන් එකක් වටේට අලවාගෙන තිබෙනවා.

 

ඉහළ කේක් ඩමීස් දෙක සඳහා එඩිබල් කළු වර්ණ ඉරි කිහිපයක් යොදාගෙන තියෙනවා. එඩිබල් ඉරි පහ බැගින් ගෙන කේක් එක වටේට ඉහළට කැරකී යන ආකාරයකටයි එය නිර්මාණය කර තිබෙන්නේ. ඒ ඉරි මතින් එඩිබල් සංගීත ස්වර එහෙමත් නැත්නම් මියුසික් නෝට්ස් අලවාගෙන තිබෙනවා. ඒ සඳහා ගෝල්ඩ් වර්ණයෙන් ප්‍රමාණ කිහිපයක මියුසික් නෝට් යොදාගෙන තිබෙන්නේ, ඒවා කැපී පෙනෙන ලෙස දිස්වීම සඳහායි.

 

මේ කේක් එකේ විශේෂම දේ වෙන්නේ වයලීන් එකයි. වයලීන් එකත් ඍජුෆෝම්වලින් කපාගෙන වයලින් එකේ පෙනුම ලැබෙන විදිහට අයිසිං කරගෙන තියෙනවා. ඒ සඳහා කළු, තද දුඹුරු සහ ළා දුඹුරු යන වර්ණවලින් අයිසිං කරන්න පුළුවන්. වයලීනයේ සියුම් තැන් ගැන පවා සැලකිලිමත් වී එය නිර්මාණය කර ගැනීම වැදගත්.

මේ විදිහට නිර්මාණය කරගත් වයලින් එක කේක් එකට හේත්තු වන විදිහට අලවා ගන්න.

 

මේ කේක් එක තවත් අලංකාර කර ගැනීම සඳහා හාට් සහ රෝසමල් යොදාගෙන තිබෙනවා. තට්ටු තුන සඳහාම රෝසමල් පහ බැගින් වූ රෝස මල් පොකුරු නිර්මාණය කර තිබෙන්නේ රතු වර්ණ ෆොන්ඩන්ට් අයිසිංවලිනි. ඒවායේ පත්‍ර සඳහා කොළ සහ සුදු වර්ණ ෆොන්ඩන්ට් අයිසිං යොදාගෙන තිබෙනවා. හාට් නිර්මාණය කර ඇත්තේ ඍජූෆෝම්වලිනි. එසේ සයිස් තුනකින් සකසා ගත් ඍජුෆෝම් හාර්ට් රතු පැහැ ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරගෙන තිබේ. එම හාර්ට් යටම තට්ටුව සහ ඊට ඉහළ තට්ටුව සරසාගෙන ඇත. ඉහළම කේක් ඩමියේ උඩින් තරමක විශාල හාට් එකම තබා දෙපසට වන්න තවත් කුඩා හාට් දෙකක් සම්බන්ධ කරගෙන ඇත. ඒ හාට් තුන මත මියුසික් නෝට් කිහිපයක් තැනින් තැන අලවා ගනිමින් තවත් අලංකාර කරගෙන ඇත.

 

 

[email protected]