කල්පිටිය අහස පාට කරන ලුමිනස් සරුංගල් යෝධයෝ

පාට පාට අත්දැකීමක් ගන්න තුඩාව කලපුවට එන්න
දෙසැම්බර් 23, 2024

පටු දිගු රතු ගුරුපාර කෙළවර හිස් බිමෙන් යෝධ සරුංගලය ඉහළ අහසට නැඟෙන විචිත්‍රවත් බව ආගන්තුකයින්ගේ ඇස් කොස් ගෙඩි තරමටම විශාල කරලන්නකි. ඈතින් ගමන් කරන්නකුට උඩ ගිය බබා කතාව මතක්වෙන තරමට හාස්‍යජනක මෙන්ම විස්මයජනක වන ඒ දුලබ දසුනෙහි ඇති සැටිය දැන ගනු පිණිස අප එතැනටම යා යුතුමය.

 

ලුමිනස් වර්ණයෙන් අහස විචිත්‍රවත් කරමින් යෝධ සරුංගල් හාදයා නැවත සුළං මුහුණතට අභියෝග කරමින් එහෙ මෙහේ පියඹන්නට වූයේය. සමනලයකු මෙන් හිතුමතේ සැරිසැරීමට ආසාව තිබුණද ඒ සරුංගල් හාදයාට කඹ යොදා තහංචි පනවා තිබුණි.

කල්පිටියේ ලවණ මුසු කටුක වියළි සුළඟට මැදි වූ ඒ සරුංගලය පාවෙමින් තිබුණේ තුඩාව කලපුවට ඉහළ අහසේය. සරුංගලය පහළ කෙළවරේ වෙර වීරියෙන් එල්ලී උන් විදේශිකයා කලපු දිය මත දියකෙළි පාමින් උන්නේය. හසරැල්ලෙන් පිරී තිබූ ඔහුගේ මුවග ඒ ක්‍රීඩාවේ ඇති ඉමිහිරියාව අපට නොඅඩුව කියාපෑවේය. සුළඟ ප්‍රචණ්ඩ වෙද්දී සරුංගලය සමඟ විදේශිකයා ඉහළ අහසට පාව යනු ඇතැයි ක්‍රීඩාව පිළිබඳ නොදත් අපට සිතුණද එසේ සිදුවූයේ නැත.

මෙම ක්‍රීඩාව අපේ රටට හඳුන්වා දී එතරම් කාලයක් ගත නොවුණද ලෝකයේ හොඳම ක්‍රීඩා මධ්‍යස්ථාන අතර අපේ රට ප්‍රචලිතය. ක්‍රීඩාව හඳුන්වන්නේ ‘කයිට් සර්ෆින්’ ලෙසටය. පැරෂුටයකට සමාන විශාල සරුංගලයක ආධාරයෙන් දියතලයේ එහෙ මෙහෙ සමබරව සරමින් විකුම් පෑම ක්‍රීඩාවේ ස්වභාවයය. තුඩාව කලපුව ඊට කදිම පාරාදීසයක් බවට පත්ව ඇත්තේ කරුණු කිහිපයක් නිසාය. තුඩාව කලපුව සිසාරා එකම වේගයකින් හමායන සුළං ධාරාව, කලපුවෙහි දිය මට්ටමෙහි ඇති ඒකමිතිය සහ අලංකාර පරිසර පද්ධතිය ඒ අතර ප්‍රධානය. බොහෝවිට ක්‍රීඩාවේ යෙදෙන්නේ විදේශිකයන් වුවද දේශීය සංචාරකයනටද මෙම කෙළිබිම එක සේ විවෘතය. ලොව බොහෝ රටවල මෙම ක්‍රීඩාව කරන්නේ මුහුද ආශ්‍රිතව වුවද ලංකාවේ ක්‍රීඩාව සිදු වන්නේ කලපු තුළය. ඒ නිසාම බොහෝ විදේශිකයන් මෙම ක්‍රීඩාව හුරුවීම සඳහා ශ්‍රීලංකාව ‍තෝරාගන්නේ ආරක්ෂිත බව හා පුහුණුකරුවන්ගේ ප්‍රමිතිය නිසාමය.

මේ වන විට කල්පිටියේ සර්ෆින් වසන්තය ඇරඹී ඇත. එමෙන්ම කල්පිටිය මේ වන විට සුප්‍රසිද්ධ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවටද පත්ව ඇත. එබැවින් බොහෝදෙනා මේ දිනවල පාසල් නිවාඩුව සමඟ තම සංචාරක ගමනාන්තය ලෙස ද කල්පිටිය තෝරාගෙන ඇත. එම ගමනේදී ඔබටද මේ සුන්දර අයස්කාන්ත දසුන් පෙළ නෙත මත සරසා ගත හැකිවනු ඇත.

 

වරින්වර පැමිණෙන විදේශිකයන් කල්පිටිය තම නවාතැන බවට පත්කොට ගන්නේ කයිට් සර්ෆින් නිසාමය.වෙනත් කිසිදු රටක අත්විඳිය නොහැකි වික්‍රමාන්විත ක්‍රීඩාවක් වන කයිට් සර්ෆින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපදවන කදිම සංචාරක ආකර්ෂණයකි.

එහෙන් මෙහෙන් උඩු ගුවනේ යන මිනිසුන්ගේ සිනාවෙන් සහ භයංකර හැඟීමෙන් පරිසරයම පිරේ. ඒ අතර කලපු දියවර මත කදිම පුහුණු පාසලකි. ඒ පාසල මිනිසුන්ට ගුවන්ගත වන්නට කියාදේ. ඒ වික්‍රමාන්විත ත්‍රාසජනක ක්‍රීඩාව ඔබටද තුඩාවේදී අත්විඳිය හැකි අතර ඒ දෙස බලා සතුට අත්විඳිය හැකිද වේ.

 

හිමින් හිමින් ගුවන්ගත වන මිනිසුන් සුළං සමඟම කලපුවට පාත්වේ. එය කදිම සංදර්ශන වේදිකාවකි. ඒ ජල තල වේදිකාව අපට වෙනම ප්‍රසංගයක සිරි මවයි.

ජල තරංග මත පාවී සුළං සමඟ හාවී ගුවන්ගත වීමට අකමැති සංචාරකයනට මේ කලපු මායිමේ සිට ගුවනේ කරණම් ගසන සරුංගල් භටයන්ගේ වික්‍රමාන්විත දැක බලා ගත හැකිය. ඒ අතරම මේ බිමේදී කරදිය මුසු පිරිසුදු හුස්මකින් පෙණහැල්ල පුරවා ගැනීමටද සංචාරක ඔබට වරමක් ලැබේ.

කල්පිටියට ගියොත් තුඩාව කලපුවේ හිරු ගිලෙන නිමේෂයේ ගුවන්ගත වන සරුංගල් භටයන්ගේ වික්‍රමාන්විත බලන්නට අමතක නොකරන්න.එය ඔබේ සංචාරක කතාපොතට අලුත් පරිච්ඡේදයක් එක් කරනු ඇත.

 

[email protected]

ඡායාරූප -ලේක් හවුස් මාධ්‍ය පුස්තකාලය