පුංචි දෝණි හැඩ කරනා අලංකාර මල් ගවුමක්

දෙසැම්බර් 5, 2022

 

මේ පුංචි දෝණි හැඩ කරනා උර පටි සහිත ගවුමකි. සරල බවත් චාම් බවත් අගයන ආදරණීය මවක් වන ඔබට මෙය ඉතාමත් පහසුවෙන් මසා ගත හැකියි. මෙය මසා ගැනීමට එතරම් කාල වේලාවක් වැය වන්නේ ද නැත. එසේ නම් මෙන්න මේ විදියට ගවුම් පොඩිය මසා ගත හැකියි.

 

උරහිස අඟල් 11

කරවට අඟල් 10

ඉණදක්වා උස අඟල් 13

පපුවවට අඟල් 24

ඉණවට අඟල්24

කර ගැඹුර අඟල් 4

සාය උස අඟල් 15

 

දියණියගේ ගවුම නිර්මාණය කර ඇත්තේ රෙදි කොටස් 2ක් භාවිත කරමින් ය. මෙහි භාවිත කර ඇත්තෙ මුද්‍රිත හා තනි වර්ණයේ රෙදි 2දෙකකි.

 

පළමුව බ්ලවුසයට රෙදි කපා ගැනීම සඳහා පතරොම නැම්මට තබා ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම්වාසි අඟල් 1/2 ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 1/4ක් පහත් කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

 

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න.

E සිට පහතට ඉණ දක්වා උස පහත් කර හරහට රේඛාව අඳින්න.

 

අත්කට රේඛාවට උස සෙවීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට ෙර්ඛාවක් අඳින්න. එය අත්කට රේඛාව යි.

 

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි හා බුරුල සඳහා එකතු කර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

 

ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා හා මැහුම්වාසි එකතු කර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ. දැන් GI යා කර අංශය අඳින්න.

 

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2 අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මෙ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපී යන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

 

කර ගැඹුර පහත්කර කර අත්කටට අඳින්න. (රූප සටහනේ ආකාරයට) ලයිනින් හා බලවුස් රෙදි යන කොටස් දෙකෙන්ම කපා ගන්න.

 

 

පසුපස සඳහා බලවාටියට ගෙන අඟල් 1ක මැහුම් වාසි තබා පසුපස ද ඉදිරිපස ආකාරයට කපාගන්න.

 

උරපටි සඳහා ඉදිරිපස හා පසුපස උස මැන එම ප්‍රාමාණයට කපාගන්න.

 

 

සාය සඳහා රැලි සාය භාවිත කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය උසට මැහුම් වාසි එකතුකර උසද ඉණවට මෙන් දෙගුණයක් පමණ ගෙන

එය රැලි කරන්න.

 

 

බ්ලවුසයට ලයිනින් හෝ පෙශින් එකක් තබා උරපටි සමඟ කර මසාගන්න. පසුපස එම ආකාරයට ම මසාගන්න. සාය රැලි කර ඉණට අල්ලාගන්න. දැන් අංශය මසා වාටිය මසා ඇඳුම නිමා කරගන්න.

 

ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පිනී

දිලුෂි දසනායක