සවසට පිපී උදයට පරවෙන පාට පාට සුන්දරිය හෙන්දිරික්කා

නොවැම්බර් 27, 2023

 

හිරු අවරට හැරෙද්දී කොළපාට අතු පතරින් හිමින් හිමින් විකසිතවන සොඳුරු මල් කුමාරියයි හෙන්දිරික්කා. සවස් කාලයේ දී පිපෙන නිසා සවස් කුමාරි කියලත් හඳුන්වන මෙය ඉතාමත් සුන්දර, සුවඳ හමන පුංචි මල් කැකුළියක්.

 

සොඳුරු ගසක්

 

දම්, සුදු, තැඹිලි, කහ පැහැති වර්ණයන්ගෙන් අලංකාර මල් පිපෙන මේ හෙන්දිරික්කා වර්ණ අනුව ප්‍රභේද කිහිපයකට බෙදේ. එසේම එකම මලෙහි වර්ණ කිහිපයක් දක්නට ලැබෙන ප්‍රභේද ද නැතුවා නොවේ. සවස් කාලය උදාවේගන එද්දී පිපෙන මේ මල් ඉර පායාගෙන එන විට පරවී යයි. සවස 4.30 ත් 5.00 ත් අතර කාලේ හෙන්දිරික්කා මල් පිපී අවසන් වේ. එවා ඉතා සුගන්ධවත්ය.

හෙන්දිරික්කා ගස වැඩෙන්නේ කුඩා පඳුරු වශයෙනි. හොඳින් වැඩුණු ගසක මල් තිහක්, හතළිහක් එක්වරම හටගනියි. මේ පුෂ්ප ද්විලිංගිකය. කොතරම් හැඩ වැඩට පිපුණත් සූර්යාලෝකය පොළොවට පතිත වද්දීම මේ හෙන්දිරික්කා මල්වල සුන්දරත්වය කෙමෙන් කෙමෙන් ගිලිහී යනවා. එනමුත් රාත්‍රි කාලයේ මුළු ගෙවත්තම හැඩකාර බවින් පුරවාලන තවත් එක් හැඩකාරියක් තමා මේ.

 

මෙහි පත්‍ර සෙන්ටි මීටර් 5 ත් 15 ත් අතර ප්‍රමාණයක් දිගින් යුක්තවන අතර පළල මීටර් 3 - 4 ත් අතර වේ. හෘදයකාර සරල පත්‍ර සම්මුඛකව පිහිටා තිබේ. ඒ වාගේම හෙන්දිරික්කා යනු ඖෂධ පැළෑටියකි. පඳුරක් ලෙසින් වැඩෙන මේ ශාකය සෙන්ටිමීටර් 30 සිට මීටරයක් පමණ උසකට වර්ධනය වනු දක්නට ලැබේ. එමෙන්ම ශාකයේ ශීඝ්‍ර වර්ධනයක් ද පෙන්නුම් කරයි.

 

පාරිසරික සාධක

 

වියළි දේශගුණයට වැඩි ප්‍රියතාවයක් දක්වන මෙම හෙන්දිරික්කා මනා සූර්යාලෝකයක් ඇති විට හොඳින් වගා කළ හැකිය. සැන්දෑ කාලේ මල් විකසිත වන්නට පටන් ගන්නා නිසාම එය ශාක ලෝකයේ සුවිශේෂී වූ රිද්මයානුකූල සංසිද්ධියක් ලෙස සැලකේ. එමෙන්ම ඉතාම අවම පරිශ්‍රමයකින් වගා කළ හැකි ශාකයක් බැවින් මෙය බොහෝ දෙනකු අතර ඉතාමත් ජනප්‍රිය මල් පැළයකි.

 

ප්‍රචාරණය

 

උද්‍යාන අලංකරණය සඳහා බොහෝවිට යොදා ගන්නා මේ ශාකය බෝකර ගන්නේ ඇටවලිනි. එනම් පරවූ මලෙහි හට ගන්නා බීජ වියළා ගැනීමෙනි.

 

 

 

 

වගා මාධ්‍යය

 

* කොහුබත් කොටස් එකක්

* රොන්මඩ රහිත වැලි කොටස් එකක්

* කොම්පෝස්ට් කොටස් එකක්

වශයෙන් ගෙන වගා මාධ්‍යය සකසා ගන්න. ඊට අමතරව පිලිස්සූ දහයියා ද වගා මාධ්‍යයක් ලෙස හඳුන්වා දිය හැකිය.

 

හෙන්දිරික්කා පැළ බඳුන් තුළ සිටුවීම මෙන්ම වගා භූමිය මත කෙළින්ම කිරීම වගා කළ හැකිය. ක්ෂේත්‍රයේ සිටුවා හොඳින් මුල් වර්ධනය වූ පසු කාබනික පොහොර එක් කිරීම මගින් වඩාත් සරුසාර වගාවක් ලබාගත හැකියි.

 

ජල සම්පාදනය

වගා මාධ්‍යයේ තෙතමනය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අවශ්‍ය පරිදි ඔබට ජලය යෙදිය හැකිය. මෙහිදී මහා පරිමාණ වගාවක් සඳහා නම් විසුරුම් හෝ බිංදු ජල සම්පාදනය වැනි කාර්යක්ෂම ජල සම්පාදන ක්‍රමයක් භාවිත කළ හැකියි. කොහුබත් සහ කොම්පෝස්ට් පොහොර යෙදීම මගින් වගා මාධ්‍යය තුළ තෙතමනය ආරක්ෂාකර ගත හැකි අතර එවිට ජලය සැපයීම දින දෙකකට වරක් කිරීම ප්‍රමාණවත් වේ.

 

පොහොර සැපයීම

 

N:P:K : 20:20:20 වැනි සමානුපාතික දියර පොහොරක් සතියකට වරක් භාවිත කරන්න. ඊට අමතරව මල් හට ගැනීම සඳහා පොටෑසියම් වැඩි පොහොරක් සැපයිය හැකියි. මනා ආලෝකයක් ලැබෙන විටදී හෙන්දිරික්කා මල් රාශියකින් ගස සැරසෙනා බැවින් තද සූර්යාලෝකය පතිතවන ස්ථානයක ශාක සිටුවීම වඩා වැදගත්ය.

 

රෝග සහ හානි

 

හෙන්දිරික්කා යනු එතරම් රෝග සහ හානි දක්නට නොලැබෙන ශාකයකි. නමුත් බීජ තවාන් දමා ඇති විටදී ගොළුබෙල්ලන් සහ හන්ගොල්ලා වැනි සතුන්ගෙන් වගාව ආරක්ෂාකර ගැනීමට වගබලා ගන්න.

 

උපදෙස් - කෘෂි විද්‍යාඥ ඩබ්.යූ.එල්. අඹගස්පිටිය