ඇරගත්තොත් පැල්ලම් අඳින්නට හැකියි හුඟකල්

අගෝස්තු 22, 2022

 

අප ඇඳුමක් මිලදී ගන්නේ වැඩි කාලයක් අඳින්නටයි. ඒ නිසා ඇඳුමක් මිලදී ගන්නා විට සුපරික්ෂාකාරී විය යුතුයි. එය ඔබේ වියදම අවම කර ගැනමටත් මුදල් ඉතිරි කර ගැනීමටත් මඟ සලසා දෙයි.

 

රෙද්ද මසා ඇති කෙඳි වර්ගය, කෙන්දේ ස්වභාවය, වර්ණය, සේදීමේ දී හැකිළෙන හා නො හැකිළෙන බව, පාට යන නො යන බව, එහි ඇති ලේබලය පිළිබඳ සැලකිලිමත් වන්න. එම ඇදුම් සේදීම, වේළීම, මැදීම පිළිබඳ ලේබලයේ සඳහන් කර ඇති කරුණු පිළිපදින්න. එසේම ඔබ ඇදුම් මිල දී ගැනීමට වෙළෙඳපොළට ගියවිට අවිචාරවත්ව මිල දී ගැනීම් කරන්න එපා. ඇඳුම් මෝස්තරය, අල්ලා ඇති බොත්තම්, ගාංචු, රේන්ද අදිය පවා හොදින් පරීක්ෂා කරන්න. නැතිනම් මිල දී ගෙන පාවිච්චි කරන කෙටි කාලයක දී මේවා ගැලවී යයි. කැඩී යයි. ඔබ යට ඇදුම්, ලේන්සු ආදිය මිලට ගැනීමේ දී අප සැලකිලිමත් විය යුතුයි. ශ්‍රී ලාංකීක අපිට ගැළපෙන්නේ කපු නූලෙන් නිෂ්පාදිත යට ඇඳුම ය. කාලයක් පවතින ආකාරයේ ඇඳුම් ආරක්ෂා කිරීමටත් සැලකිලිමත් විය යුතුයි. ඇඳුමක් වරක් දෙකක් ඇඟලූ පසු එහි බොත්තම් බුරුල් වීමට පුළුවන්, සාක්කුවල මැහුම් ගැලවෙන්න, මූට්ටු ලෙහෙන්න, රේන්ද ආදිය ගැලවෙන්න, සිදුරු ඇතිවෙන්න පුළුවන්. මෙවන් අවස්ථාවක් දුටු වහාම ඇඳුම්වල ඒ ස්ථාන අලුත් වැඩියා කරගත යුතුයි. එය පමා කිරීමෙන් ඔබට එම ඇඳුම් අඳින්න බැරි තත්ත්වක් පවා ඇති කරයි. එය පාඩුවක් නේද ?

සායම් යන රෙදිපිළි, ඇඳුම් පිරිසුදු කරගැනීමේ දී එකට දමා සෝදන්න එපා, සුදුපාට ඇදුම්වලට සහ අනෙක් ඇදුම්වලට ඒ ඒ වර්ණ උරා ගැනීමෙන් හානි සිදු වී ඇඳීමට නො හැකි තත්ත්වයන් පවා උදා වේ. ඒ නිසා රෙදි සේදීමේ දී වර්ග කර වෙන වෙනම සෝදා වේළා ගත යුතුයි. ඇඳුම් පිරිසුදු කිරීම සමහර අය කල් දමනවා . එයත් හොඳ නැත. කල් දැමීම නිසා ඇඳුමක ආයු කාලය කෙටි වේ.

