කෝවිඩ් සමඟින් ඔබ හමුවන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ CBRNE හි සෙබළියෝ

මාර්තු 10, 2021

සියුමැලි සුකොමළ බව මඳකට පසෙක ලා ඔවුන් රාජකාරියේ යෙදෙන අන්දම හරි අපූරුය. මේ යුවතියන් ඇඟලා සිටින නිල ඇඳුම මහත් වූ අභිමානයක් ගෙන දෙන්නකි. එහෙත් පැලඳ සිටින මුඛ ආවරණය මෙන්ම කරේ එල්ලා සිටින උපාංග බරින් වැඩිය. ඒ මුඛ ආවරණය පැලඳ සිටිය හැකිවන්නේ උපරිම විනාඩි 45 ක් පැයක් වැනි කාලයකි.

 

ගුවන් හමුදාව නියෝජනය කරන මොවුන් කවුරුන්ද? කෝවිඩ් වසංගතයත් සමඟින් කලඑළි බැස සිටින ඔවුන්ගේ තේජාන්විත බව පසුගිය දා පැවැති 73 වැනි නිදහස් දින සමරු උළෙලේ දී ද දැකගන්නට ලැබිණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළ ස්ථාපිත රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය පක්ෂාංගය - CBRNE (Chemical Biological Radiological and Nuclear Explosive Wing)  නියෝජනය කරන ඔවුන් පිළිබඳ ඔබ දැන සිටිය යුතුමය. මන්ද කෝවිඩ් වසංගතයත් සමඟින් ඔවුන් කරනා මෙහෙවර කෙසේවත් ම ලඝුකොට සැලකිය නොහැකි නිසාය.

2016 දී ආරම්භ කළ මෙම පක්ෂාංගය කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලික කඳවුරෙහි පිහිටා ඇති අතර මේ වන විට නිලධාරින් 5 ක්, එක් නිලධාරිනියක් හා සෙසු නිලයන් 140 කින් සමන්විත ය. එහි පළමු අණදෙන නිලධාරියා වන විංග් කමාන්ඩර් නිලේන්ද්‍ර පෙරේරා මේ දක්වා ම එහි අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරයි.

කෝවිඩ් 19 වසංගත පාලනයට හා නිරෝධායන කටයුතු සඳහා පූර්ණ දායකත්වය ලබා දෙන ඔවුන්ගේ සේවය පළමුව කැපී පෙනුණේ වූහාන් නගරයේ සිරවී සිටි සිසුන් 33 දෙනකු මෙරටට රැගෙන ඒමේ සුවිශේෂී මෙහෙයුමත් සමඟිනි.

 

CBRNE කාන්තා නියෝජනය

ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර වශයෙන් ඇතිවිය හැකි රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීල න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය ව්‍යසන අවස්ථාවක දී ජීවිත හා දේපළ බේරා ගැනිම සහ ඊට ප්‍රතිචාර දැක්වීමේ මෙහෙයුම්වලදී කාන්තා නියෝජනය අත්‍යවශ්‍ය එකක් බවට පත් විය.

කෝවිඩ් 19 වසංගතය පැතිර යෑමත් සමඟ එම වෛරසය ව්‍යාප්තිය අවම කරලීම සඳහා නිරදූෂණය ක්‍රියාවලිය  (Decontamination) හඳුන්වා දෙන ලදී. කාන්තාවන් නිරදූෂණයේ දී ඔවුන්ගේ ආරක්ෂාව හා පෞද්ගලිකත්වය රැකෙන පරිදි අවශ්‍ය කටයුතු කරගෙන යෑමට CBRNE  වෙත කාන්තාවන්ගේ අවශ්‍යතාව දැනෙන්නට විය.

 

පුහුණු පාඨමාලා

වත්මන් ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ගේ සෘජු අධීක්ෂණය යටතේ  CBRNE  පක්ෂාංගයේ අණදෙන නිලධාරි විංග් කමාන්ඩර් නිලේන්ද්‍ර පෙරේරා ඇතුළු උපදේශකවරුන් ප්‍රථම හමුදාමයCBRNE කාන්තා ප්‍රතිචාර දක්වන්නන් (First Lady Responders) පුහුණු කරන ලදී. මෙම පාඨමාලාව එක් නිලධාරියෙක් (Flying officer) හා ගුවන් කාන්තාවන් (Air Women) 09 දෙනකු සාර්ථක ව පුහුණුව අවසන් කරන්නට විය.

