දෙතොල හැඩ කරන ලිප්ස්ටික් මල

දෙසැම්බර් 18, 2023

 

සොබාදහමේ චමත්කාරය විස්මිතය. බැලූ බැල්මට කාන්තාවකගේ දෙතොල හැඩ කරන සායම් කූරු රැසක් මල් යායට වැටිලාදෝ යැයි සිතෙනා තරමට ඒ චමත්කාරය පුදුමාකාරය. මේ හැඩය, පෙනුම නිසාම ලිප්ස්ට්ක් යැයි හඳුන්වාලන අපූරු මල් කුමාරිය ගැනයි මේ කතාබහ.

 

වසර පුරාම දීප්තිමත් පුෂ්පයන් රැසක් සිනා සලන මේ ලිප්ස්ටික් කුමාරිය පහළට කඩා හැලෙන අපූරු වැලක් ආකාරයට වැඩේ. හිරු එළියට කෙළින්ම නිරාවරණය නොවන ලෙස මඳ උෂ්ණත්වයක් ප්‍රිය කරන ඇය වඩා විශාල නොවූ කුඩා බඳුනක සිටුවීමෙන් වැඩි මල් ප්‍රමාණයක් ලබා දෙන්නීය. මාංශලමය පත්‍ර සහිතව පහළට කඩා හැලෙන වැලක් වූ නිසාම මෙය එල්ලෙන බඳුන්වලට වඩාත් සුදුසුය . එමෙන්ම දීප්තිමත් පත්‍ර පිරුණු ශාකය වැඩි විසිතුරු බවක් ගන්නේ රතු, කහ,තැඹිලි ආදී පැහැයන්ගෙන් මල් හට ගැනීමෙනි. මෙම මලේ පැහැය අනුව වටකුරු පත්‍රයේ ස්වභාවය හැඩයෙන් තරමක් වෙනස් වන බව පෙනේ.

 

ගෙමිදුල සරසන පැළයක් ලෙසින් මෙන්ම අර්ධ ගෘහ ශ්‍රිත පැළයක් ලෙසින් වැඩෙන මේ ලිප්ස්ටික් වියළි සහ තෙත් මිශ්‍ර දේශගුණයට වැඩි ප්‍රියතාවක් දක්වයි. එබැවින් මෙය අර්ධ සූර්යාලෝකයේ හොඳින් වගා කළ හැකිය. බොහෝ විට සෙවණ සහිත විශාල ශාක යට එල්ලෙන බඳුන්වල වගා කිරීමෙන් සුන්දරත්වයෙන් යුතු අලංකාර වගාවක් සකසා ගත හැකිය. මෙහිදී වගා මාධ්‍ය ලෙස පොල් ලෙලි හෝ කොහුබත් භාවිත කළ හැකිය.

 

ප්‍රචාරණය

 

දඬු කැබලි සිටුවීම

 

දඬු කැබලි මඟින් ප්‍රචාරණය කිරීමේදී දින 14ත් 22ත් අතර තුළ නව ශාකයක් ලබා ගත හැකිය. ඒ සඳහා නීරෝගි කුඩා අතු කැබැල්ලක් තිබීම පමණක් ප්‍රමාණවත් වේ. මෙම අත්ත වැලි, කොම්පෝස්ට් සමාන ප්‍රමාණවලින් ගෙන මිශ්‍ර කර සිටුවා ගත හැකි වේ.

මෙහිදී මුල් ඇදීම පහසු කරන හෝමෝන භාවිත කරනවා නම් ප්‍රචාරණය තවත් පහසුකර ගත හැකි බවත් මතක තබාගන්න. ඒ නිසා ප්‍රාණවත් බව නිරීක්ෂණය කිරීම හෝ එසේ නොවන විට අත්ත පැළ වී ඇති බව තීරණය කළ යුත්තේ අලුතින් දලු දැමූ විටදීය. සති දෙක තුනක් අතරතුර සාමාන්‍යයෙන් සිට වූ අත්තක් දලු දමයි. මාසයක් ගත වන විට මේ අත්ත ස්ථිර ලෙස බඳුන් ගත කිරීමට හැකියාව ලැබේ. එමෙන්ම ලිප්ස්ටික් ශාකයේ පත්‍ර පහසුවෙන් මළානික නොවන බවද ඔබ මතක තබා ගත යුතු කරුණකි.

