බහිරවයාගෙන් වැඩක් අරගෙන ගෙයක් සාදන ක්‍රමය

ජනවාරි 8, 2024

 

පැතුම් ගොන්නක් සිත්හි රඳවාගෙන අප පියවර තැබුවේ තවත් නව වසරකටය. මේ නව වසරේ තමුන්ගේ නිවෙස සතුටින් පිරි ඉසුරුමත් පසන් නිවෙසක්කර ගැනීම සැමගේ අපේක්ෂාවයි. මේ අපේක්ෂා, බලාපොරොත්තු එලෙසින්ම ඉටකර ගන්නට සිහින දකින ඔබට උදා වූ නව වසරේ නියත ලෙසින්ම හැකිවනු ඇත. ඒ සඳහා මඟ පෙන්වීම ලබා දීමට නිවැරැදි ලෙසින් වාස්තු විද්‍යාත්මක වත්පිළිවෙත් සිදු කරන ආකාරය පිළිබඳ මඟ පෙන්වීමක් ලබාදීමේ අපේක්ෂාවෙන් මේ ලිපි මාලාව ආරම්භ කරමු.

අප ලෝකයේ කොතැන සිටියත් තමුන්ගේම නිවහන තරම් වටිනා සම්පතක් මිහිපිට නොවෙයි. එවැනි වටිනාකමක් ඇති ඔබගේ නිවහන ඉසුරු, සිරිකත කැන්දන පසන් නිවෙසක් බවට පත්කර ගැනීම සඳහා නිවැරැදි ලෙසින් වාස්තු විද්‍යාත්මක පිළිවෙත් සිදු කිරීම අනාදිමත් කාලයක පටන් සිදුවූවකි. එහි අාධ්‍යාත්මිකව හා භෞතිකව ද කිසියම් වූ බලවේගයක් ඇති බවට විශ්වාසය බොහෝ පිරිසක් අතර පවතී.

මේ කටයුත්ත සඳහා වාස්තු විද්‍යාත්මකව සිදු කරන වත් පිළිවෙත් ඔබ ඉඩමක් මිලදී ගන්නටත් පෙර සිට සිදු කිරීමෙන් බොහෝ සතුරු උපද්‍රව හා බාධක ජයගැනීමට හැකිවනු නියතය.

ඔබත් උදා වූ නව වසරේ නිවහනක් සෑදීමට සැලසුම් කරන්නේ නම් මුල සිට මේ වත් පිළිවෙත් අනුගමනය කිරීමෙන් ඔබට ද නියත ලෙසම එම අරමුණු සාර්ථක ලෙස ජයගැනීමට අපහසු නොවනු ඇත. මේ සඳහා ප්‍රවේශයක් ලෙසින් මුලින්ම ඔබ මිලදී ගත් හෝ ඔබ සතු ඉඩමක් ආරක්ෂාකර ගන්නා ආකාරය ගැන විමසා බලමු. ඈත අතීතයේ සිටම ඉසිවර නියමයන්ට අනුව පැවත එන චාරිත්‍රයක් ලෙස වාස්තු බහිරව පූජාව තැබීම අප මුලින්ම සිදු කරන පිළිවෙතකි. මේ පූජාවෙන් අප බලාපොරොත්තු වන්නේ වාස්තු භූමියට ආසාවෙන් උපන් අට දිසාවන්ට අධිපති වූ බහිරවයන් එම භූමියෙන් පන්නා දැමීම වෙනුවට ඔවුන්ගේ සිත් සතන් සතුටුකර ආශීර්වාදය ලබා එයින් ප්‍රයෝජන ලබා ගැනීමය.

වර්තමානයේ බොහෝ ඉඩම් ඉතා කුඩාය. ඒවා පර්චස් 5 - 6 ක තරම් ප්‍රමාණයක් බවට පත් වූයේ ඉතා විශාල ඉඩම් කොටස් කිරීමෙන් පසුවය. එය ජනගහනය වැඩිවීමත් සමඟ සිදුවිය.

අතීතයේ විශාල ඉඩම් බොහෝ කාලයක් පැවතියේ රූස්ස ගස්වලින්, ගල් පර්වතවලින් හා ඇළ දොළවලින් සමන්විතව හිස්ව ගිය ඉඩම් ලෙසිනි. මේ විශාල ඉඩම්වල අදෘශ්‍යමාන බලවේග හා පාළුවට ගිය ස්වභාවයකින් පැවතීම සිදු වී තිබේ.

අප විශාල මුදලක් වැයකර ඉඩම් කැබැල්ලක් මිලදී ගන්නේ මෙවැනි අදෘශ්‍යමාන බලවේග ඇති ඉඩමක පදිංචියට නොවේ.