CBRNE මූලික පුහුණු පාඨමාලාව, CBRNE උසස් පුහුණු පාඨමාලාව, බෝම්බ නිශ්ක්‍රීය ක්ෂේත්‍රය පිළිබඳ වූ පාඨමාලාව, විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රවාහනය හා එහි ආරක්ෂාව පිළිබඳ වූ පාඨමාලාව, ගුවන් හා නාවික ක්ෂේත්‍රවල අන්තරායක භාණ්ඩ ප්‍රවාහනය හා ගබඩාකරණය සඳහා වූ පාඨමාලාව, ගිනි නිවාරණය පිළිබඳ පාඨමාලාව, IAEA, OPCW  යන සංවිධානය සමඟ එක්ව සිදුකරන ජාත්‍යන්තර ප්‍රායෝගික අභ්‍යාස යනාදිය ලෙස වසර එකහමාරක කාලයක් පුහුණු පාඨමාලා හදාරයි.

 

 

ක්‍රියාන්විත සේවයේ

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ, මත්තල ගුවන් තොටුපළ IAEA, OPCW මූලික කරගනිමින් රට තුළට පැමිණෙන හා රට හරහා ගමන් ගන්නා කාන්තා ගුවන් මගීන් නිරදූෂණ ක්‍රියාවලියට යොමු කිරීම හා අධ්‍යයන කටයුතු සිදුකරගෙන යෑමට මොවුන් සෘජු දායකත්වයක් ලබා දෙන්නේ මහඟු කැපකිරීමකිනි. මීට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන සඳහා මෙම කාන්තාවන් රාජකාරි කටයුතු නියැළෙනු දක්නට ලැබේ.

රටට හෝ ගුවන් ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමින් රසායනික, ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ව්‍යසනයක් සිදුවන ඕනෑම අවස්ථාවක දී එය වැළැක්වීමට, හානිය අවම කිරීමට එවැනි විටකදී කාන්තා කටයුතු සම්බන්ධයෙන් ආරක්ෂාව හා පෞද්ගලිකත්වය රැකීම සඳහා මොවුන් සැමවිටම සූදානමින් සිටියි.

CBRNE බලගණය හා එක්වීමත් සමඟින් තම රැකියාවේ වටිනාකම දෙගුණ තෙගුණ කරලන්නට හැකියි. ඔවුන් දේශීයව ලබන පුහුණුවට අමතරව ස්විට්සර්ලන්තය, සර්බියාව, නෝර්වේ, බංගලාදේශය, පකිස්ථානය, චෙක් ජනරජය, දකුණු කොරියාව, ඇමෙරිකාව ආදී රටවල විදෙස් පුහුණුව ලබයි. මේ දිනවල එය ඔන්ලයින් ක්‍රමයට සිදුවන්නේ කෝවිඩ් වසංගතයත් සමඟිනි.

සේවා කාලය නිම වූවාට පසුව වුවත් ඔවුන් හැදෑරූ පාඨමාලාව ජාත්‍යන්තරව ද මනා පිළිගැනීමක් ඇති එකක් නිසා මෙරට පමණක් නොව ලොව ඕනෑම රටක වෘත්තිමය අවස්ථාවන් සඳහා දොරගුළු විවර වනු ඇත.

කාන්තාවන් ලෙස මොවුන් නිරතව සිටිනුයේ ඉතාමත් අවධානමක් සහිත රාජකාරි පසුබිමකය. එහෙත් ඔවුන් ලබන මනා පුහුණුවත් සමඟ එහි ඇති ගුණාත්මක බව නිසාම එවන් කිසිදු හානියක් නොවන ලෙසට තම රාජකාරියේ නියැළීමට හැකිවී තිබේ. මෙය කාන්තාවකට ලැබිය හැකි මහඟු අවස්ථාවක් මෙන්ම විරල අවස්ථාවක් ද බව පැවසීම අතිශෝකිතයෙන් යුතු වූවකි.

ඉතාම ඉහළ ශාරීරික හා මානසික යෝග්‍යතාවක්, දරා ගැනීමේ හැකියාව ඉහළම මට්ටමක තිබීම රාජකාරිය පසෙක ලා සාමාන්‍ය ජීවන රටාවේ නියැළෙද්දී වුව ඔවුන්ගේ ජීවිත ඉහළින් ම ඔසවා තබයි.

