නේක වර්ණ රටා මවන ජපන් රෝස කුමාරි

ඔක්තෝබර් 30, 2023

නේක වර්ණයෙන් මෙන්ම නේක හැඩයෙන් අලංකෘත ජපන් රෝස කුමාරියන් ගෙවත්තට රැගෙන එන්නේ පුදුමාකාර චමත්කාරයකි. විශේෂයෙන්ම එල්ලෙන බඳුන්වල එහෙමත් නැතිනම් තරමක් කට පළල් බඳුන්වල මේ රෝස කුමාරියන් සිටුවා ගත්කළ ලැබෙන සුන්දරත්වය හරි අපූරුය.

ඊට අමතරව එකම බඳුනක වර්ණ කිහිපයක හෝ විවිධ හැඩරටා සහිත ජපන් රෝස වර්ග කිහිපයක් සිටුවා ගන්න. සොඳුරු මල් යායක අපූර්වත්වයක් ඔබේ ගෙමිදුලට එකතු කරාවි.

ප්‍රචාරණය

අතු කැබලි සිටුවා ගැනීමෙන් ඔබට මේ ජපන් රෝස වවාගත හැකිය. සාමාන්‍යයෙන් අඟල් 05 සිට අඟල් 10 දක්වා උසට වැඩෙන එය මාංසලය. එබැවින් සැණෙකින් හානි සිදුවිය හැකිය. නමුත් වඩාත් පරෙස්සමට ශාකයේ ධාවක අතු කප්පාදු කිරීමෙන් සාරවත්ව වැඩුණු ජපන් රෝස පඳුරක් සකස් කරගත හැකි වේවි.

දේශගුණික අවශ්‍යතා

උදෑසනම විකසිතව සිනාසලන මේ මල් කුමාරියන් හිරු අවරට යනවිට මිලාන වී යයි. නමුත් ඇය වියළි දේශගුණයට වැඩි ප්‍රියතාවයක් දක්වන්නීය. ඒ නිසාම මේ රෝස කුමාරියන් මනා සූර්යාලෝකය යටතේ හොඳින් වැඩෙනු ඇත. එබැවින් සෙල්සියස් අංශක 26ත් 30ත් අතර උෂ්ණත්වයක් සහ 60%ක පමණ ආර්ද්‍රතාවයක් මෙම ශාකයට ප්‍රමාණවත් වේ.

වගා මාධ්‍යය

ජපන් රෝස වගාව සඳහා කොහුබත් කොටස් එකකට රොන් මඩ රහිත වැලි කොටස් එකක් සහ කොම්පෝස්ට් කොටස් එකක් මිශ්‍ර කිරීමෙන් වගා මාධ්‍යය සකසා ගත හැකිය. ඊට අමතරව පිළිස්සූ දහයියා ද වගා මාධ්‍යයක් ලෙස භාවිත කළ හැකියි.

අතු පැළ කිරීමෙන් මවු ශාකයට සමානවම මේ රෝස පැළ නිපදවාගත හැකි අතර ඒවා බඳුන්ගතව හෝ ක්ෂේත්‍රයේ කෙළින්ම සිටුවිය හැකියි. එලෙස ක්ෂේත්‍රයේ සිටුවන විට කාබනික පොහොර එක් කිරීම තුළින් වඩාත් පිරිපුන් වගාවක් ලබාගත හැකිය.

ජලය

වගා මාධ්‍යයේ තෙතමනය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අවශ්‍ය පරිදි ජලය යෙදීම කරන්න. මන්ද කොහුබත් සහ කොම්පෝස්ට් පොහොර යෙදීම මඟින් වගා මාධ්‍යයේ තෙතමනය ආරක්ෂා කරගත හැකිය. එබැවින් දින දෙකකට වරක් ජලය සැපයීම ප්‍රමාණවත් වේ.

පොහොර

N : P : K 20 : 20 :20 අනුපාතයට ගැළපෙන පරිද්දෙන් දියර පොහොර සතියකට වරක් භාවිත කරන්න. මල් හට ගැනීම සඳහා පොටෑසියම් වැඩි පොහොරක් සපයන්න. හොඳ ආලෝකයක් ලැබෙන විට අලංකාර මල් වැඩි ප්‍රමාණයක් ලබා ගත හැකි බැවින් තද සූර්යාලෝකය පතිතවන ස්ථානයක ශාක තැන්පත් කිරීම වැදගත්ය.

හොඳ මල් අස්වැන්නක් ලබා ගැනීම සඳහා පොටෑසියම් අධික k - 40 හෝ K - 44 අවශ්‍ය ප්‍රමාණයට ජලයේ දියකර ජපන් රෝස පත්‍රවලට ඉසින්න. නියමිත මාත්‍රාවෙන් පොහොර භාවිත කළ යුත්තේ සාන්ද්‍රණය වැඩි වූ විට ශාක පත්‍ර හානි වීමට ඉඩ ඇති බැවිනි.

නඩත්තුව

ජපන් රෝස ශාකය තවදුරටත් පරිණත වීමෙන් පසු එනම් අඟල් 5කට වඩා දිගු වූ පසු පහළට එල්ලා වැටීමට පටන් ගනියි. එවිට මල් අස්වැන්න අඩුවීම දැකිය හැකිය. එම අවස්ථාවේ දී මේ රෝස පඳුරු කප්පාදු කරන්න. අනතුරුව නැවත පත්‍ර මතට දියරමය පොටෑසියම් වැඩි පොහොරක් ස්ප්‍රේ කරන්න. එමඟින් නැවත නැවත සරු මල් අස්වැන්නක් දිනපතාම ලබාගත හැකිය. එමෙන්ම මේ ජපන් රෝස පැළ කප්පාදු කිරීමෙන් පසු හොඳින් හිරු එළිය පැළ මතට පතිත වීමට සැලැස්වීමෙන් සාර්ථක මෙන්ම ඉක්මන් විසිතුරු මල් වගාවක් ලබාගත හැකිය.

රෝග සහ පළිබෝධ හානි

මෙම ශාකය කඳ කුණුවීමේ රෝගයට භාජනය වේ. එසේ වීමට ඉඩ ඇත්තේ හොඳ ජලවහනයක් නොවූ විටදීය. එබැවින් හොඳින් ජලය බැස යන පරිදි වගා මාධ්‍යයත්, වගා බඳුනත් සකසා ගන්න. මීට අමතරව අපේක්ෂිත උෂ්ණත්වය සහ සාපේක්ෂ ආර්ද්‍රතාව පවත්වා ගෙන යාමට අමතක නොකරන්න.

ගොළුබෙල්ලා සහ හංගොල්ලා වැනි සතුන්ගෙන් වගාව ආරක්ෂාකර ගැනීමට ද ඔබ විශේෂයෙන්ම වගබලා ගත යුතුයි.

උපදෙස් - කෘෂි විද්‍යාඥ ඩබ්.යූ.එල්.අඹගස්පිටිය