ඒ නිසා මේ කරදර බාධක මුලින්ම වළකා ගත යුතුමය. මේ සඳහා වාස්තු විද්‍යාත්මකව අප අනුගමනය කරන පියවර වන්නේ බහිරව පූජාවක් තැබීමය. බහිරව පූජාවක් තැබීම සිදු කරනු ලබන්නේ අනිවාර්යෙන්ම මුල්ගල් තැබීමට ප්‍රථමවය. එය මුල්ගල් තැබීමට පෙර දිනයේ තැබීම ඉතාමත් සාර්ථක පියවරකි. බොහෝ විට සෑම අයකුටම බහිරව පූජාවක් තැබීමට තරම් වත්කමක් නොවෙයි. එසේ පූජාවක් තැබීමට අපොහොසත් නම් ඔබ කළ යුත්තේ සිව් දිසාවේ මල් පැළක් සාදා මල් පහන් පුදා සිව්වරම් දෙවිවරුන්ගේ අවසර ගෙන භූමී ආරක්ෂක දෙවිවරුන්ට සහ ග්‍රාමාරක්ෂක දෙවිවරුන්ට භාර වී සියලු දෙවියන්ට පින් දී ඊශ්වර දෙවියන්ට භාර වී නිවෙස නිම කිරීමෙන් පසුව වාස්තු බහිරව පූජාව තැබීමට භාරවීමයි.

මේ සියලු කටයුතු සිදු කිරීමට පෙර ඔබ කළ යුතු වැදගත්ම පියවර වන්නේ ඔබගේ ඉඩම මුලින්ම උගත් වාස්තු ශාස්ත්‍රඥයෙකුට පෙන්වා එහි ඇති දෝෂ පරීක්ෂා කර ගැනීමයි. ඒ අනුව එම වාස්තු ශාස්ත්‍රඥයා ඔබගේ ඉඩමේ හැඩය පරීක්ෂා කර බලා එහි පිහිටීම අනුව එහි ඇති දෝෂ ඔබට පැහැදිලි කරනු ඇත. ඒ අනුව ඔබගේ ඉඩමේ කිසියම් දෝෂයක් වේ නම් එය මඟ හැරීම සඳහා අවශ්‍ය උපදෙස් ද ඔහු සපයනු ඇත.

ඔබට බහිරව පූජාව තැබීමට අවශ්‍ය උපදෙස් ද ඔහුගෙන් ලබා ගැනීමට හැකිවනු ඇත. අප රටේ එක් එක් පළාතට අනුව ගුරු පරම්පරාවල පිළිවෙත් වෙනස් වෙයි. බහිරව පූජාව තැබීම ප්‍රදේශයෙන් ප්‍රදේශයට සුළු සුළු වෙනස්කම් පැවතිය ද පොදුවේ ගත් කල මෙය එකම ආකෘතියේ සිදුවන පිළිවෙතකි.

මේ සඳහා ඔබ ප්‍රථමයෙන්ම කළ යුත්තේ මාලිමාවක් ගෙන වාස්තු භූමියේ අට දිසාව නිවැරැදිව සොයා ගැනීමයි. ඉන් පසුව එම දිසා අටෙන් සිව් දිසාවට පූජා තබන්න. නිවෙස සාදා බහිරව පූජාව තබන්නේ නම් පුර සඳ දිනයක ගේ හොඳින් සෝදන්න. ඉන්පසුව කිළිකුණු ඉවත් කර තෙරුවන් සඳහා පූජාවක් තබන්න. බහිරව පූජාවක් තබන විට මුලින්ම සිව්වරම් දෙවියන්ට සහ ඊශ්වර දෙවියන්ට පූජාව තබා ඉන්පසුව බහිරව පූජාව තබන්න.

මෙසේ බහිරව පූජාව සඳහා අවශ්‍ය කළමනා ගැන ඔබ මුලින්ම ඔබගේ වාස්තු ශාස්ත්‍රඥයා ගෙන් දැනගන්න. ඔහුගේ උපදෙස් අනුව නිවැරැදි ආකාරයට එය තබන ආකාරය හා පිළිවෙත් පවත්වන ආකාරය දැන ගන්න.

ඔහුගේ උපදෙස් අනුව නිවැරැදිව වාස්තු බහිරව පූජාවක් තබා භූමියේ දෝෂ පහ කර ගන්න. ඔබගේ ඉඩමේ අටකොන් ආරක්ෂා කිරිමෙන් පසුව අත්තිවාරම කැපීම හා මුල්ගල් තැබීම ඊළඟ පියවරයි. මෙලෙසින් මේ පිළිවෙත් කිරීමෙන් ඔබගේ නිවෙස සෑදීම ඉතාම සාර්ථකව ලෙස ඉටුකර ගැනීමට හැකිවනු ඇත. එසේම ඔබගේ නිවෙස සෑදීම ද ඉතාම සාර්ථක අවසන් වනු නියතය.

 

උපදෙස් -

ධර්මපාල සොන්දප්පෙරුම ආරච්චිගේ

සංහිඳ ජෝතිෂ්‍ය හා වාස්තු විද්‍යාපදනම

මඩපාත පාර කොටගෙදර

පිළියන්දල