වර්ෂ 2025 ක්වූ January 20 වැනිදා Monday
ගෙදර මහමු ඉතිරි කරමු
හැඩකාර තරුණ යුවතියකට ගැළපෙන කදිම ඇඳුම් විලාසිතාවකි. මේ දිනවල ඉතාමත් ජනප්‍රියයි. ඔබට මූලික පතරොම නිර්මාණය තුළින් මේ ගවුම් විලාසිතා පහසුවෙන් මසා ගත හැකියි.
මැසීමේ පියවර
මුලින්ම කර ගැඹුර අනුව ඉලාස්ටික් කොටස් කපා ගන්න. කර ගැඹුර අඟල් 6ක් නම් ඉන් අඟල් 1ක් අඩුකර ඉලාස්ටික් කපා ගන්න. ඉදිරි හා පිටුපසට දෙකටම අඟල් 5×2=10ක අඟල් 1/2ක් පළලින් ඉලාස්ටික් කපා ගන්න. කර දෙසින් ඉලාස්ටික් ඇතුළට රිංගවා කෙළවර දෙක ටැග් කරගන්න. සකසා ගත් අත කොටස කිහිලි කටට තබා සම්බන්ධ කර මසාගන්න. දැන් සකසා ගත් අත කොටසින් කිහිලි කටට ඇඳුමේ කිහිලි කට තබා සම්බන්ධ කර මසා ගන්න. අත අග ද එලෙසින්ම ඉලාස්ටික් දමා සකසා ගන්න.
දැන් කපා ගත් ෆ්ලෙයාඩ් සාය කොටස ඉණට තබා මසා ගන්න.
අත අග සිට අංශය පහත වාටිය දක්වා මසාගන්න.
අත සැකසීම
ඔබ කපා ගත් අත කොටස ඉහළ නැම්මට තබා ගන්න. රැලි අගය සඳහා අඟල් 3ක් වැඩිපුර දෙන්න.
කරට ඉලාස්ටික් ගණනය -
ඕෆ් ෂොල්ඩර් අගය මනින්න. අඟල් 44කි. ඉන් අඟල් 10ක් අඩුකර අඟල් 34ට ගන්න. ඉලාස්ටික් පළල අඟල් 1/2කි.
අවශ්‍ය මිමි:-
උරහිස =අඟල් 13 1/2 ÷2=6 3/4
පපුවට = අඟල් 33 ÷4= 8 1/4
ඉණවට :- අඟල් 27÷ 4 = 6 3/4 +( ඩාඩ් අගය)= 7 3/4
උර සිට උස මිමි
i කර ගැඹුර = අඟල් 6
ii පපුව මුදුන උස = අඟල් 9 1/2
iii ඉණට උස = අඟල් 13 1/2
iii උකුළට උස = අඟල් 20
V සම්පූර්ණ උස = අඟල් 36
Vi අත දිග = අඟල්18
Vii අත වට = අඟල් 7
උපදෙස් -
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රවීණ මැහුම් උපදේශිකා
අනූෂා සඳමාලි
රූ රටා - නිලක්ෂි ආරියරත්න
අලංකාර මැස්මකට මේ දැනුම අවශ්‍ය වෙයි..
ඉඳිකටුව දක්වා පිළිවෙළින් නූල ගෙන ආ පසු එක්වරම නුල අමුණා ගන්නට යන්න එපා. බොහෝදෙනෙක් කරන්නේ නූලේ කෙළවර දතින් කඩා දෙතොලට තබා නූල් අග්‍රය රවුම් කර ගැනීමයි. එහෙම නෙමෙයි. මෙහෙම කරන්න.
* නූල් අග ට්‍රිමර් එකක් හෝ තියුණු කතුරකින් නූල ඇලයකට සිටින සේ කපන්න. එවිට නූල් අග්‍රය ඉතිරීවීමකින් තොරව, පහසුවෙන් ඉඳිකටු සිදුරෙන් ඇතුළු කරගැනීමට හැකියාව ලැබෙනවා. මෙහිදී ඉඳිකටු සිදුරේ වම් පසින් නූල ඇතුළු කර, අඟල් හතරක පමණ ප්‍රමාණයක් දකුණු පසින් පිටතට ගන්න. ඉඳිකටුවට නූල දැමීමට ප්‍රථම පුට් එක පහතට කර තබා ගැනීමට අමතක කරන්න එපා.
