වර්ෂ 2024 ක්වූ December 23 වැනිදා Monday
අවසන අත්හළෙමි...
ඉර ගිලෙන්නට ළඟය. උඩු මහලේ සැඳැල්ලට වී මම රත් පැහැ අහස දෑස්වල වද්දමින් උණුසුම් කෝපි කෝප්පය රසය වින්ෙදමි. මුවට ගත් කෝපි උගුරේ උණුසුම දිවග ද ගෙල පාමුල ද පුලුස්සාෙගන පල්ලම් බසිනු දැනේ. එහෙත් එයට හදවතේ උපන් සැනසීම අංශුවකින්වත් සොරාගන්නට උදුරාගන්නට බැරිවිය.
" අවුරුදු ගාණක් ආදරෙයි වගේ පෙන්නුවට ඒකි උඹව රවට්ටලා මචං...දැන් ඇති...හොඳටම ඇති...මං මේ උඹට හොඳින් කියන්නෙ...තවත් පිස්සෙක් වෙන්නෙ නැතිව ඒකිව අතෑරලා දාපන්..."
සැඳැල්ලෙහි පසෙක තියාගෙන අඳිමින් උන් මිනිස් රුව දෙස බලා මම හිනැහුණෙමි. ඇගේ ඇස්වල පිරෙන්නට තිබුණේ අහිංසකකමය. අඩුවක් නැතිව මම සිතුවමෙහි ද ඇගේ ඇස් අවිහිංසකකමෙන් පිරෙව්වෙමි.
සිත්තමෙහි අර්ධයක් ඉවරය. ඒ අතරවාරයේ මීට වසරකට පෙර ජීවන්ත දුන් ඔවදන් මගේ සිහිය අතරට විත් හද කොනිති ගසන්නට විය.
" පූස් පාට් එක දාන් හිටියට...ඒකි උඹව අතෑරලා සෑහෙන කල් මිහී...මං බොරු කියනවා කියලා හිතනවා නම් උඹම අද ඒකිට ක්ලාස් ඇරෙන්න පැයකට කලින් ගාඩ්න් එකට ගිහින් බලපං...එතකොට උඹටම තේරෙයි මං මේ කියන්න හදන්නෙ මොකක්ද කියලා.."
ජීවිතයට අකුණු සර වැදුණු දවස එයය. ජීවන්ත කියූ ලෙසින් ඇය උන්නේ උද්භිද උද්‍යානයේ ඇගේ වයසේම කිවහැකි පිරිමි ළමයෙකුගේ උණුසුමට ගුළිවීයි. එදා ඒ මොහොතේ ඔහුගේ තුරුලෙන් ඇයව උදුරා, ඔහුට ද පහර කිහිපයක් ගසා එළවා දමන්නට සිත් වුවද මගේ දෙපා එක් පියවරක්වත් ඉදිරියට ගත නොහැකි ලෙසින් බිමටම ඇලවී තිබිණි. ඇහිපිල්ලම් ගසන්නට ද හුස්මක් හෙළන්නට ද මට අමතකව තිබිණි.
එපමණකි. ඇයට මගේ මුහුණ නොපෙනෙන ලෙසින් මම හිස් වුණු සිතින් හැරී ආයෙමි.
ඉක්බිති ඈ මට යළි හමුවුණේ මාර්තුවේ එක් දවසකය. ඒ අප හමුවුණු අවසන් දිනය. ඇගෙන් අසන්නට කොතෙකුත් කරුණු වී ද හුරුපුරුදු ලී බංකුවට වී මම මුණිවත රැක්කෙමි. වෙනදා මෙන්ම අඩුවක් නැතිව ඈ වෙත සෙනෙහස පෑවෙමි. තවදුරටත් ඈ මගේ නොවන වග මගේ සිතටම ඒත්තු ගන්නට ඉඩ හැරියෙමි.
" අපේ ගෙදරින් මට ප්‍රපෝසල් එකක් ගෙනත් මිහී අයියා...මං එයාට පොඩ්ඩක්වත් කැමති නෑ...ඔයා දන්නව මං කැමති ඔයාට කියලා...ඒත් ඉතින් අපෙ තාත්තිලාගෙ හැටි දන්නවනෙ ඔයා...මං එයාලට කෙළින්ම අපි ගැන කියන්න හිතන් ඉන්නෙ..."
ඈ එදවස මගෙන් සමුගෙන නික්ම ගියේ බලාපොරොත්තු ගොන්නක් මගේ සිත උඩ අතෑරය. ඒත් ඒවා පුස් බලාපොරොත්තු විතරක් වගත්..ඈ මුසා දොඩන වගත් මගේ යටි මනස දැන උන්නේය. ඈ පමණක් එය නොදැන උන්නීය.
" මොකද උඹ මේ හදිස්සියෙම මට එන්න කීවෙ...? අනේ අම්මපා උඹට තාමත් ලජ්ජාවක් නෑනෙ..."
ජීවන්ත ආවේ මා සිතුවම තෙල් සායමින් වර්ණ ගන්වා අවසන්වත්මය. මා වෙනුවෙන් ඔහුගේ මුහුණේ වූයේ කෝපයකි.එය මායිම් නොකර මම හිනැහුණෙමි. ඔහු මා ඇඳි සිතුවම දෙස බලා එයට ද ඔරවන්නට ගත්තේය.