දැනට ලංකාවේ සහ මෙරට ගුවන් හමුදාවේ CBRNE සිටින පළමු සහ එකම කාන්තා නිලධාරිනිය, මොනාලි සමරකෝන් ය. ගුවන් හමුදාවට අනුව ඇය Flying Officer  සමරකෝන්ය. තවමත් 26 වන වියෙහි පසුවන ඇය යටතේ ගුවන් කාන්තාවන් නව දෙනකු සිටියි.

මහනුවර කටුගස්තොට පදිංචි මහනුවර උසස් බාලිකා විදුහලේ ඉගෙනුම ලැබූ ඇය කුඩා කාලයේ් පටන් ම ගුවන් හමුදාවට එක්වීමේ ආසාවෙන් සිටි තැනැත්තියකි. වයස අවුරුදු 12 දී පියා මිය යෑමත් සමඟින් ඇය මව සහ වැඩිමල් සොයුරා හා එක්ව කාලය ගත කරයි. නෙට්බෝල් ක්‍රීඩාවේ ශූරතා ගෙන දෙන්නියක වූ මොනාලි ජාත්‍යන්තර තරගවලට පවා සහභාගි වී තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදා නෙට්බෝල් කණ්ඩායමට තිබූ පිළිගැනීමත් සමඟින් ඒ හා එක්වීමට ලොබ බැඳගන්නට විය. 2016 වසරේදී කැඩෙට් නිලධාරිනියක ලෙසින් එක්ව හමුදා පුහුණුවීම් නිමාවත් සමඟින් විසිර යෑමේ (Commissioning Parade) උත්සවය පැවැත්විණි.

ඒ සමඟම කෝවිඩ් වසංගතයත් පැතිර ගියෙන් CBRNE  හා එක්වීමට අවස්ථාව ලැබිණ. කෝවිඩ් 19 සඳහා මුහුණ දෙන්නේ කෙසේද, ඉන් ආරක්ෂාවන්නේ කෙසේද ආරක්ෂිත ඇඳුම් කට්ටල (ර්‍ථර්‍ථඡ්) ඇඟලන්නේ කෙසේද යනාදිය කෙරෙහි පුහුණුව ලබා වූහාන් මෙහෙයුමට එක් විණි. ඒත් සමඟින් CBRNE  පුහුණු පාඨමාලා ඇතුළු ඊට අදාළ සියලුම පාඨමාලා හදාරන්නට විය.

මෙම වටිනා අවස්ථාව ඔවුනට ලබාදීම වෙනුවෙන් වත්මන් ශ්‍රී ලංකා ගුවන්හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ. භූමි මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් සී. බී. ලැබ්‍රොයි, දක්ෂිණ ගුවන් ආඥාපති කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් ආර්. ඒ. යූ. පී. රාජපක්ෂ, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එම්. ඩී. ජේ. වාසගේ, CBRNE  පක්ෂාංගයේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් නිලේන්ද්‍ර පෙරේරා යන අය මූලිකත්වය දැරිය. ඒ අනුව CBRNE  සඳහා පළවෙනි ප්‍රතිචාර දක්වන්නියන් Female first responders)  ගුවන් හමුදාවට අත්‍යවශ්‍ය බව ඒත්තු ගැන්විණි.

කටුනායක ගුවන් තොටුපළේ දී මොවුන් විශාල කාර්යභාරයක නියැළෙන්නේ උපරිම කැපකිරීමක් ද සමඟිනි. එහි විසබීජහරණ ක්‍රියාවලිය හා ගුවන් යානා කිහිපයක්ම මෙරටට පැමිණෙද්දී ඒත් සමගින් පැමිණෙන කාන්තා මගීන් අධීක්ෂණය විසබීජහරණ ක්‍රියාවලිය යටතේ අධීක්ෂණය කිරිමට වරකට එක් ගුවන් කාන්තාව බැගින් යොදවයි. මේ දිනවල සාමාන්‍යයෙන් ගුවන් යානා 3 ක් පමණ මෙරටට පැමිණේ. එක් ගුවන් යානාවක මෙහෙයුමක් වෙනුවෙන් පැය 3½ - 4ක පමණ කාලයක් ගතවේ. පැමිණෙන මගින් සංඛ්‍යාවත් සමඟින් එය අඩුවැඩි වේ.

