ගෙවතු වගාවේ යෙදෙන්න යෝග්‍ය උපකරණ හා ආයුධ තෝරා ගන්න

කප්පාදුවට කතුරක් අවශ්‍යමයි
ඔක්තෝබර් 24, 2022

 

මල්, එළවළු, පලතුරු පිරි ගෙවත්තක සුන්දරත්වය අමුතුවෙන් කිව යුතු නොවේ. එවැනි ගෙවත්තක් නිර්මාණය කර ගන්න හිතන ඔබට සහාය ලබා දීම අපේ කාර්යයකි. ඒ වෙනුවෙන් ගෙවතු වගාවේ දී අවශ්‍ය උපකරණ කිහිපයක් දැනටමත් ඔබට හඳුන්වා දී ඇත. අද අපි එවැනි තවත් උපකරණ කිහිපයක් හඳුනා ගනිමු.

 

උද්‍යාන මුල්ලුව හා උදැල්ල

(Garden Fork Hoe)

එක් පසෙක කුඩා උදලු තලයක් ලෙසින් ද ප්‍රතිවිරුද්ධ පස කූරු දෙකක්, තුනක් හෝ හතරකින් යුතු මුල්ලුවක් ආකාරයට නිමවා ඇති මෙවලමකි. කුඩා පෙදෙසක හෝ පඳුරු යට ඉක්මනින් පස බුරුල් කර ගැනීමට හා පෙරළා ගැනීමට භාවිත කළ හැකියි. එකම පායක එක් පැත්තක සෙ.මී.11.5 ක උස ප්‍රමාණයට හා පළල සෙ.මී. 8.5 ලෙස කූරු තනා ඇති අතර ප්‍රතිවිරුද්ධ පැත්තෙහි ටේපර හැඩය ගත් උදලු තලයේ කැපුම් පළල සෙ.මී.6.5 ක් හා උස සෙ.මී.7.5 ක් වන ලෙස තනි වාත්තුවකින් නිපදවන මේ මෙවලම සඳහා දිග සෙ.මී. 28-30 ප්‍රමාණයේ දැවමය හැඬලයක් සවි කර තිබේ.

 

කප්පාදු කතුර

(Hand Pruning Shears)

මල්, විසිතුරු පත්‍රි, ශාක හෝ පලතුරු පැළ ආදී ශාකයන්හි අනවශ්‍ය රිකිලි කපා දැමීමට හෝ බද්ධ කිරීමට අවශ්‍ය රිකිලි ශාකයකින් වෙන් කර ගැනීමට භාවිත කෙරේ. අල්ල මත දරාගෙන ඇඟිලිවලින් හොඳින් ග්‍රහණය කර ගැනීම සඳහා කෙටි හැඬල දෙක ප්ලාස්ටික් හෝ රබර් කොපු තුළ ගිල්වා තිබේ. වානේවලින් තනන කැපුම් තලයක දිග සෙ.මී. 6 -7 ක් වන අතර හැඬල යුගලයේ දිග සෙ.මීටර 12-14 අගයක් ගනී. කැපුම් තල විවර කළ හැකි උපරිම ප්‍රමාණය මිලිමීටර 25ක් වනු ඇත. හැඬල අතර ඇති දුන්න නිසා කැපුම් තල වැසීමෙන් පසු නැවත විවෘත වේ. භාවිත නොකරන විට කැපුම් තල ආරක්ෂිතව එකට එකතු කර තබා ගැනීම සඳහා අඟුළු මුද්දක් සපයා තිබේ. සමහර වර්ග දකුණු අත හෝ වම් අත භාවිත කිරීම සඳහා පමණක් නිර්මාණය කර ඇති අතර, නැවත නැවත භාවිත කිරීමේදී ඝර්ෂණය අඩු කිරීමට සහ අතට දැනෙන ආතතිය අවම කිරීමට සමහර කතුරු භ්‍රමණය වන රැචට්ටුවක් සහිතව නිපදවා තිබේ.

