කවුද මේ බ්ලැක් පින්ක්?

නොවැම්බර් 22, 2021

 

බාලවයස්කාර දැරියන් තිදෙනකුගේ කතාවත් සමඟ කරලියට ආ බ්ලැක්පින්ක් කුමක්දැයි බොහෝදෙනා විමසති. blackpink කියන්නේ ජිසෝ, ජෙනී රෝස් හා ලලීසා කියන තරුණියන් හතරදෙනාගෙන් සමන්විත දකුණු කොරියානු සංගීත කණ්ඩායමක්.

ජිසෝ, ජෙනී හා රෝස් දකුණු කොරියානු තරුණියන්. ලිසා තායිලන්තයෙන් දකුණු කොරියාවට පැමිණි තායි තරුණියක්. යෞවන වයසේ මේ තරුණියන් හතර දෙනා 2016 වසරේ දී ආරම්භ කළ මේ සංගීත කණ්ඩායම අද ළමා ලෝකයේ හා තරුණ තරුණියන් අතර උන්මාදයක් බවට පත්ව තිබෙනවා. රැප් සංගීතයෙන් ගී ගයමින්, නටමින් මේ කණ්ඩායම සංගීත ලෝකය උඩුයටිකුරු කළ බවයි ලෝකයා කියන්නේ. දකුණු කොරියාවේ කාන්තා සංගීත කණ්ඩායමක පිටපත් මිලියන ගණනින් විකිණී අංක එකට පැමිණී ප්‍රථම අවස්ථාව මෙයයි. යූටියුබ් නාලිකාව හරහා ලෝකය පුරා ව්‍යාප්තව ගිය මේ උන්මාදය අද අපේ රටේ දූදරුවන් අතරේත් බෙහෙවින් ජනප්‍රිය වී තිබෙනවා.

මිලයන 69කට අධික පිරිසක් බ්ලැක්පින්ක් යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කිරලා තියෙනවා. ඒකෙන්ම ඔවුන්ගේ ජනප්‍රියත්වය කොතරම්දැයි හිතාගන්න පුළුවන් නේද? ඔවුන්ටම වෙන්වූ රූපවාහිනී වැඩසටහන් තියෙනවා. මේ මඟින් මේ හතර දෙනා නිදහසේ ලොව වටා ඇවිදිමින් කමින් බොමින් ප්‍රීතියෙන් කල්ගෙවන ආකාරය පෙන්වනවා. යූටියුබ් නාලිකාව හරහා මෙන්ම ඔවුන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවට පිවිසීමෙන් බොහෝ දරුවන් මේ අයගේ හැසීරීම්, කන බොන, අඳින පලඳින ආකාරය අනුකරණය කරන්න පෙළඹෙනවා.

ඔවුන්ගේ සංගීතයෙන්, ගායනයෙන්, නැටුමෙන් පමණක් විනෝද වන්නට අපේ දූදරුවන් සැලකිලිමත් විය යුතුයි.

 

පාලිකා

කොරියන් Black Pink උමතුව හැදුණු දැරියන්ගේ සත්‍ය කතාව

කොරෝනා අපට බොහෝ පාඩම් කියා දී තිබේ. නවීන තාක්ෂණය හා සන්නිවේදනය කුඩා දරුවාට පවා හුරුවීමට කාලය උදා විය. ජංගම දුරකතනය, පරිගණකය යන උපකරණ සමඟ ගනුදෙනුව නොමැතිව තම අධ්‍යාපන කටයුතු කරන්නට නොහැකි පසුබිමක අකැමැත්තෙන් හෝ ජංගම දුරකතනයක් තම දරුවන්ගේ අතට දෙන්නට මව්පියන්ට සිදුවිය.

තම සීමාව තුළ හිඳිමින් මේ උපකරණ භාවිතය පිළිබඳ බොහෝ මව්පියන්ට තිබුණේ ආධුනික දැනුමකි. මේ දුරකතන භාවිතයේදී තාක්ෂණික දැනුම නොතිබීම ද විශාල අර්බූදයකි. මේ සියලු අභියෝග හමුවේ ඇතැම් මව්පියන්ට තහනම් දැමීමට නොහැකි විය. ඇතැම් විට එය තම සමාජ සංස්කතිය අභිබවා යන තරමට ප්‍රබල වූයේ තම දරුවන්ට තිබු ආදරය නිසාය. එහෙත් එම සමාජ සංස්කෘතික සම්ප්‍රදායන් බිඳගෙන ලෝකය දකින්නට කුතුහලයෙන් සිටි දරුවන්ට මෙය අරුමයක් විය. එලෙසින් ලෝකය දුටු දරුවන් එම සිහින දකිමින් ඒවා සැබෑ කරගන්නට සිහින හඹායන්නට තරම් ප්‍රබල වූයේ කිසිවකුත් නොසිතූ ලෙසිනි.

