අනික් දරුවන් තිදෙනාත් ඉක්මනින් ගෙදර ගෙනෙන දවස වෙනකම් අපි ඇඟිලි ගනිමින් ඉන්නවා

සය නිවුන් දරුවන් බිහිකළ වාසනාවන්ත අම්මා පළමු වරට ‘තරුණී‘ට කතා කරයි
නොවැම්බර් 29, 2021

 

මීට මාසයකට පමණ පෙර එනම් පින්බර වප් පොහෝ දා මධ්‍යම රාත්‍රිය වද්දි කාගේත් කතාබහට ලක්වූයේ මෙරට පළමු වතාවට සිදුවූ සය නිවුන් දරු උපත පිළිබඳව යි.

එදා තරුණී පත් ඉරු අතරට ද සය නිවුන් දරුවන්ට ජීවය දුන් විනාඩි දෙකේ වෛද්‍ය මෙහෙයුම මැයෙන් විශේෂාංගයක් එකතු විය. මාසයක කාලයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටි මේ වාසනාවන්ත අම්මා දිලිනි වාසනා සය නිවුන් දරුවන්ගෙන් තිදෙනෙක් සමඟ අයි. ඩී. එච්. ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ රජදහන වෙත පිවිසීම විශේෂ පුවතක් බවට පත් වුණා. සය නිවුන් දරුවන් බිහිවුණු එදා අපත් සමඟ කතාබහට එක්වූයේ මේ රජදහනේ කිරුළුපලන් රජු ප්‍රභාත් උදයංග. අද අපි මේ රජදහනේ රැජන, එහෙමත් නැත්නම් සය නිවුන් දරුවන්ට ජීවය දෙමින් උතුම් මාතෘත්වයේ අභිමානය අප්‍රමාණ ලෙස භුක්ති විඳින ආදරණීය අම්මා දිලිනි වාසනා සමඟින් අසිරිමත් මව් පදවියේ දෝරේ ගලායන සතුට බෙදා ගන්නට සිතුවෙමු.

Dating Scan එකේ ඉඳන්ම සුවිශේෂියි

“පළමු ස්කෑන් එක එහෙමත් නැත්නම් Dating Scan එකේ සිට හැම දවසක් ම අපට හරිම සුවිශේෂි වුණා. අධ්‍යාත්මික ගුණ වගාව වැඩි දියුණු කරමින් ආගමික වතාවත්වල නිරත වුණු අපි ශ්‍රී මහා බෝධියට, රුවන්වැලිසෑයට කිරි ආහාර පූජා කරමින් නිරෝගී දරුවෙක් වෙනුවට‘දරුවෝ‘ ප්‍රාර්ථනා කළා. වාසනාවන්ත පින්වන්ත දරුවෝ හයදෙනෙක්ම මගේ කුස හොයාගෙන ආවේ ඒ නිසා වෙන්නට ඇති. දරුවන්ට ඇති අසීමිත දයාර්ද බව නිසා ම දරුවන් හයදෙනකු පිළිසිඳ ගැනීමේ සතුට නිම්හිම් නැති වුණා. හැමවිටම අපේ සිත්වල තිබුණේ ධනාත්මක සිතුවිලි. මම දරුවන් හයදෙනාම වෙනුවෙන් පේ වුණා. අධ්‍යාත්මික සිතුවිලි අතරම තමයි හිටියේ. රූපවාහිනිය නැරැඹීම අවම කළා. චිත්‍රපට නම් බැලුවෙම නැහැ. වෛද්‍ය උපදෙස් පරිදි ව්‍යායාම් කළා. යහපත් සිතිවිලිවලමයි හිටියේ. පෝෂ්‍යදායි කෑම බීම කෑවා. හැම අම්මකුට වගේ ඇතිවන දොළදුක මටත් ඇතිවුණා. අඹ, කිරිබත් තමයි ආසාවෙන්ම කෑවේ.“

 