" මේ නල්ලමලේ බඩ්ඩව පෙන්නන්නද උඹ මට කතාකළේ ආහ්...? මං හිතුවා අවුරුද්දක් ගිහිල්ලවත් උඹ හැදිලා ඇති කියලා...ඇත්තමයි මං හිතුවා උඹ හැදිලා ඇති කියලා...යකෝ හෙට ඒකි වෙන එකෙක්ව බඳිනවා...ලැජ්ජ නැතිව මටත් මඟුල් කියන්න ආවනෙ...මං නම් යන්නෑ ඔය මායම්කාරිව බලන්න..."
" නෑ ජීවා...උඹ හෙට යන්න ඕෙන..."
ගමන් මල්ලේ පොකට්ටුවක බහාගත් රිබන් පටියක් එළියට ඇද මම කීවෙමි. ජීවන්ත රැව්වේය. ඉක්බිති ඔහු, සඳැල්ල පසෙකින් තබා ඇති ගමන් මල්ල දෙසත් මා ඇඳි සිතුවම දෙසත් හුවමාරුවට බලන්නට විය.
" උඹ මාව බය කරනවා...උඹ ඒ ගමන මොකක්ද මේ කරන්න යන්නෙ...?"
" මං අද බෝඩිමෙන් යනවා...ආය වැරදිලාවත් මේ කොළඹ හතර මායිමේ පස් පාගන්නෙ නෑ..."
ජීවන්ත නළල රැලි කළේය. කොළඹ නගරයේ මට මගේ කියා සියල්ලට උන්නේ ඔහුය. ඇය නැති වසරේම මා සිටියේ ජීවිතය අලුතින් පටන් ගන්නට හැකි මාවතක් සොයමිනි.
අවසන, එය මට හමුවිය. ඉදින්.., ඇය ඇගේ ජීවිතය නැවුම්ව අරඹද්දී මට ඇයව මුණගැසූ නගරයට ද මා පිටස්තරයකු වී ඉවර නොවෙයිද..? ජීවන්ත ඇස් නළලේ තියා මා දෙස බලා හිඳී. ඒ ඇහිවල ද වූයේ තෙත පාටකි.
" උඹ ලෑස්ති ලේසියෙන්ම පරාජය භාරගන්න...ඒකි උඹ එක්ක ඉද්දිත් හතර වටේම කොල්ලො එක්ක නැටුවා...ඒත් මේ වෙනකල්ම උඹ ඒකි ගෙන් ඒ ගැන වචනෙකින්වත් අහලා නෑ...ඒකිට වචනයක්වත් කියලා නෑ...මට කේන්ති බං උඹ ගැන...පිරිමියෙක් වෙලත් උඹ කොහොමද ඔය හැටි දරාගන්නෙ...?"
" ආදරේ කළානෙ බං මං...."
කළු වර්ණැති පින්සලෙහි සායම් තවරා මම සුසුමක් හෙළුවෙමි. මේ මා මේ හිස් අවකාශයට ඈ වෙනුවෙන් හෙළන අවසන් සුසුමය. ප්‍රේමයේ නාමයෙන් හදවතේ දුක් බර පුරවා මට මහන්සිය. වෙහෙසය. ඉතින්.., සියල්ල දැන් ඇතිය.
" උඹ දැන් මට මොකක්ද කරන්න කියන්නෙ...?"
" හෙට වෙඩින්් එකට ගිහින් මේක දීපං....මං මේක ඇන්දෙ එයාට දෙන්න..හෙට ඉඳන් කේතකී ධර්මවංශ කෙනෙක් මගෙ ජීවිතේ නෑ...ආය එන්නෙත් නෑ...ආවත් ගන්නෙත් නෑ...බය වෙන්න එපා.. ජීවිතේ නැති කරගන්න තරම් මෝඩයෙක් නෙමේ මං....ගමට ගිහින් මගේ ජීවිතේ අලුතින් පටන් ගන්න මට පුළුවන්...මගෙ අම්මා අප්පච්චි මං එක්ක ඉන්නවා..."
" ඒක උඹෙ කැමැත්ත නම් උඹ ඒකිව අමතක කරනවා නම් මං හෙට ගිහින් ඕක ඒකිට දෙන්නම්...හැබැයි මට ඒකි ගැන කේන්තියි..ඒකිට කවදහරි වරදිනවා...උඹට කරපු දේට...."
ජීවන්ත හිස වනා මගේ උරට උඩින් අතක් තිබ්බේය. මා හෙළුෑ සුසුමට නොදෙවැනි සුසුමක් ද හෙළුවේය. ඉක්බිති පුරුදු ලෙසින් ඇයට ශාප කරන්නට ගත්තේය.
එහෙත්.., මම.....මම
එය මායිම් නොකළෙමි. අවසාන වතාවට ඇගේ මුහුණ යට කළු පාට සායමෙන් මගේ ඇද අත්සන පමණක් තැබුවෙමි.
" මිහික අරුණෝද...."