පසුගිය සතියේ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් අසන්නට ලැබුණේ ද එවැනි සිදුවීමකි. මෙම සිදුවීමට මුල් වන්නේ යොවුන් වයසේ මුස්ලිම් ගැහැනු දැරියන් තිදෙනෙකි. මුස්ලිම් සම්ප්‍රදායට හැදී වැඩුණු මේ දැරියන් තිදෙනාගෙන් දැරියන් දෙදෙනෙක් එකම පවුලකය. ඔවුහු කොළඹ මුස්ලිම් පාසලක අටවැනි ශ්‍රේණියේ සහ දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබති. අනක් දැරිවිය ද ඔවුනගේ ඥාති සොහොයුරියකි. ඇය ද අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය. මේ දැරියෝ තිදෙනා තම නිවෙසින් හොර රහසේ පැන ගියේ පසුගිය 08 වැනිදා උදෑසනය. එසේ ඔවුන් පැන යන්නේ ඔවුන් නිරන්තරයෙන් මුහුණුපොතේ දකින යූටියුබ් මගින් අසන නරඹන කොරියාවේ Black Pink නම් දක්ෂ ප්‍රසිද්ධ රංගන ශිල්පීන් හතරදෙනාගේ නර්තනය සහ ගායනය හැදෑරිමේ ආසාවෙනි. මේ නැටුම් නැරඹීම පිළිබඳ ඔවුන්ගේ මව්පියන්ගේ දැඩි විරෝධය එල්ල වී තිබුණේ එය ඉස්ලාම් ආගමික සම්ප්‍රදාය අනුව සිදු නොකළ යුත්තක් ලෙස සලකමිනි. ඔවුන් මෙලෙසින් නිවෙසින් පලා යන්නේ මව්පියන් ඔවුන්ගේ නිදහස අහිමිකිරීම පිළිබඳ තිබූ වෛරය පිරිමැසීමේ අපේක්ෂාවෙන් බව ඔවුන් පවසා තිබිණි.

කෙසෙල්වත්තේ පදිංචි මොහොමඩ් අබුබක්කර් රියාෆ් මහ වැස්සේ තෙමීගෙන කඳුළු පිරි දෙනෙතින් පසුගිය 9 වැනිදා කෙසෙල්වත්ත පොලීසියට පැමිණියේ දෙලොවක අතරමංවය. “සර් මගේ දරුවෝ දෙන්නා.... අනේ සර්... ඒ දෙන්නා තාම ආගිය අතක් නෑ සර්.... මගේ නංගිගේ දුවත් ඊයෙ ඉඳන් කොහේ ද නෑ සර්...“ ඔහුගේ දුක වාවාගන්නට බැරි තරම්ය. මේ පිළිබඳ පොලීසිය වහා ක්‍රියාත්ක විය. එම නිවෙස පිහිටි කෙසෙල්වත්ත මාරිය වීදියේ අසල පිහිටි C. C. T. V. කැමරා පරීක්ෂා කළේය. එහිදී ඔවුන්ට දැකගත හැකිවූයේ දැරිවියන් තිදෙනා තම ඇඳුම් බෑග්ද රැගෙන පළා යන ආකාරයයි.

පසුගිය 8 වැනිදා උදෑසන 5.00 ට අවදි වූ අබුබක්කර් සහ බිරිය සහ දරු දෙදෙනා දෙවියන් නැමැදීම කළේ සුපුරුදු දින චරියාවක් ලෙසිනි. ඉන්පසුව අබුබක්කර් තම පුරුදු ත්‍රීවිල් රැකියාව සඳහා නිවෙසින් පිටවිය. එදින ගම්පොළ ඥාති දැරිවිය ද නිවෙසේ විය. උදෑසන 7 වනතුරු ද නිවෙසේ සිටි දැරියන් උදෑසන 8 වන විට කාමරයෙන් අතුරුදන් විය. ඔවුන් ගැන සවස්වන තෙක්ම හෝඩුවාවක් නොමැති විට මව්පියන්ට දෙළොව රත් විය. පසුදා වෙනතුරුම දරුවන් නොපැමිණි පසු පියා පොලීසියට දිව ආවේ අන්ත අසරණවය. දරුවන් සෙවීම සඳහා බුද්ධි අංශ හා අපරාධ විමර්ශන හා විශේෂ අපරාධ විමර්ශන ඒකකයන් වහා ක්‍රියාත්මක විය. එහෙත් පොලිසියට CCTV දර්ශන හැර කිසිම තොරතුරක් නොවීය.

