ආදරණීයයන් වෙනුවෙන් Surprise Rose Bouquet

මැයි 12, 2025

 

මොන දේත් කරන්න හිතද්දී අමාරුයි. කම්මැලියි. කෝ ඕවට බඩු... කෝ මැෂින්... ඕව කරන්න හොඳට කැපෙන කතුරු තියෙන්නෙ ඕනෙ. මට ගෙදර වැඩනෙ... කෝ ඕවට වෙලාවක්. ටික දවසක් ඉඳලම පොඩි ස්වයං රැකියාවක් කරනවා.

ඒ අපේ හිත. අහුවෙන්න එපා ඕවට. ඔබට ඉන්නා තැනෙන් අඩියක් හෝ උඩට යන්න නම් හිත හිතා වැඩ කල් දමන එක අදම නතර කරන්න. එසේ නම් මෙන්න මේ පුංචි මල් කළඹ නිර්මාණය කරන්න. ඔබේ ආදරණීයයන් පුදුම කිරීමට සහ වටිනා ත්‍යාගයක් ඒ තුළ සඟවා දීමට හැකි අගනා නිමැවුමකි. මෙයින්ම පුංචි ස්වයං රැකියාවකට අඩිතාලම දමා ගන්න අදම පියවර තබන්න.
 

අවශ්‍ය අමුද්‍රව්‍ය

 

* අඟල පළල රිබන් යාර 20ක් (මල් 20ක් සාදා ගැනීමට එක මලකට එක යාරයක් අවශ්‍ය වේ.)

* බාබක්‍යු ස්ටික්ස් 20ක්

* සෘජුෆෝම් හෝ ප්ලාස්ටික්, කාඩ්බෝඩ් හෝ පෙට්ටි 2ක් (දුරකතනයක් හෝ චොකලට් හෝ වෙනත් ඔබේ තිළිණය රැඳවීමට)

* මල් කළඹ එතීමට අලංකාර දවටනයක් (wrapping paper)

* ග්ලූ ගන් සමඟ ස්ටික්ස්

* කතුරක්

* සෙලෝටේප් 

නිර්මාණය කිරීම

පළමුව මල් පෙති සාදා ගන්න. එක මලකට පෙති 15ක් අවශ්‍ය වේ.

එක මල් පෙත්තකට සෙන්ටිමීටර් 8 පමණ දිගකින් යුතු රිබන් කොටසක් කපා ගන්න.

රිබන් කොටස්වල කොන් නවා ග්ලූ ගන් එකකින් අලවා ගන්න.

ඉන්පසු පෙත්තෙන් පෙත්ත සිටින සේ එකට පෙති 15ක් අලවා ගන්න. මැදට බාබක්‍යු ස්ටික්ස් එකක් තියා ග්ලූගන් එක ආධාරයෙන් මලක් සෑදෙන ලෙස රෝල් කරන්න.
 

එසේ මල් 20ක් සකසා ගන්න.

පසුව දමන තිළිණයට ගැළපෙන ලෙස කාඩ්බෝඩ්, ප්ලාස්ටික් හෝ සෘජුෆෝම් ‍ෙපට්ටි 2ක් සකසා ගන්න. එක පෙට්ටියක් ඇතුළට අනෙක් පෙට්ටිය රිංගවීමට හැකි වන ලෙස එක පෙලට්ටියක් අනෙකෙන් තරමක් විශාල විය යුතුය. 

කුඩා පෙට්ටියේ ඉහළ දාරයට බාබක්‍යු ස්ටික්ස් තුන කපා මල් තුනක් අලවාගෙන වටේ දාරයේ රිබන් එකක් අලවා ගන්න. අනෙක් සියලුම මල් විශාල පෙට්ටිය වටේට, පෙට්ටිය වැසෙන සේ අලවා ගන්න.
 ඉන් පසුව මල් සියල්ලම මල් කලඹක් සේ සිටන ලෙස දවටනයකින් (wrapping paper) අලංකාර ලෙස සකසාගන්න. 

උපදෙස් - ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී 
ශලිනි ඇවෙන්ජලීන්