 

වැටි කපන කතුර

(Hedge Shears)

උසස් ශ්‍රේණියේ වානේවලින් නිපදවා කැපුම් තල දාර පන්නරය තබා ඒවායෙහි කර උල ෆයිබර් හෝ මෘදු ප්ලාස්ටික් හෝ දැව කොටස් තුළට ගිල්වා හැඬල නිෂ්පාදනය කර ඇත. පඳුරු හෝ ශාක වැටි අවශ්‍ය ආකාරයට කපා ගැනීමට භාවිත කෙරේ. එමෙන්ම තෘණ පිට්ටනිවල පටු මංතීරු හා උද්‍යාන මංමාවත් මායිම් මෙන්ම මල් පාත්ති වටා වූ මායිම්හි වැවූ ශාක වැටි අලංකාරයට කැපීමට භාවිත කළ හැකි ආයුධයකි. විදුලි මෝටරයකින් හෝ සැහැල්ලු කුඩා එංජිමකින් යුතු දෑතින් ඔසවාගෙන ක්‍රියා කරවිය හැකි කතුරු මොස්තරය ද දැකිය හැකියි. මල් වැරීමෙන් පසු එම පඳුරු හෝ ශාක වැටි පිළිවෙළකට කප්පාදු කර ගැනීමට භාවිත කෙරේ. පරිහරණය නොකරන අවස්ථාවන්හිදී කැපුම් තල පේළි අඟුළු දැමිය හැකි උපකරණ වඩාත් ආරක්ෂාකාරී වේ.

 

වතුර මල් බාල්දිය

(Watering Can)

තවාන් පාත්ති තෙත් කිරීමට, බීජ සිටුවන ලද පාත්ති සඳහා ජලය සැපයීමට සහ ශාකවලට ජලය සැපයීම සඳහා උපයෝගී කර ගැනේ. කෙමියට සවි කරන මලේ සිදුරක ප්‍රමාණය අනුව වෑස්සෙන ජල අංශූවල පරිමාව තීරණය කෙරේ. ධාරිතාවය ලීටර 05 සිට 10 දක්වා වූ ප්‍රමාණයෙන් ගැල්වනයිස් හෝ පොලිමර් ඇසුරෙන් මල් බාල්දි නිපදවනු ලැබේ. එමෙන්ම වගාවට ජලය සම්පාදනය සඳහා ක්‍රමානුකූලව ජලය යොමු කළ හැකි දිගු ගෙලක් Long neck හා කුඩා සිදුරු සහිත නැසින්නකින් Nozzle යුතු බඳුනක් හෙවත් මල් බාල්දියක් තෝරා ගන්න. එසේම එය කොටස් වශයෙන් එකිනෙකින් ගලවා වෙන් කරගත හැකි ආකාරයේ එකක් නම් ඉතා හොඳයි. එවැන්නක් වඩාත් වැදගත් වන්නේ බීජ ප්‍රරෝහණය වන වකවානුවේදී තවාන් පාත්ති උදෙසා ජලය සම්පාදනය සඳහායි. ගැල්වනයිස් කරන ලද තහඩු ඇසුරෙන් නිපදවන ලද මල් බාල්දිවලට වඩා පොලිමර් ඇසුරෙන් නිපදවන ලද ඒවා තරමක් සැහැල්ලු බවින් යුක්ත වන අතරම පරිහරණයට ද පහසු වේ.

 

අත් මුල්ලුව (Hand Fork)

විශේෂයෙන්ම ගෙවතු වගාවේදී බහුලව උපයෝගී කර ගැනේ. කෙටි කූරු හෙවත් තුඩු තුනකින් යුතුව නිපදවන තලය කෙටි දැව හෝ ප්ලාස්ටික් මිටකට සවි කර ඇත. සකස් කළ පාත්තියක හෝ භොග සංස්ථාපනය කරන ලද පාත්තියක පස බුරුල් කර ගැනීමට, පසට පොහොර මිශ්‍ර කර ගැනීමට හා වල් පැළෑටි උගුල්ලා ගැනීමට ද මෙය උපයෝගී කරගත හැකියි. මේ උපකරණයක මුළු බර ග්‍රෑම් 215-220ෙක් වන අතර, හැඬලය සෙ.මී.26-27 ක දිගකින් සමන්විත වේ. පස සමඟ ගැටෙන තුඩු පළල සෙ.මී. 7.5- 9 ක් හා සෙ.මී. 9-10 ක උසකින් යුක්ත වේ.