නොපසුබට උත්සාහයෙන් ජීවිතය ජයගත් දමින්තා

ජපානයේ නීතිඥ පත්වීම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ඇයයි.
මැයි 2, 2022

 

ඇය නමින් කාංචනී දමින්තා පතිරණ. කුඩා කාලෙ පදිංචිව වෙලා හිටියේ කන්ද උඩරට පිළිමතලාවේ.

 

අපේ රටේ ගොඩක් තැන්වල සිදුවන අසාධාරණකම් වගේම දමින්තාටත් අල්ලපු වැටේ තිබුණු මහා විද්‍යාලයට යන්න වරම් ලැබුණෙ නෑ. ඒ නිසා එයා අකුරු කරන්න ගියේ පිළිමතලාව ගිරාගම කණිෂ්ඨ විද්‍යාලයට. ඒ ඉස්කෝලෙ ගොඩක් පහසුකම් තිබුණු එකක් නොවෙයි. ඒත් ඇය මේ කිසි දෙයක් ගණන් ගත්තෙ නැහැ. ඇයට ඕන වුණේ ඉගෙන ගන්න. ඒ නිසා ඇය ලද දෙයින් සතුටු වෙලා හොඳට මහන්සිවෙලා ඉගෙන ගන්නවා කියලා හිතට ගත්තා. කුඩා කල සිටම අධ්‍යාපනයටත් අනෙක් බාහිර කටයුතුවලටත් දැක්වූයේ පුදුමාකාර කඩිසර බවක්. විෂය කරුණු වලට දැක්වූයේ පුදුම දක්ෂ කමක්. දමින්තාගේ මේ කඩිසරකමත් දක්ෂකමත් හින්දම ඇය 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම පාස් වුණා. දමින්තාගේ මේ ජයග්‍රහණය සිරිසේන පතිරණත්, ආරියලතා කහවෙවිතානගේත් ඒ කියන්නෙ දමින්තාගේ අම්මටයි තාත්තටයි පුදුමාකාර සතුට ගෙන දෙන්නක් වුණා. මොකද දරුවන් පස් දෙනාගෙන් දඟකාරම චරිතය තමයි දමින්තා. ඒක නිසා මේ දඟකාරිගේ ජයග්‍රහණය අක්කලා දෙන්නට වගේම නංගිටයි මල්ලිටයි ආදර්ශයක් වෙයි කියලා ඒ දෙන්නට හිතුණා.

ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සෙ මහනුවර විහාර මහාදේවි විද්‍යාලයටත් පසුව පසුව මහනුවර උසස් බාලිකා විද්‍යාලයටත් අකුර කරන්න ගිය දමින්තාගෙ ගෙදර තිබ්බ දඟකාරකම් පාසලේදී නම් තිබුණෙ නැහැ.

අම්මයි තාත්තයි ඉස්කෝලෙට ගිය හැම වෙලාවෙම ගුරුවරියන් කිවිවෙ පංතියේ නිහඬම ළමයා දමින්තා කියලා. ඒක විශ්වාස කරන්න අමාරු වුණත් පසුව එයාල තේරුම් ගත්තා ගෙදරදි දඟකාරි වුණත් පාසලේදී නිහඬ චරිතයක් කියලා. ‘කමක් නෑ ගෙදරම පෙරළුවත් ඉස්කෝලෙදී හොඳින් ඉන්නවනම්‘ අම්මයි තාත්තයි නිතරම කතා වෙනවත් දමින්තාට ඇහුණා. ඒක එක අතකින් එයාට දිරිමත් කිරීමක් වුණා.

ඒ නිසාම පාසල් අධ්‍යාපනය කෙරෙහි දමින්තා දැක්වූයේ පුදුමාකාර උනන්දුවක්. ඒ උනන්දුව කොයිතරම්ද කියනවනම් දමින්තා ඉහළින්ම සමත් වුණා.

 

ඒ ආපු ගැම්ම එයා අතහැරියෙ නෑ. 2002 අවුරුද්දෙ උසස් පෙළ විභාගයෙන් කලා අංශයෙන් A සාමාර්ථ 3 ක්ද සහිතව ඉහළින්ම සමත් වෙන්න දමින්තාට හැකිවුණේ අවුරුදු ගණනාවකට පස්සෙ උසස් බාලිකාවටත් හොඳ ජයග්‍රහණයක් ලබා දෙමින්. ඇය මහනුවර දිස්ත්‍රික්කයෙන් 3 වැනි ස්ථානයත් ලංකාවෙන්ම 27වැනි ස්ථානයත් ලබා ගන්න සමත් වුණා. ඒ අනුව ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වුණා.

නීති පීඨයේ අධ්‍යාපන කටයුතු අවසන් කර 2008 අවුරුද්දේ දෙසැම්බර් 17 වැනිදා දමින්තා නීතිඥවරියක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දුන්නා.