ඔවුන් පළමුව කොළඹ රථ වාහන මූලස්ථානය අසලින් විහාරමහාදේවි උද්‍යානයට ගොස් නැවත පිටකොටුවට පැමිණ ආහාර අනුභව කරයි. ඉන්පසු ඔවුන් යන්නේ රන් බඩු උකස් ගන්නා ස්ථානයකටය. එහිදී ඔවුන් අත රැඳි මුදු තුනක් උකස් කර රුපියල් හැට දහසක් ලබා ගනියි. දැන් ඔවුන්ට යහමින් මුදල් ද වෙයි. ඉන්පසු ප්‍රසිද්ධ රෙදි සාප්පුවකට ගොස් කොරියානු සංගීත සහ නර්තන කලාවට ආවේනික ඇඳුමින් සැරසෙන්නේ සම්ප්‍රදායික පර්දාව ගලවා දමමිනි. ඔවුන්ගේ ඊළඟ ඉලක්කය මේ කොරියන් නැටුම් පුහුණුවන ස්ථානයක් සොයා ගැනීමය. කිසිම අරමුණක් නොමැතිව සවස පිටකොටුව බැස්ටියන් මාවතට එන දැරියන් අනුරාධපුරය දක්වා ගමන් අරඹයි. දැන් දැරියන්ගේ අරමුණ නැවතීමට තැනකි. ඔවුන් අසල සිටි වැඩිහිටියකු සමඟ කතා බහට වැටෙයි. එය බසයේ කොන්දොස්තරට සැකයකි. ඔහු මේ දෙස විමසිල්ලෙන් බලා සිටියේ කුමක් සිදුවන්නේද යන්න හොඳින් නිරීක්ෂණය කරමිනි.

මධ්‍යම රාත්‍රිය වන විට බසය අනුරාධපුරයට ළඟා විය. දැරියන් අතරමං වී ඇති බව දැනගත් කොන්දොස්තර දැරියන් නැවතත් කොළඹට නංවා ඇත්තේ මන්නාරමේ සිට එන බසයකිනි. එහිදී මේ දරුවන්ට අතරමඟ බසින්නට නොදෙන ලෙස ද ඔහු බසයේ කොන්දොස්තරට පවසා ඇත්තේ දරුවන්ට නොහැඟෙන ලෙසිනි. බසය කොළඹට ළඟාවෙන විට හිරු උදාවී තිබුණි. දරුවන් බසයෙන් බැස නැවතත් විහාරමහා දේවි උද්‍යානයට යයි. එහිදී මුහුණ කට සෝදා නැවතත් ත්‍රීරෝද රථයක නැඟී පැමිණෙන්නේ කොළඹ මාර්ක් වීදියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාලයටය. ඒ විපක්ෂ නායකයා හමුවී කොරියන් නර්තනය හා සංගීතය ඉගෙන ගන්නා ස්ථානයක් දැන ගැනීමටයි. ඔවුන්ගේ මැදිහත්වීමෙන් මෙය ඉගෙනගැනීමට හැකි වෙතැයි විශ්වාස කර එහි ගියත් ඔහු එහි නොසිටි නිසා බිඳ වැටුණු අපේක්ෂාවෙන් නැවතත් ඔවුන් හෝටලයකට යන්නේ නවාතැන් ගැනීමටය. එහෙත් බාල වයස්කාර දරුවන් නිසා ඔවුන් භාර නොගන්නා අතර නැවතත් ඔවුන් මහ මඟට පිවිසෙයි. එහෙත් ඔවුන් උත්සාහය අත් නොහරියි.

