අතමිට සරු කරන ඩ්‍රසීනා සැන්්ඩෙරියානා

සැප්තැම්බර් 18, 2023

ඩ්‍රසීනා සැන්්ඩෙරියානා (Dracena sanderiana) එහෙමත් නැත්නම් ලකී බැම්බෝ කියලා කියන්නේ වැඩි දෙනකු හොඳින් දන්නා හඳුනන ශාකයකි. විශේෂයෙන්ම ගෘහ අභ්‍යන්තරය හැඩවැඩ කරනා සොඳුරු ශාක අතර මේ ශාකය සඳහා ඉහළ ඉල්ලුමක් පවතී. ඒ නිසාම ඩ්‍රසීනා සැන්්ඩෙරියානා යනු මල් වෙළෙඳ පොළේ වැඩි අලෙවියක් සහ වැඩි ආදායමක් ලබාගත හැකි ශාකයක් බව නොරහසකි.

නිවර්තන අප්‍රිකාව සහ ආසියාව සිය නිජබිම කරගත් මේ ශාකය පසෙහි මෙන්ම ජලයෙහි ද වගා කළ හැකි වීම විශේෂත්වයකි.

ගෘහ අභ්‍යන්තර නිර්මාණකරණයට, උද්‍යාන අලංකරණයට, මල් සැරසිලි සඳහා මෙන්ම අගය කළ එකතු කළ නිර්මාණ උදෙසා භාවිතා කරන මේ ලකී බැම්බෝ අපනයනික ශාක අතර ද ඉහළ ජනප්‍රියත්වයක් හිමි කර ගත්තකි.

සෙල්සියස් අංශක 16 - 24 අතර උෂ්ණත්වය ප්‍රිය කරන මේ ශාකයට 50% -70% ත් අතර සෙවණක් අවශ්‍ය වේ.

ජල රෝපිත වගාව

ජල මට්ටම සෙන්ටිමීටර් 5ක් පමණවත් තබාගත යුතුය. මෙහි මුල් සැමවිටම ජලය හා ගැටෙමින් තිබිය යුතු අතර සෑම සතියකට වරක්ම ජලය මාරු කිරීම අනිවාර්යය වේ. එමෙන්ම මේ ශාකය ලුණු සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය සඳහා සංවේදීවන බැවින් උල්පත් ජලය හෝ වැසි ජලය යෙදීම වඩාත් යෝග්‍යය. එසේ නොමැතිව නළ ජලය යොදන්නේ නම් ජලය ටැංකියකට හෝ බඳුනකට පුරවා රැයක් තිබෙන්නට හැර භාවිත කිරීමට වග බලා ගන්න.

 

ප්‍රචාරණය

අග්‍රස්ථ කොටස් මඟින් මෙන්ම පත්‍ර සහිත කඳ කැබලි සිටුවා ඩ්‍රසීනා වගාව බෝකර ගත හැකියි. එහිදී සෙන්ටිමීටර් 15ක් වත් දිගින් යුතු කඳ කැබලි භාවිත කරන්න.

 

වගා මාධ්‍යය

මතුපිට පස් කොටස් 04ක්

ගොම කොටස් 01ක්

කොහුබත් කොටස් 1/2ක්

කොම්පෝස්ට් කොටස් 02ක්

වැලි කොටස් 1/2ක්

වශයෙන් ගෙන එකට මිශ්‍ර කිරීමෙන් වගා මාධ්‍ය සකසා ගත හැකිය.

 

පැළ සිටුවීම

 

ඔබ වගා භූමියේ පැළ සිටුවා ගන්නේ නම් අඩි තුනක් පළල උස් පාත්ති සාදා අඟල් නවයක් පමණ උසට වගා මාධ්‍යය පුරවා ගන්න. අනතුරුව පාත්ති ජීවානුහරණයකර මුල් ඇද්ද වූ අතු කැබලි වර්ග මීටරයකට පැළ 50ක් 75ක් වන පරිද්දෙන් සිටුවා ගන්න. බඳුන්ගත වගාවක දී ද පළමුව අතු කැබලි තවානක මුල් අද්දවා පසුව බඳුන්වල සිටුවන්න.

 

ජලය

වගා මාධ්‍යයේ තෙතමනය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අවශ්‍ය පරිදි ජලය සපයන්න. මහා පරිමාණ වගාවකදී නම් විසුරුම් හෝ බිංදු ජල සම්පාදනය වැනි කාර්යක්ෂම ක්‍රමයක් භාවිත කළ හැකිය.

 

පොහොර

N:P:K , 3:1:2 හෝ 3:1:3 යන අනුපාතයට ගැළපෙන පරිදි දියර පොහොරක් සතියකට වරක් යොදන්න. කාබනික දියර පොහොර නම් සති දෙකකට වරක් යෙදිය හැකිය. කැට පොහොර භාවිතයේ දී පැළයකට ග්‍රෑම් තුනක්වන පරිද්දෙන් ශාකය අවට වගා මාධ්‍යයට සති දෙකකට වරක් යෙදීමට වගබලා ගන්න. ඔබ පෝෂක මූලද්‍රව්‍ය සෙමෙන් නිදහස් කරන කැට පොහොර භාවිත කරන්නේ නම් එය මාස 4කට වරක් භාවිත කරන්න.

 

රෝග සහ පළිබෝධ

පත්‍ර අග්‍ර පිළිස්සීම සහ ශාක පත්‍ර පටක කුණු වී යාම වැනි තත්ත්වයකදී සුදුසු දිලීර නාශකයක් භාවිත කිරීම සුදුසුය. ඊට අමතරව පත්‍ර අග්‍ර කහ පැහැති වන්නේ නම් එය අධික හිරු එළියට නිරාවරණය වීම හෝ අධික පොහොර භාවිතය නිසා බව මතක තබාගත යුතුය. නිවැරදි පොහොර භාවිතයෙන් මෙන්ම සෙවණ දැල් භාවිතයෙන් එම තත්ත්වය මඟහරවා ගත හැකියි.

කූඩිත්තා, කොරපොතු කෘමියා, පිටිමකුණා වැනි පළිබෝධකයින්ගෙන් ද මෙම ඩ්‍රසීනා වගාවට හානි සිදුවිය හැකියි. එවැනි අවස්ථාවකදී කුඩා ප්‍රමාණයක වගාවක් නම් අතින් අල්ලා ඉවත් කිරීම, සබන් මිශ්‍ර ජලය ඉසීම වැනි කටයුතු සිදු කරන්න. මහා පරිමාණ වගාවකදී නම් සංස්ථානික කෘමිනාශකයක් භාවිත කිරීම සුදුසුය.

 

උපදෙස් -

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ,

මල් වගා පර්යේෂණ සහ සංවර්ධන අංශයේ,

ඩබ්. යූ. එල්. අඹගස්පිටිය