 

ලේයර් කිරීම

 

දඬු කැබලි සිටුවීමට අමතරව ලේයර් කිරීමෙන් ද ඔබට මවු ශාකයට සමානවම ලිප්ස්ටික් ශාකයක් නිපදවා ගත හැකිය. ලේයර් කිරීමේදී අතු කැබැල්ල මුල් ඇදුණු පසුව එම කොටස වෙන්කර බඳුන්ගත කරගන්න.

 

වගා මාධ්‍යය

 

වැලි සහ කොහුබත් එකට මිශ්‍ර කර සකසා ගන්නා වගා මාධ්‍යය මෙන්ම කොහුබත් පමණක් භාවිත කිරීමෙන් ද ඔබට වගා මාධ්‍යය සකසා ගත හැකියි. ඊට අමතරව ශාකයේ මුල් වැසී යන ආකාරයට කපා ගත් කුඩා පොල්ලෙලි කැබලි ද යෙදිය හැකිය. එමඟින් මුල්වලට අවශ්‍ය තෙතමනය අඩු හෝ වැඩි නැතිව ලබා ගත හැකි අතර හොඳින් ජලය බැස යාමට හැකියාව ඇති වගා මාධ්‍යයක් තෝරා ගැනීමට වග බලා ගන්න.

 

කප්පාදුව

 

ඉතා දිගු දඬු කැබලි කපා ඉවත් කිරීමෙන් නව මල් කැකුළු සහිත ඉති රාශියක් වර්ධනය වේ. මල් පිපී පරවූ පසු අත්තේ මුළු දිගෙන් 1/3ක් පමණ කප්පාදු කළ යුතුය.

හතර වටින් පහළට කඩා හැලෙන ලෙස වර්ධනයවන ලිප්ස්ටික් ශාකය සඳහා වඩාත් සුදුසු වන්නේ මැටි හෝ ප්ලාස්ටික් එල්ලෙන බඳුන්ය. සාමාන්‍යයෙන් මෙම ශාකයේ පරිණත අත්තක තැනින් තැන මල් හටගනී. ඒ නිසා මේ අතුද මවු ශාකයෙන් වෙන්කර පහසුවෙන්ම පැළ කර ගත හැකියි.

 

ජලය සහ පොහොර

 

ලිප්ස්ටික් ශාකයට තරමක සූර්යාලෝකයක් අවශ්‍යයි. එහෙත් මෙය කුඩා කාලයේ සෙවණ ප්‍රිය කරන ශාකයකි. ඒ වගේම පස පරීක්ෂා කර බලා පස වියළී ඇත්නම් පමණක් ජලය යොදන්න.

 

එමෙන්ම මලින් පිරුණු ශාකයක් ලබා ගැනීමට අවශ්‍ය නම් පසේ ලෙස තෙතමනය 25%ක පමණ මට්ටමක පැවතීම සුදුසුයි. ජලය වැඩි වූ විට මූල පද්ධතිය කුණුවීමට ලක් වේ. ව්:ර්‍ථ:ම් 3:2:1 අනුපාතයට අනුව පොහොර වර්ගයක් මසකට වතාවක් යෙදීම මඟින් නීරෝගී වගාවක් පවත්වා ගත හැකි වේ. සරුසාර වර්ධනයටත්, මල් හොඳින් පීදීමටත් සතියකට වරක් ක්ෂුද්‍ර පොහොර යෙදීම සාර්ථක විසඳුමකි. වර්ධනය වූ ශාකයකට නම් නිල් කැට හා දම් කැට පොහොර යෙදීමට පුළුවනි.

 

පළිබෝධ හානි

 

ලිප්ස්ටික් වගාවේ පළිබෝධ හානි දක්නට නොලැබෙන තරම්ය. වැඩිපුර ජලය සැපයීම මළකඩ රෝගය ඇතිවීමට හේතුවකි. ඊට අමතරව ලිප්ස්ටික් ශාකය මුල් කුණු වීමේ රෝගයට ද ගොදුරු විය හැකිය. පසේ දිලීර නිසා හටගන්නා රෝගය පළමුව මුල්වලින් මතු වේ. අනතුරුව කඳේ ඉහළට ගමන්කර එහිදී කුණු වූ කොටස් කපා ඉවත් කරයි. එහිදී කුණු වූ කොටස් කපා ඉවත්කර ඉතිරි ශාකය දිලීර නාශක යෙදූ ජලයේ ගිල්ලුවා සිටුවා ගැනීමෙන් වගාව ආරක්ෂාකර ගන්නට පුළුවනි.

 

උපදෙස් -

කෘෂි විද්‍යාඥ ඩබ්.යූ.එල්. අඹගස්පිටිය