මෘදු රෙදිපිළි ලෙස අප හඳුන්වන යට ඇඳුම් ආදිය නිතර පිරිසුදු කළයුතු වෙනවා. නිතර දහදියෙන් තෙත්වන, සුවඳ විලවුන් යෙදීමට ලක්වන රෙදිපිළි ද නිතර පිරිසුදු කළ යුතුයි. නැත්නම් දහදිය පැල්ලම් ඇතිවිය හැකියි. පැල්ලම් ඇතිවිය හැකි ඇඳුම් වඩාත් සැලකිල්ලෙන් පිරිසුදු කරගත යුතුයි. පැල්ලම් ඉවත් කිරීමට ඇඳුම් පිරිසුදු කරන ස්ථානයකට දීමෙන් පහසුවෙන් කරගත හැකියි. නමුත් විවිධ පැල්ලම් ඇතිවීම නිසා ඇඳුම් භාවිත කිරීමට නො හැකි තත්ව ඇති වේ. ඇඳුම්වල ඇතිවන විවිධ පැල්ලම් ඉවත් කරගැනීමට ගෘහණියක් ලෙස දැනුවත් වීම ඉතා වැදගත්. ඒ පිළිබඳ විමසා බලා ක්‍රියාත්මක වන්න. රෙදිපිළි පැල්ලම්වලින් ආරක්ෂා කරගන්න.

 

පැල්ලම් ඉවත්කරන්න පහසු ක්‍රම මෙන්න

දහදිය පැල්ලම - පැල්ලම ඇති තැන ඇල් ජලයෙන් පොඟවා බෝරැක්ස් ද්‍රාවණයකින් තෙමා තද හිරු රැස් වැදීමට සලස්වා පසුව සබන් යොදා අතුල්ලා සෝදන්න.

 

මෝරතෙල් පැල්ලම - පැල්ලම සහිත කොටස බේසමක එලා උතුරන උණු වතුර ඒ මතට ඉහළ සිට වක් කරන්න. නැතහොත් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බින්දු කීපයක් දමා අව්වේ වේළා පසුව සෝදා ගන්න.

 

සාමාන්‍ය තෙල් පැල්ලම - පැල්ලම මත කඩදාසියක් තබා උණුසුම් ඉස්තිරික්කයකින් මදින්න. එවිට තෙල් කඩදාසියට උරාගනියි.

 

කෝපි කහට පැල්ලම - උණුසුම් ජලයට බෝරැක්ස් මිශ්‍ර කර පැල්ලම තෙත් කරන්න. පරණ පැල්ලමක් නම් ග්ලිසරීන් ස්වල්පයකින් පොඟවන්න.

 

තේ කහට පැල්ලම - පැල්ලම වැටුණ විගස සබන් මිශ්‍ර උණු දියෙන් සෝදා හරින්න. පරණ පැල්ලමක් නම් වතුර බෝරැක්ස් මිශ්‍ර මඳ වේලාවක් පෙඟෙන්නට දමා උණු දියෙන් සෝදාගන්න.

 

බිත්තර පැල්ලම - ලුණු මිශ්‍ර උණුසුම් ජලයේ පෙඟෙන්නට දමා සෝදාගන්න.

 

තණකොළ කහට පැල්ලම - මෙතිලේටඩ් ස්ප්‍රීත්තුවලින් පැල්ලම තෙමා සෝදාගන්න. පැල්ලම ඇති තැන සෝඩා සහ සබන් මිශ්‍ර වතුරෙන් තෙමා හුමාලයට ඳද වේලාවක් අල්ලා සෝදන්න.

 

තීන්ත පැල්ලම - පැල්ලම වැටුණු විගසම සෝදා හරින්න. දෙහි හෝ කාමරංගා ඉස්ම පැල්ලම මත දමා අව්වේ වේළා පසුව සෝදන්න. පැල්ලම මතට උණුසුම් කිරි දමා අතුල්ලා සෝදන්න. රතු තීන්ත පැල්ලමක් නම් බෝරැක්ස් මිශ්‍ර ජලයෙන් සෝදන්න.