ගැබිනි සමයේ වැඩි පෝෂණයක්

සාමාන්‍ය ගැබිනි අම්මෙක් කැලරි 300 - 500 අතර ප්‍රමාණයක් ගනිද්දි ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් දිලිනිට නිර්දේශ කළේ කැලරි 1000 - 1200 අතර ප්‍රමාණයක් ගැනීමට යි. නිවුන් දරුවන් සම්බන්ධයෙන් ම විශේෂිත වු මහාචාර්ය ටිරාන් ඩයස්ගේ ඇප කැපවීම දිලිනිගේත් ප්‍රභාත්ගේත් දරුවන් සය දෙනාගේත් වාසනාවට ම හේතුවක් විය. සාමාන්‍ය ගැබිනි අම්මකුට සති 20 - 24 කාලයේ දී සිදුකරන ඇනොමලි ස්කෑන් එක සය නිවුන් දරුවන් සඳහා කළේ සති 16 දියි. ඒ දරුවන්ගේ අවයව එකින් එකට හොඳින් ම නිරික්ෂණය කළ යුතු නිසාවෙනි. මහාචාර්යවරයා පළමුව අවධානය යොමු කළේ දරුවන්ගේ ඩවුන් සින්ඩ්‍රෝම් හෙවත් මන්ද මානසික බව පිළිබඳ කෙරෙන පරීක්ෂණයටයි. වාසනාවකට ඔවුන් සම්බන්ධයෙන් එවැනි ගැටලු තිබුණේ නැහැ.

සති 29 සිට රෝහලේ

සති 28ක් වද්දි දිලිනි අධි රුධිර පීඩනය තත්ත්වයට ලක් විය. ඒ අනුව මහාචාර්යවරයා තීරණය කළේ සති 29න් ඈව රෝහල්ගත කොට පැය 24 පුරාම වෛද්‍ය අධීක්ෂණය යටතේ තැබීමටයි. ඔක්තෝබර් මස 21 දා ලංකාවේ නිවුන්දරු ඉතිහාසයේ නව පිටුවක් පෙරළුණු දවසයි. ඒ වෙනුවෙන් කණ්ඩායම්, හැඟීමෙන් රෝහල් කාර්ය මණ්ඩලය කළ කැපකිරීම අතිවිශේෂිතයි. දරුවන් බිහි කළයුතු දිනය තීරණය කිරීමත් සමඟින් ඔවුන් දරුවන් සඳහා අනුරූ භාවිත කරමින් පෙරහුරු කිහිපයක්ම සිදු කොට තිබුණි.

 

විනාඩි දෙකේ මෙහෙයුම

විනාඩි දෙකේ මෙහෙයුමට අනුව මධ්‍යම රාත්‍රි 12.16ට දුවක් සහ පුතෙක්, 12.17ට පුතාලාම දෙන්නෙක්, 12.18ට දුවලම දෙන්නෙක් මෙලොවට බිහි වූයේ ඊට දායක වුණු සියල්ලකගේම අප්‍රතිහත කැපවීමෙනි.

“දරු ප්‍රසූතියේ දී මට පුංචි බයක් නොදැනුණාමත් නෙවෙයි. අන්තිම සතිය වෙද්දි මට අඩියක්වත් කකුල ඉහළට ඔසවල තියාගන්න බැරි වුණා. ප්‍රභාත් මගේ ළඟම ඉඳන් අතිශය සමීපව කටයුතු කළ නිසා ඒ අපහසුතාවන්ගෙන් පීඩා විඳින්න වුණේ නැහැ. ඇත්තටම මම කියන්න කැමැතියි ආදරණීය සැමියන්ට ඔයාලගේ බිරියන් ගර්භණී වුණාම ඒ අය ළඟින් ම ඉන්න. වෙනදාටත් වඩා සමීප වන්න. ගර්භණී කාලයේ හෝ උපතේදී දැනෙන අපහසුතා වුණත් පසුව සතුටකට පෙරළේවි.“

 

අමෙරිකාවේ සය නිවුන් දරුවන්

සය නිවුන් දරුවන්ට තම කුස නිවහනක් බවට පත්වද්දී සතියෙන් සතිය ගෙවෙමින් කුස තුළ ඔවුන්ගේ දඟකාරකම් දැනෙද්දී දිලිනි සහ ප්‍රභාත් අධ්‍යයනය කළේ මින් පෙර සය නිවුන් දරුවන් උපත ලැබූ අවස්ථා පිළිබඳයි. අමෙරිකා එක්සත් ජනපදයේ ගැහැනු දරුවන් තිදෙනකු සහ පිරිමි දරුවන් තිදෙනකුට උපත දුන් මවකගේ අත්දැකීම් ඒ වන විට ඔවුන්ගේ වැඩි අවධානයට ලක් විය.

“පළවෙනි බබා ම අඬාගෙන එද්දි මට වචනයෙන් විස්තර කරන්න බැරි සතුටක් තිබුණා. දෙවැනි බබාගෙන් පස්සේ අනෙක් බබාලා පිටතට ගන්න එක ගැන මට මතකයක් නැහැ.“ දරු උපත් සිදුවුණු මොහොතේ අත්දැකීම ගැන දිලිනි මතකය අවදි කළේ ඒ විදිහට.

