මල් පලසක් බිමට හලන සේපාලිකා මල් මනාලිය

දෙසැම්බර් 25, 2023

 

අප කුඩා කාලයේ තරමක් ඉඩකඩ සහිත විශාල ගෙවතුවල දක්නට ලැබුණු ඇතැම් ගහකොළ වර්තමානයේ නාගරික කුඩා ගෙවතුවල මෙන්ම මහල් නිවාසවල බඳුන්ගතව දක්නට ලැබේ. ඉතා සුගන්ධවත් මල් හටගන්නා සේපාලිකා ශාකය ද අද වනවිට මෙලෙස බඳුන්ගතව දකින්නට ලැබීම ඔබව පුදුමයට පත් කරනවා නිසැකයි.

බුදු පුදයට රැගෙන යන පුෂ්පයක් ලෙසින් මෙන්ම ඖෂධීය ගුණයෙන් ඉහළ ශාකයක් වශයෙන් ද සේපාලිකා මල් ගසට හිමි වන්නේ අද්වීතීය ස්ථානයකි. රාත්‍රී කාලය පුරාවටම සුවඳ හමමින් විකසිතවන මල් පසුදා පහන් වනවිට බිම පතිත වීම සේපාලිකා සතු විශේෂත්වයයි. එමෙන්ම වසර පුරාම මලින් බරවන මේ ශාකය ගෙවතු අලංකරණයට මෙන්ම පුද පූජා සඳහා මල් ලබා ගැනීමට වගා කරනු ලබයි.

ඉන්දියාව, තායිලන්තය, ඉන්දුනීසියාව වැනි රටවල් නිජබිම කරගෙන උපන් සේපාලිකා ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ හොඳින් වැවෙන ශාකයකි. සාමාන්‍යයෙන් අඩි 10ක් 15ක් පමණ උසට වැවෙන මෙය රළු කොළ සහිත එනම් බූවක් ඇති පත්‍ර සහිතය. රතට හුරු තැඹිලි පැහැති නටුවක් සහිත පුංචි සුදු පැහැ සේපාලිකා මල, සමන් පිච්ච මල් සේම අතිශයින් සුවඳවත්ය. එමෙන්ම මෙම ශාකයේ මල්, කොළ, පොතු, මුල් සහ ඇට ආදී වශයෙන් සියල්ලම ඖෂධ වශයෙන් යොදා ගනියි.

දේශගුණික අවශ්‍යතා

දීප්තිමත් හිරු එළිය ප්‍රිය කරන මේ ශාකය එළිමහනේ වගා කළ හැකිය. අතු කැබලි සිටුවා ගැනීමෙන් වගාව ව්‍යාප්ත කළ හැකි අතර මෙම අතු පැළ කිරීමෙන් මවු ශාකයට සර්වසම පැළ නිපදවා ගත හැකිය. ඊට අමතරව අතු බැඳීම මඟින්ද ඔබට පැළ බෝ කර ගත හැකිය.

වගා මාධ්‍යය

කොහුබත්, රොන්මඩ රහිත වැලි, කොම්පෝස්ට් කොටස් එක බැගින් ගෙන එකට මිශ්‍රකර වගා මාධ්‍යය සකසා ගන්න. ඊට අමතරව ඔබට පිලිස්සූ දහයියා ද වගා මාධ්‍යයක් ලෙස භාවිත කළ හැකියි.

 

ජල සම්පාදනය

වගා මාධ්‍යයේ තෙතමනය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අවශ්‍ය පරිදි ජලය සැපයීම කළ හැකිය. ඊට අමතරව මහා පරිමාණ වගාවක් සඳහා විසුරුම් හෝ බිංදු ජල සම්පාදනය වැනි කාර්යක්ෂම ජල සම්පාදන ක්‍රමයක් භාවිත කරන්න. කොහුබත් සහ කොම්පෝස්ට් පොහොර යෙදීම මඟින් වගා මාධ්‍යයේ තෙතමනය ආරක්ෂාකර ගත හැකි අතර එමඟින් ජලය සැපයීම දින දෙකකට වරක් කිරීම ප්‍රමාණවත් වේ.

පොහොර යෙදීම

 

බඳුන්ගත සේපාලිකා වගාවක දී මල් හට ගැනීම සඳහා පොටෑසියම් වැඩි පොහොරක් සපයන්න. හොඳ ආලෝකයක් ලැබෙන විට අලංකාර මල් රාශියක් ලබාගත හැකි බැවින් තද සූර්යයා ලෝකය පතිතවන ස්ථානයක ශාක තබා ගැනීම ඉතා වැදගත්ය. හොඳ මල් අස්වන්නක් ලබා ගැනීම සඳහා පොටෑසියම් අධික K - 40 හෝ K -44 අවශ්‍ය ප්‍රමාණයට ජලයේ දියකර පත්‍රවලට ඉසීම සිදුකරන්න.

ඊට අමතරව ඔබට N : P : K : 20 : 20 : 20 : අනුපාතයට ගැළපෙන පරිදි දියර පොහොර සතියකට වරක් භාවිත කළ හැකිය. සේපාලිකා පැළ හෝ අතු කැබලි ක්ෂේත්‍රයේ සිටුවන විට කාබනික පොහොර එක් කිරීම මඟින් හොඳ පිරිපුන් වගාවක් ලබාගත හැකි බවත් අමතක කරන්න එපා.

සේපාලිකා යනු රෝග සහ පළිබෝධ හානි බොහෝ සෙයින්ම අඩු ශාකයකි. එබැවින් අපූරු සුන්දර වගාවක් සකසා ගැනීම වඩාත් පහසුය.

 

උපදෙස් - කෘෂි විද්‍යාඥ

ඩබ්. යූ. එල්. අඹගස්පිටිය