මත්තල ගුවන් තොටුපලේ ගුවන් කාන්තාවන් දෙදෙනකු, ඉරණමඩු හි ගුවන් හමුදාව මෙහෙයවන කෝවිඩ් මධ්‍යස්ථානයේ ගුවන් කාන්තාවන් දෙදෙනකු වශයෙන් සේවයේ යොදවා ඇත.

සාමාන්‍ය මුඛ ආවරණයක් පලඳිද්දී වෙනදාට වඩා ආයාසයකින් ආශ්වාස ප්‍රාශ්වාස කළ යුතුයි. මොවුන් පලඳින්නේ ගෑස් මුඛ ආවරණයි. එය පැලඳ සිටිය හැකිවන්නේ උපරිම පැය 3½ ක වැනි කාලයකි.

ගුවන් හමුදාව නමැති රාමුව ඇතුළත විශාල වටිනාකමක් ඇති පුහුණු පාඨමාලාවක් සමඟින් CBRNE  හා එක්විම සම්බන්ධයෙන් මෙහි සිටිනා සියලුම කාන්තාවන්ට ඇත්තේ මහත් වූ අභිමානයකි. ව්‍යායාම් කිරීම සඳහා දවසේ වේලාවන් දෙකක් වෙන්වන අතර එය සිදුකරන්නේ ගෑස් මුඛආවරණය පැලඳගෙනයි. මේ නිසා නොදැනුවත්වම ඒ සඳහා හුරුවෙයි. දරාගැනීමේ හැකියාව උපරිමයෙන් ම ප්‍රගුණ වේ.

CBRNE  හි සිටින අත්දැකීම් බහුල සේවා කාලය වැඩි ගුවන් කාන්තාව කෝප්‍රල් අනුපමා සේනාරත්න යි. පමුදිනි ජයවර්ධන, පූර්ණිමා කුලසේකර, අනෝජා කුමාරි, දිලේෂා කුලසූරිය, ගහානි බුෂාරා, ඉනෝකා විජේවර්ධන, හිරුණිකා වැරණියගොඩ, බිඟුනි අල්විස් CBRNE  සිට කෝවිඩ් 19 හමුවේ තම දහඩිය මහන්සිය හෙළමින් නොමසුරු රාජකාරියක යෙදෙන ගුවන් කාන්තාවන් නමදෙනාය.

තවමත් තාරුණ්‍යයේ පසුවන මොවුන් සියලු දෙනා අවිවාහකයින් ය. දින 45 කට වරක් දින 10 ක නිවාඩුවක් ලැබ ගම්පියස වෙත යෑමට ඔවුන්ට අවසර ලැබේ.

මොවුනට ගුවන් හමුදාවෙන් පෝෂණයෙන් ඉහළ ආහාරවේලක් ලැබේ. මීට අමතරව කෝවිඩ් වසංගතයත් සමඟින් ඔවුනට අවශ්‍යවන සියලුම දෑ කිසිදු අඩුපාඩුවකින් තොරව ලැබේ. දුෂ්කර රාජකාරිය නියැළුණ ද ඔවුන් බෙහෙවින් ම තෘප්තිමත් ය.

ගුවන් හමුදාවේ සියලුම නිලධාරින්, පක්ෂාංගයේ සියලුම නිලධාරීන්ට CBRNE  කාන්තා ප්‍රතිචාර දක්වන්නියන් Female First Responders) කෘතගුණ දක්වන්නේ හෘදයාංගම සිතිනි.

වෘත්තිමය වශයෙන් වටිනාකමක් ගෙන දෙන කාන්තාවන් සමඟ නිරතුරුව අත්වැල් බැඳ සිටින තරුණි ඔවුන් පසුපස හඹා යන්නේ ඔවුන්ගේ සේවය අගයන්නා සේ්ම ඔවුන්ගේ ජීවිත වලින් ලද හැකි ආදර්ශයන් සෙසු කාන්තාවන් අතරේ ද හුවමාරු කරලනු වස්ය.

කෝවිඩ් සමයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ CBRNE  විරවරියන් වන ඔබ සැම ඔබේ සේවය රටට අත්‍යවශ්‍ය මොහොතකදී ලබා දෙමින් කරනා මෙහෙවර කාන්තා පුවත්පතක් ලෙසින් අපි ද වෙසෙසින්ම අගයන්නෙමු.

විශේෂ ස්තූතිය
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එම්. ඩී. ජේ. වාසගේ, CBRNE  පක්ෂාංගයේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් නිලේන්ද්‍ර පෙරේරා

 

 

 

ඡායා - ශාන් රූපස්සර