උඩ සහ යට නූල් බුරුලට මැසීමට බලපාන හේතු පිළිබඳ මම කලින් කතා කරලා තියනවා පොඩ්ඩක් බලන්න
මැෂිමේ යට නූල කැඩීමට හේතු
මෙය සිදු වන්නේ කලාතුරකිනි. ඒ සඳහා බලපෑ හැකි හේතු පහත දැක්වෙයි.
01. බොබිනයේ නූල පහසුවෙන් ඇදී නොඑන තරමට තදවීම.
02. නූල පරණවීම සහ අතිශය සිහින්වීම.
03. නූල අක්‍රමවත්ව ඔතා තිබීම.
උඩ නූල කැඩීයාමට බලපාන සාධක
මෙය බොහෝ විට ආධුනිකයන්ට අත්විඳීමට සිදුවන තත්ත්වයක් විදිහට පෙන්වා දෙන්නට පුළුවන්.
එහිදී...
* නිවැරැදි අයුරින් නූල අමුණා නොතිබීම
* නූල පමණට වඩා තදවීම
* නූල සිහින් හෝ පරණවීම
* ඉඳිකටුව වැරැදි ආකාරයට සවිකර තිබීම
* නූල පාලනය කරන දුනු සහිත කම්බිය කැඩීම හෝ ඇදවීම
* බොබිනයේ නූල් තදින් ඔතා තිබීම
* බොබින් කෝෂයේ ප්ලේට් එක ගෙවී තිබීම
* නූල දිරා තිබීම
* ඉඳිකටුවේ සිදුරට වඩා නූල මහත්වීම
මැෂින් ඉඳිකටුව කැඩෙන්නේ ඇයි?
ඒ වගේම යමක් මැසීමේදී ඉඳිකටුව කැඩීයාම හරිම අපහසුවට පත්වන දෙයක්. මැෂින් ඉඳිකටුව කැඩෙන්නේ ඇයි? ඒ සඳහා හේතු ගණනාවක් බලපෑ හැකියි.
* රෙද්දේ ප්‍රමාණයට වඩා ඉඳිකටුව සිහින් වීම
* ඉඳිකටුව ඇදවීම
* නූල ඉඳිකටුවට වඩා මහත්වීම
* මහනවිට මැහුම තදින් ඇදීම
* නියමිත ඉඳිකටු භාවිත නොකිරීම
* ඉඳිකටුව ප්‍රමාණයට වඩා දික්වීම
* ඉඳිකටුව මැස්ම තුළ තිබියදීම
රෙද්ද යන්ත්‍රයෙන් ඉවතට ඇදීම.
ඉඳිකටුව කැඩී ගියහොත් මේ කරුණුවලින් එකක් හෝ කිහිපයක බලපෑම නිසා විය හැකි බව දැන් ඔබ දන්නවා. ඒ වගේම මහන කෙනකු අපහසුවට පත්වන තවත් කාරණාවක් වන්නේ මහන රෙද්ද මැෂිම අතරින් පහසුවෙන් ඇදී නොයෑමයි.
මැස්ම මැෂිම අතරින් පහසුවෙන් ඇදී නොයන්නේ ඇයි?
* ඔබ මැසීමට තෝරා ගත් රෙද්ද මත පීඩන පාදය තැබූවිට වුවමනා ප්‍රමාණයට වඩා තදවීම හෝ රෙද්ද ඉතාම සියුම් වීම
* පීඩන පාදයට යටින් ඇති දැති තට්ටුව නියම ප්‍රමාණයට වඩා යටින් සිටින සේ සවි කිරීම හෝ එම දැති ගෙවීයෑම
* මහන රෙද්දේ ඉටි ගතියක් තිබීම
එයට හේතුව විය හැකියි.
එසේම මහන රෙද්ද රැලි ගැසීමත් මහන කෙනා අපහසුවට පත්කරවන කරුණක්. මහන රෙද්ද රැලි ගැසෙන්නේ කුමන හේතුවකින්ද?
* රෙද්දට වඩා මහන නූල ඝනකම් වීම
* මැහුම පමණට වඩා දිග වැඩිවීම
* ඉඳිකටුවේ තුඩ මොට්ටවීම