දැන් දරුවන් පිටත් වන්නේ නුවර නගරයටයි. සවස 1.20 ට පමණ පිටත්වන ඔවුන්ට නුවරට ළගාවීමට නොහැකි වන්නේ පෙරදා ඇදහැළුණු වර්ෂාව හේතුවෙනි. බසයේම රාත්‍රීය ගතකළ දරුවන් රාත්‍රී 9.30 ට පමණ නැවතත් තම නිවෙසට පැමිණෙන්නේ වියදමට අතේ මුදල් ද සිඳී ගිය පසුය.

 

 

*********************************

දැරියන් බේරාගත් කොන්දොස්තර කියන ඇත්ත කතාව

දරුවන් තිදෙනා කිසිම කරදරයක් නොමැතිව නිරුපද්‍රිතව නිවෙසට පැමිණීම වාසනාවකි. එසේ ඔවුන් ආරක්ෂිතව නිවෙසට ඒමට හැකිවූයේ එදා අනුරාධපුරය බසයේ සේවය කළ බස් කොන්දොස්තර ප්‍රියන්ත කුමාරගේ දුර දක්නා නුවණින් ක්‍රියා කිරීම හේතුවෙනි.

අසරණව සිටින්නේ තම සොයුරිය, දියණිය වැනිම වූ තවත් එක් අහිංසක ජීවිතයක් බව අමතක කර ලැබෙන පුංචි හෝ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන තම කාම පිපාසාව සංසිඳවාගන්නට උත්සාහ කරන ඇතැමකු අතරේ උතුම් මිනිසත්කමින් පිරුණු පුද්ගලයන් සිටීම සැබැවින්ම අපේ වාසනාවකි.

ඊළඟ මොහොතේ කුමක් සිදුවේදැයි නොසිතන ඇතැම්විට හිරේ විලංගුවේ වැටීමට හෝ ජීවිතයක් වන්දි ගෙවීමටත් සමාජයෙන් නින්දා අපහාස ගැරහුම් ලැබෙන බව නොසිතන මිනිසත්කමට නිගාදෙන මිනිසුන් අතරේ ප්‍රියන්ත වැන්නවුන් අගය කළ යුතුය. පැසසිය යුතුය.

ඊළඟ නිමේෂයේ මේ මල් කැකුළුවන් දැරියන් කාගේ හෝ කාම ගොදුරක් බවට පත්විය හැකි බව දුරදිග දක්නා නුවණින් කල්පනා කර ක්‍රියාත්ක වීම මොන තරම් ප්‍රසංශා කටයුතුද? ඉතාම භයානක සංකීර්ණ සමාජයක මෙවැනි උතුම් මිනිසුන් සිටීම ද පුදුමයකි. ඔහු එදින ආදරණීය පියකු ලෙස මේ දරුවන් නැවත හරවා නොඑවන්නට මේ සටහන අපට තබන්නට වන්නේ ඉතාම කණගාටුදායක පුවතක් ලෙසින් විය හැකියි. එලෙසින් මේ දරුවන් රැක ගැනීමට මැදිහත් වූ ඒ කොන්දොස්තර මහතා අප හමුවී ඔහුගෙන් එදින වූ සිද්ධිය අප දැනගත්තේ මෙලෙසිනි.

“එදා දිනය 8 වැනිදා. අප 5.30 තමයි අනුරාධපුරයට පිටත් වෙන්න තිබුණෙ. අපි බස් එක මගින් ලෝඩ් කරනකොට කෙට්ටු මනුස්සයෙක් ගෑනු ළමයි තුන්දෙනෙක් එක්ක අපේ බස් එක ගාවට ඇවිත් කිව්වා මේ දරුවෝ අනුරාධපුරයට යන්නේ. ඒ අය අනුරාධපුරෙන් දාන්න. මෙයාලා අනුරාධපුරය බලන්න යන්නේ“ කිව්වා. මං නඟින්න කිව්වාම ඒ දරුවෝ තුන්දෙනා නැඟලා හාමුදුරුවරු වාඩිවෙන මුලම (පූජ්‍ය පක්ෂය සදහා වෙන්කළ) සීට් එකේ වාඩිවුණා. තුන් දෙනා කැප් තොප්පි දාලා, අමුතු ක්‍රමයකට තමයි ඇඳුම් ඇඳලා හිටියේ. මං කිව්වා, පුතේ ඔය සීට් එකේ වාඩි වෙන්න එපා. හාමුදුරු නමක් නැග්ගොත් ඔයාලාට නැඟිටින්න වෙනවා. ඒ නිසා පස්සේ සීට් එකක ඉඳගන්න කියලා. ඉන්පස්සේ තුන්වැනි සීට් එකේ දරුවෝ තුන්දෙනා වාඩිවෙලා ගියා. අනුරාධපුරයටම ටිකට් ගත්තා. මඟදී තේ බොන කඩෙන් තේ බොනවත් මම දැක්කා.“

