කැරපොත්තන් මීයන් පලවා හරින්නේ කොහොමද?

නොවැම්බර් 25, 2020

ඇතුළෙත් සතුරන්. පිටත් සතුරන්.” අප ජීවත් වන්නේ එසේ පැවසීමට සිදුවන යුගයකයි. පිටත වෛරස් සතුරන්ය. ඇතුළත කැරපොත්තන්,මීයන් වැනි පරම්පරා ගණනාවක් පුරා සිටින සතුරන්. මේ සතුන් දෙවර්ගයම කරදරකාරයන්. ඒ විතරක් නෙවෙයි ලෙඩ රෝග පතුරවන්නන්. අපට මේ සතුන් පලවා හැරිය හැකි මාර්ග රැසක් තිබෙනවා.

කොහොමද ඉතා පහසුවෙන් කැරපොත්තන් පලවා හරින්නේ? කොහොඹ තෙල් කැරපොත්තන් සිටින තැන්වලට ඉසින්න. කොහොඹ ගඳට උන් අකැමැතියි. කොහොඹ කුඩු මේස හැන්දක් උණූුසුම් ජලය සමඟ මිශ්‍රකර කැරපොත්තන් සිටින තැන්වලට රාත්‍රියට ඉසින්න.

ටී ට්‍රී ඔයිල් කැරපොත්තන් අකැමැති ගන්ධයකින් යුක්තයි. ටී ට්‍රී ඔයිල් කෝප්ප කාලක්, විනාකිරි කෝප්ප කාලක්, ජලය කෝප්ප දෙකකට මිශ්‍ර කරන්න. කැරපොත්තන් සිටින තැන්වලට මිශ්‍රණය ඉසින්න.

ලෙමන් සැරට උන් අකැමැතියි. ලෙමන් කෑලිවලට කපා උන් සිටින තැන්වල තබන්න.

කරාබු නැටි තෙල්, ඉයුකැලිප්ටස් තෙල් කැරපොත්තන් පලවා හරියි. ලැවෙන්ඩර් තෙල් අපේ සිතට සැනසීමක් ගෙන දුන්න ද කැරපොත්තන් සහ කෘමීන් ඊට අකැමැතියි. මේ තෙල් වර්ග උන් රජ කරන තැන්වලට ඉසින්න.

වියළි රම්පේ කොළ, කුරුඳු කෑලි, සුදුලූනු උන් අකැමැති අපේ ආහාර රස කාරකයි. උන් එන තැනට රම්පේ කෑල්ලක්, පොඩිකරගත් සුදු ලූනු ගෙඩියක්, කුරුඳු කුඩු ස්වල්පයක් තබන්න.

කැරපොත්තන් වැඩිපුර සිටින්නේ ආහාර කැබැලි රැඳුණු අපවිත්‍ර තැන්වලයි. තෙතමනයට ද උන් කැමැතියි. නිවෙසේ ඉරි තැලුණු, සිදුරු ඇති, පිළිවෙළකට නැතිව බඩු අසුරා ඇති තැන්වල, පයිප්ප වැනි තැන්වල උන් සැඟවී සිටිනවා. එවැනි තැන් හැකි තරම් නිවෙසේ නැති කරන්න.

මීයන් ද පෙපර්මින්ට් ගන්ධය නුරුස්සන්. පෙපර්මින්ට් පුළුන් බෝලයක පොඟවා මීයන් ගැවසෙන තැන්වල තබන්න. දින කිහිපයකින් අලුතින් පෙපර්මින්ට් පොඟවා නැවත නැවතත් ඒ තැන්වල තබන්න. කරාබු නැටි තෙල් ද එසේ පොඟවා තැබිය හැකියි. සැර මිරිස් සැරට කැරපොත්තන්, කුහුඹුවන් වගේම මීයන් ද අකැමැතියි.

කුණු වුණු ලූනු විසි කරන්න එපා. උන් එන තැන ඒවා තබන්න. බේකිං සෝඩා උන් එන තැන්වල ඉසින්න. සුදුලූනු තලා ජලය සමඟ මිශ්‍රකර ඉසින්න. මීයන් පළාතේ එන්නේ නැහැ. ඇමෝනියා උන් ගැවසෙන තැන්වල තබන්න. නිවෙස පිරිසුදුව, පිළිවෙළට තබා ගැනීමෙන් මීයන්ට අප්‍රිය තැනක් බවට නිවෙස පත්කළ හැකියි.

මීයන් බළලුන්ට මෙන්ම බල්ලන්ට ද බියක් දක්වනවා. මේ නිසා සුනඛ සුරතලකු, බිළාල සුරතලකු නිවෙසේ සිටීම වාසියක්.

 

අන්තර්ජාලයෙනි