 

මලකඩ පැල්ලම - ඔක්සැලික් ඇසිඩ් පැල්ලම මතට යොදා සෝදාගන්න. ලුණු කුඩු හා කාමරංගා පැල්ලම මත අතුල්ලා සෝදන්න.

 

පලතුරු කහට පැල්ලම - ඇල්දියෙන් පැල්ලම තෙමා ග්ලූකෝස් පැල්ලම මතට දමා අතුල්ලා ටික වේලාවක් තබා සෝදන්න. බීලීචිං පවුඩර් හෝ ඔක්සැලික් ඇසිඩ් යොදා පලතුරු කහට පැල්ලම් ඉවත් කිරීමට හැකියි.

 

හොදි පැල්ලම - පැල්ලම සහිත කොටස සෝඩා කුඩු මිශ්‍ර ජලයෙන් ටික වේලාවක් පෙඟෙන්නට තබා සබන් මිශ්‍ර ජලයෙන් සෝදන්න.

 

තාර පැල්ලම - පැල්ලම ඇති ස්ථානයේ සබන් ගා පෙට්‍රල් හෝ භූමිතෙල් ස්වල්පයක් යොදා සෝදා හැර පසුව හොඳින් සෝදන්න.

 

වැහි වතුර පැල්ලම - හුමාලයට අල්ලා සේදීමෙන් ඉවත්කරගත හැකිය.

 

ග්‍රීස් පැල්ලම - සබන් ගා සෝඩා මිශ්‍ර උණු දියේ තම්බා සෝදාගන්න.

 

ඉටිකිරි පැල්ලම - මුවහත් නැති පිහියකින් සූරා ඉටි ඉවත්කර රෙද්ද පැල්ලම මැදිවනයේ කඩදාසි කැබැලි දෙකක් තබා උණුසුම් ඉස්තිරික්කයකින් මදින්න. බිලීචිං පවුඩර් යොදා සෝදාගන්න.

 

ලිප්ස්ටික් පැල්ලම- සබන් ගා හෝ ග්ලිසරීන් යොදා සෝදා ඉවත්කර ගත හැකිය. සායම් හෝ ග්ලිසරීන් යොදා සෝදා ඉවත්කර ගත හැකියි.

 

සායම් පැල්ලම - ටර්පන්ටයින් දමා ඉවත්කර ගත හැකියි.

 

රසායනික ද්‍රව්‍ය මෙන්න

පැල්ලම් ඉවත් කිරීමට යොදන රසායනික ද්‍රව්‍ය පිළිබඳ දැනගෙන සිටීම වැදගත්වේ. මේ සියලු දේවල් දරුවන්ට අසු නොවන සේ උස් ස්ථානයක ආරක්ෂිතව වසා දමා ගබඩාකර තැබිය යුතුයි.

 

ඔක්සැලික් ඇසිඩ් - විස සහිතයි. නමුත් ඉතා ප්‍රයෝජනවත් වේ.

බෝරැක්ස් - ජලය ගැලුම් එකකට තේ හැඳි එකක් මිශ්‍රකරන්න.

ඇමෝනියා - ඇඳුමේ සායම වෙනස්විය හැකි බැවින් පරික්ෂා කර බලා යෙදිය යුතුය

බිලීචිං පවුඩර් - වහාගිනි ඇවිලෙන සුලුය. සායම් නොයන රෙදිවලට පමණක් යෙදිය යුතුය.

මෙතිලේටඩ් ස්ප්‍රීත්තු - සුදු රෙදිෙවලට ඉතා යෝග්‍යය වේ.

බෙන්සීන් - වියළි සේදීමේ දී යොදාගනියි.

ග්ලිසරින් - රෙදිවලට හානිදායක නොවේ.

උපදෙස්

හේවාහැට රහතුන්ගොඩ මහ විද්‍යාලයේ

නියෝජ්‍ය විදුහල්පතිනි

ඉන්ද්‍රානි විජය බණ්ඩාර