“අපි අනුරාධපුරයට යන්නේ කැකිරාවෙන් තලාව පාරේ. මේ පාර ටිකක් පාළුයි. තලාව කිට්ටුවේදී ළමයි බය වෙලා කලබල වුණා. මේ ලස්සන ළමයි දිහා බස් එකේ අය බලන්න ගත්තා. එතැන හිටපු කෙනකුට කියලා තියෙනවා. අපට යන්ට තැනක් නෑ. රෑට ඉන්න තැනක් හොයලා දෙන්න කියලා. මේ මනුස්සයා කියලා අපේ ගෙදර දුවයි මගේ නෝනයි ඉන්නේ.... අද රෑ අපේ ගෙදර ඔයාලාට එක්ක යන්නම් කියලා. උදේ ඔයාලා අනුරාධපුරේ යන්න කියලා. ඊට පස්සේ අනුරාධපුරයට කිට්ටු වෙනකොට මං ඇහැව්වා මොකද පුතාල කරන්නේ කියලා. ඇත්තටම මේ දරුවෝ ටිකට් ගත්තේ අනුරාධපුරයට. මම අනුරාධපුරෙන් දානවා හැර ඊට වැඩිය දෙයක් කරන්න අයිතියක් නෑනේ... මට ඒ මනුස්සයගේ විස්තර ඇහැව්වා. එයා කිව්වා එයාෆෝස් එකෙන් විශ්‍රාම අරගෙන ඉන්න කෙනෙක් කියලා. මම ඇහැව්වා මේ දරුවෝ ඇරගෙන ගිහින් මොකද කරන්නේ කියලා. අපේ ගෙදර මේ වගේ දුවෙක් ඉන්නවා. අද රෑ මේ දරුවෝ ගෙදර තියාගෙන හෙට උදේ අනුරාධපුරයට යවනවා කියලා. මම කිව්වා ඒක හරි යන්නේ නෑ. මේ දරුවෝ අනුරාධපුරයට ගියාට පස්සේ ළමයි කැමැති දෙයක් කරන්න දෙන්න ඕනේ කියලා.

දරුවන්ගෙක් ඇහැව්වා පුතේ මොකක්ද වෙන්න ඕනේ කියලා. අන්කල් දැන් රෑ වෙලා... අපට ඉන්න තැනක් නැති නිසා ආපහු කොළඹ යන්න ඕනේ කියලා. මම ඊට පස්සේ අනුරාධපුරයට ගිහින් සෙනඟ බස්සනකොටම මන්නාරමේ ඉඳන් AC බස් එකක් ආවා. මම ළමයි තුන්දෙනාවම බස් එකට දාලා කොන්දොස්තරට කිව්වා මේ ළමයි තුන්දෙනා කොළඹ යන්නේ. මුකුත් දන්නේ නෑ. අතරමං වෙලා. මඟින් බස්සන්නේ නැතුව කොළඹටම එක්ක යන්න කියලා. මේ දරුවෝ 7.40 උදේ කොළඹින් බැස්සා කියලා ඒ කොන්දොස්තර මහත්තයා මට call එකක් දුන්නා. එතැනින් එහාට මං මොකුත් දන්නේ නෑ. පස්සේ තමයි කෙසෙල්වත්ත පොලීසියෙන් මාව හොයාගෙන ආවේ. ඇත්තටම මේ දරුවෝ ඒ වගේ ආරක්ෂිතව කොළඹටම එව්වේ මමත් දරුවෝ තුන් දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්. මටත් මේ වයසේ දරුවෝ ඉන්නවා. මටත් ඒ වයසේම දුවෙකුත් ඉන්නවා. ඒ නිසා තමයි මේ ගැන තේරුම් ඇරගෙන මම එදා එහෙම කළේ. ඇත්තටම දරුවන්ට අනතුරක් නැතිව ගෙදර එවන්න පුළුවන් වුණු එක ගැන මට ලොකු සතුටක් දැනෙනවා. මම මේ වගේ ලොකු සිද්ධියක් කියලා කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ.“

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.