 

ඉන්පසු ඇය නාවික හමුදාවට එක්වීමට තීරණය කළා. ඇය නාවික හමුදාවට එක්වන්නේ ලුතිනන්වරියක ලෙසයි. නාවික හමුදා මූලස්ථානයේ නීති අංශයේ සේවය කරමින් සිටි ඇය 2013 වසරේ නාවික හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වන්නේ ඇගේ තවත් අනාගත බලාපොරොත්තු කිහිපයක් ඉටු කර ගැනීමේ අපේක්ෂාවෙන්. ඒ අනුව දමින්තා 2014 අවුරුද්දේ ජනවාරි 2 දා විවාහ දිවියට පිවිසෙනවා. ඒ අතර ඇය සකුරා මල් පිපෙන ජපන් රටට යාමට අවශ්‍ය කටයුතු සකස් කරමින් සිටියේ. ඒ සිහිනයද මල් ඵල ගන්වමින් ඇය විවාහයෙන් සති දෙකකට පමණ පසු ඒ කියන්නේ 2014 ජනවාරි 12 වැනිදා ජපානය බලා යනවා.

 

ජපානයට ගියත් ඇයට ඒ රටේ විදේශිකයකුට තියෙන සාමාන්‍ය පිළිගැනීම විතරයි තිබුණේ. ජපානයේ ලියාපදිංචි වී යළිත් අධ්‍යයන කටයුතු කරගන්න ඇයට සිද්ධ වෙනවා.

ඇයට ඕන වුණේ ජපානයේ නීතිඥවරියක් ලෙස කටයුතු කරන්නයි. ඇය ජපන් භාෂාව හොඳින් හදාරා තිබීම ලොකු වාසියක් වුණා. ඒ වුණත් දමින්තාට ඒ හීනය සැබෑ කරගන්න පළමුවෙන් යොකොහාමා විශ්වවිද්‍යාලයේත් පසුව හිටොට්සුබාෂි විශ්වවිද්‍යාලයේත් අධ්‍යයන කටයුතු කරන්න සිදු වුණා. ඒ ඉගැන්මේ ප්‍රතිඵලයක් ලෙස 2018 අවුරුද්දේ ජපානයේ අධිකරණ අමාත්‍යාංශයේ අවධානය ඇය කෙරෙහි යොමුවුණා. ඒ ඇය ඊට අවුරුදු කිහිපයකට පෙර සිට කළ ඉල්ලීම් සලකා බැලීමෙන් පසුවයි. එසේ වුණත් ඇයට ශ්‍රී ලංකාවේ නීතිය පිළිබඳව පුළුල් අධ්‍යයනයක නියැළෙන්නට සිදුවුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අණ පනත්හි පරිවර්තන ලබාදීමට සිදු වුණා. ඒක ඇයට ලොකු අභියෝගයක් වුණා. ඒ සියලු කටයුතු කරන අතරේ ඇය විසින් ජපන් නීතිඥවරියක ලෙස කළ ඉල්ලීම් දිගින් දිගටම දම්වැලක් සේ ඇදී ගියා. එහිදී Japan Federation Bar Association සහ Dai Ni Bar Association හි විමර්ශනයට එය බඳුන් වුණා.

වසර ගණනාවකින් පසුව පසුගිය වසරේ දෙසැම්බර් 10 වෙනිදා ඇයගේ ඒ හීනයට අනුමැතිය ලැබුණා.

 

ඒ හීනය මල්ඵල ගන්වමින් පසුගිය මාර්තු මස 1 වැනිදා ඇය ජපානයේ ලියාපදිංචි පළමු ශ්‍රී ලාංකික නීතීඥවරිය ලෙස පත්වීම් ලැබුවා. එය ශ්‍රී ලාංකිකයන් ලෙස අපට මහත් ආඩම්බරයක්. කාන්තාවක් ලෙසින් ඇය ආ මේ ගමන අපට ආදර්ශයක්.

තමන්ට මේ ගමන එන්නට අතහිත දුන් සැමට දමින්තා ස්තූති වන්ත වනවා.

‘‘ මගේ මේ ජයග්‍රහණයට අත දුන් සැමට මම ස්තූතිවන්ත වෙනවා. විශේෂයෙන්ම කොමදෝරු සම්පත් පත්බේරිය, මගේ මිතුරු චාමර වන්නිසේකර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ රජීව් අමරසූරිය හා සමන්ත විතාන යන මහත්වරුන්ටත් නාවික හමුදාපති ඇතුළු නාවික හමුදවේ සහාය දුන් සියලු අංශවලටත් විශේෂයෙන්ම නාවික හමුදාවේ නීති අංශයටත් උපකාර කළ සියලු දෙනාටත් ස්තූතිය පළ කරනවා.

ඒ සියලු දෙනාටම වගේ මගේ මේ ජයග්‍රහණය ලබා ගන්න පුංචි කාලෙ ඉඳල මගේ පස්සෙන් හිටපු අම්මා, තාත්තා අක්කලා දෙන්න නංගියි මල්ලියි මේ අවස්ථාවේ සිහි ගන්වනවා වගේම මේ අවස්ථාවේ සතුටු වෙන්න මගේ තාත්තා අපි අතර නොසිටීම ගැන මම හුඟක් දුක් වෙනවා.‘‘

දමින්තාගේ මේ ජයග්‍රහණය ගැන මුල ඉදල විමසා බැලුවොත් අපට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. නොපසුබට උත්සාහය තමයි එයින් මුල් තැනක් ගන්නේ. ඒක හැමෝටම ලොකු පාඩමක්!

 

 

 

 

කැප්ෂන්

ටෝකියෝ නීතිඥ සංගමයේ සභාපති කිමිටොෂි යබුකි ගෙන් සුබපැතුම්

දමින්තා නාවික හමුදාවේ සිටියදී