 

මවගේ උණුසුමට ගුලිවෙමින්

ළදරු දැඩි සත්කාර ඒකකයේ මාසයකුත් දින කිහිපයක කාලයක් දිලිනි සහ ඇගේ දරුවන් කල්ගත කළේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය නිලධාරින්, රෝහල් කාර්යමණ්ඩලයේ කාරුණික වදන්, කුළුණුබර සිතිවිලි ද සමඟිනි. මුලින් හෙදියන් කිරි දොවමින් දරුවන්ට පොවද්දී දින කිහිපයක් ගතවන විට දරුවන් එක්කෙනා දෙන්නා බැගින් දිලිනිගේ අතට ම ලබාදුන් නිසාවෙන් ඔවුන් කිරි උරාබීවේ මවගේ උණුසුමට තව තවත් ගුලි වෙමිනි.

දරුවන් තිදෙනකු සමඟින් ඔවුන්ට පසුගිය දිනෙක තම නිවහන වෙත පියමනින්නට හැකි විණි. තවමත් දරුවන් තිදෙනෙක් රෝහලේ සිටින්නේ වෛද්‍ය අධීක්ෂණයේ උපරිම ඵල ලබමිනි. ඔවුන්ගෙන් දෙදෙනෙක් පමණ මේ සතියේ දී ම නිවෙසට පැමිණෙනු ඇත.

“සති 31න් මෙලොවට බිහිවුණු ලොව පළමු සය නිවුන් දරුවන් වූයේ දිලිනිගේ දරුවන් හය දෙනයි. මීට පෙර සිදුව තිබුණේ සති 30 දින කිහිපයකින් බිහිවූ දරුවන් ය.

“එදා මුලින් ම බිහිවුණ මගේ ලොකු දුවගේ බර ග්‍රෑම් 1618 යි. චූටිම දුව ග්‍රෑම් 830 යි. දැන් බාලයා ග්‍රෑම් 1200ක් විතර වෙනවා. වැඩිම බරක් තිබුණේ දෙවැනියට ගත්ත මගේ ලොකු පුතාට. දැන් එයා ග්‍රෑම් 2500ක් විතර වෙනවා. අනික් බබාලා ඔක්කොම ග්‍රෑම් 2000ට වැඩියි.“

 

අනෙක් තුන්දෙනත් එනකම් මඟ බලාගෙන

අනෙක් දරුවෝ තුන්දෙනත් ඉක්මනින් ම අපේ ගෙදරට එන දවස වෙනකම් අපි ඇඟිලි ගනිමින් ඉන්නේ. ඒ අය හරිම හුරතල්. හීනෙන් හිනාවෙවී ඉන්නවා දැක්කම හරිම ලෝභයි. මේ අය අඬන්නේ එක එක විදිහට. ලොකු දුව තමයි සද්දෙටම අඬන්නේ.

කාලය ගෙවීයාවි. අපේ දරුවෝ දුව පැන ඇවිදින වයසට ඒවි. දරුවන් හයදෙනකුගේ දරු සුරතල් එකවර බලන්න ලැබෙනවා කියන්නේ අම්මෙක්, තාත්තෙක් දුර්ලභව විඳින අවස්ථාවක්. අපේ දරුවෝ අපිට ඒ සතුට ගෙනාවා. මේ දරුවෝ දවසේ හැම හෝරාවක් ම අපිව සතුටින් තියාවි.

දරුවෝ කියන්නේ සම්පතක් කියලා අපි ආදරය කරන කාලේ ඉඳන් ම සිතේ තිබ්බ හැඟීමක්. අද අපි ඇස් පනාපිට එය භුක්ති විඳිනවා.“

 

අඳුනගන්න කලර් කෝඩ් එකක්

“නිවුන්නු වුණාට මේගොල්ලෝ එකිනෙකාට එකිනෙකා වෙනස්. මටයි ප්‍රභාත්ටයි නම් හය දෙනා වෙන වෙනම අඳුර ගන්න පුළුවන්. කොහොම වුණත් අපේ වැඩිහිටියන්ට, දරුවෝ බලාගන්න උදව් කරන අයට පැටලෙන්න පුළුවන්. මේ නිසා අපි කලර් කෝඩ් එකක් මේ දරුවන්ට ආදේශ කරන්න හිතන් ඉන්නවා. මුලින්ම නම් ටැග් එල්ලන්න පුළුවන්. ඒත් ටිකෙන් ටික ලොකු වෙද්දි ඒවා ඒ අය අදීවි.

අපි තාම මේ ගොල්ලන්ගේ කේන්දර බැලුවේ නැහැ. මේ සතියේ අග හෝ ඉදිරි සතිය වෙද්දි නම් දාන්න හිතන් ඉන්නව. අපේ දරුවෝ හය දෙනාට නම් දාන්න ගොඩක් අය ඉදිරිපත් වෙලත් ඉන්නවා.“

 

හැකි තරම් මව්කිරි

“දැනට අපි ගාව ඉන්න තුන්දෙනාට මම මගේ කිරි හැකිතරම් දෙනවා. රෑට එක වේලක් වගේ තමයි පිටිකිරි දෙන්නේ. ඔවුන් හැකි තරම් මව්කිරෙන් පෝෂණය කිරිම මගේ වගකීමක්. මම ඒ වගකීම උපරිමයෙන් ම ඉටු කරන්න සැදී පැහැදී ඉන්නවා.

 

එක් දරුවෙක් හෝ ශාසනයට

“අපි දරුවෝ හයදෙනාම මහණ කරන්න කැමැතියි කියලා සමාජ මාධ්‍යවල විවිධ තොරතුරු සැරිසරනවා. එය නිවැරැදි කරන්නත් මම මෙය අවස්ථාවක් කරගන්නවා. අපි දෙන්නම වෘත්තියෙන් ඉංජිනේරුවෝ. අපිට ඕනේ අපේ දරුවන්ව රටට වැඩදායි පුද්ගලයන් කරන්න. අපි කිව්වේ මේ අයගෙන් එක් දරුවෙක් හරි අපෙන් අවසර ඉල්ලුවොත් ‘අම්මේ, තාත්තේ මට මහණ වෙන්න ඕන කියලා‘ අපි අපේ කැමැත්ත නොපැකිළව ම ලබා දෙන්න සූදානම් කියලා.“

මාපිය පදවිය මෙලොව අපි උගත්කමින් ගන්නා පදවිවලටත් වඩා සෑහෙන්න වටිනවා. මටත් ප්‍රභාත්ටත් මේ සතුට, සොම්නස හය ගුණයකින් ළඟා කරදෙන්නට සමත් වුණු පිරිස බොහොමයි.“

මේ වටිනා අවස්ථාව ලබා දුන් සැමට ස්තුතියි

“මුලින්ම අපි දෙන්නගේම අම්මලා, මගේ තාත්තා අපේ සහෝදර සහෝදරියො ඇතුළු බාල මහලු හැම ඥාතියකුටම ස්තුතියි. ප්‍රභාත්ගේ තාත්තා අපි අතර නැහැ. එයත් ඉන්න තැනක ඉඳන් මේ අය දිහා බලයි. සාපල්‍යතා විශේෂඥ වෛද්‍ය තිළිණ පලිහවඩන, නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස්, නව ජන්ම ළදරු විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ, ළමා රෝග විශේෂඥ බුද්ධිම ජයසිංහ, කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන, නයින්වේල්ස් රෝලේ හිමිකරුට, එහි අධ්‍යක්ෂ මණ්ඩලයට සියලුම වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු අපි දෙන්නගෙම කාර්යාලවල හැමෝටම ගොඩක් පිං.

මම හිටපු අටවෙනි තට්ටුවේ කාර්ය මණ්ඩලය, ඔවුන් මාව නෑව්වා, කැව්වා පෙව්වා. මේ හැමදේමත් කළා. මේ හැමෝගෙම සුහදශීලී පිළිගැනීම අපට ලොකු ශක්තියක්. අපිට ශක්තියක් වුණ සමාගම්, පුද්ගලයින් හැමෝටමත් ස්තුතියි.දරුවන් හයදෙනකු ලැබුණත් අද අපි සැහැල්ලුවෙන් සතුටෙන් ඉන්නේ මේ හැමෝම නිසා.

අපේ දරුවෝ ඔවුන්ගේ ජීවිතවල විවිධ සංධිස්ථානයන් පසු කරාවි. ඒ හැම සංධිස්ථානයක් ම අපට සුවිශේෂි වේවි. දරුවන්ගේ ජයග්‍රහණවලදි ඒ දේවල් සම සිතින් විඳ දරා ගන්නට අපට හැකිවේවි. සය නිවුන් දරුවන් නිසා ගතවන හැම නිමේෂයක් ම හරි අපූරුවට ගලා යාවි.“