සිංහල හා දෙමළ ගීත ගයන අවුරුදු දහතුනේ පුංචි කෙල්ල

The Voice Teens Sri Lanka Season 2 ජයග්‍රාහිකාව ප්‍රනිර්ශා ත්‍යාගරාජා
ජූලි 11, 2022

 

වෛද්‍යවරියක් වෙන හීනයත් කොහොම හරි ජය ගන්නවා

 

 

The Voice Teens Sri Lanka Season 2 තරගාවලිය පසුගියදා නිමාව දුටුවේ ජාත්‍යන්තර වේදිකාවට අති දක්ෂ ගායන තාරකාවක් බිහි කරමිනි. බණ්ඩාරවෙල ජලාශ ප්‍රදේශයේ සිට පැමිණි ප්‍රනිර්ශා ත්‍යාගරාජා නමැති මේ දැරිය ලංකාවේ සුළුතරයක් නියෝජනය කරන දෙමළ ජාතික දැරියක් වූවත් ඈට සමස්ත ශ්‍රී ලාංකේය ගීත ලෝලීන් සැමගේම හිත දිනාගන්නට ලැබෙනුයේ ජාති ආගම් භේද කිසිවක් නොතකමිනි.

මිහිරි හඬින් ගී ගයමින් ප්‍රේක්ෂක හද පත්ලේ ම ජීවත් වන්නට ඇය වාසනාවන්ත වූවාය.

 

මුලින්ම ඔබට අපේ සුබ පැතුම්!

 

thank you thank u so much

 

The Voice Teens Sri Lanka Season 2 කිරුළ දිනුවේ ඔබ. එය සතුටට කරුණක් බව අමුතුවෙන් කිව යුතු නෑ. අපි ඔබේ පුංචි කාලෙට පිය නගමු.

 

කර්ණාටක සංගීතය සහ භරත නාට්‍යයම් හදාරන්නේ මං පුංචි කාලෙ ඉඳන්මයි. පොඩි කාලේ ඉඳන් ම ආසාවක් තිබුණ ලොකු singer කෙනෙක් වෙන්න. ඒ හින්දා ම නොයෙකුත් තරගවලට සහභාගී වුණා.

 

මොනවද ඒ තරග....?

 

shakthi super star තරගයට එද්දි මට අවුරුදු නමයයි. ඒ තරඟයේ අවසන් 24 දෙනාට තේරුණා. shakthi fm එකේ 'අඩයාලම්' කියන තරගයටත් ආවා. එතකොට මට අවුරුදු 10යි. එහි අවසන් තිදෙනාට තේරිලා තුන්වැනි ස්ථානය ලැබුවා.

 

මේ ෆ්ලැට්ෆෝම් එක ඔයාට ආගන්තුක නැහැ.

 

ඔව්. හැබැයි ඒ තරගවල දී මම දෙමළ භාෂාව පමණයි හැසිරෙව්වේ. ඊට පස්සෙයි voice teens වලට එන්නෙ.

 

voice teens මේ දක්වා ආ ගමන් මඟ....

 

අපේ බණ්ඩාරවෙල නගර සභාවේ තිබුණු voice teens තරග audition වලට මම සහභාගි වුණා. එදා මාව තේරුණා කියලා කෝල් එකක් ආවා. ඊට පස්සේ main audition වලට ගියා. blind එකේදි මම sing කළේ රවුඩි බේබි සින්දුව. coaches ලා හතර දෙනාම මං වෙනුවෙන් හැරෙනවා. එහිදී මම coach අභිෂේකාව තෝරගන්නවා. Battles වල දී මමයි මනූලයි ගයන්නෙ kyo bolti tu සිංදුව. The knockouts වලදි මගේ රටට දළදා හිමි සෙවණයි ගීතය sing කරන්නේ. මේ වටේ දී මට ranking shares ලැබෙනවා. super knockouts වල දී saami saami ගීතය sing කරනවා. ඒ ගීතය අවසානයේ දී coaches ලා හතර දෙනාම මගෙත් එක්ක ඩාන්ස් කරනවා. මනරම් හැඟුමන්, ගලනා සීත ජලේ වගේ ගීත මම තව වටවලදී sing කරනවා. live shows semi final වල දී ඈත දිලිසෙන ගීතය sing කරනවා. ඒ වෙද්දි මම ඩෙංගු රෝගයට ගොදුරු වෙලා. සේලයින් ගහගෙන තමයි මම sing කළේ. මගේ platlet 36,000 ට බැහැලා. තවමත් platelet නියමිත ප්‍රමාණයට ළඟා වෙලා නැහැ.

 

ඔයාගේ පවුලෙ music background එකක් තියෙනවා ද?

 

මගේ අම්මා පොඩි කාලේ නැටුම් හා සංගීතය කරලා තියෙනවා. එයා හිටියේ ඉන්දියාවේ. අදටත් අම්මා විතරයි ලංකාවේ ඉන්නේ. එයාගේ නෑදෑයො ඉන්නෙ ඉන්දියාවේ. මගේ පුංචි භරත නාට්‍යම් උගන්වන ටීචර් කෙනෙක්.

 

සිංහල භාෂාව මේ තරම්ම හසුරුවන්න පුළුවන් වුණේ කොහොමද?

 

voice වලට එන්න කලින් මම යන්තම් ගළප ගළපා කතා කළේ. ටීම් එකේ කට්ටිය එක්ක ඉඳිද්දි ඒ අයගෙන් මේ මොකක්ද මේ මොකක්ද කියලා අහලා තමයි ඉගෙන ගත්තේ.

 

අවසන් මහා තරගයේ එකම ගැහැනු දැරිය ඔබ. අයියලා තුන්දෙනෙක් එක්ක voice වේදිකාවේ ගීත ගයන

 

voice grand finale මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ, නිස්සාර සංසාර සහ කලින් මම sing කළ saami saami ගීත තුන එදා sing කරනවා. final judgement එක දෙද්දි මම පුදුම තරම් සතුටට පත්වෙනවා. ජාති, ආගම්, කුල භේදවලින් තොරව fans ලා හැමෝම මගෙත් එක්ක ඉන්නවා. මගේ පිටිපස්සෙ හිටපු ලොකුම strength එක මගේ coach අභිෂේකා. ශ්‍රී ලංකා එකේ අය මට vote කරලා මාව ඉස්සරහට ගෙනියයි කියලා මම ඇත්තටම හිතුවේ නෑ.

grand finale එකට එන්න ඉස්සෙල්ලා මට හොඳ fan base එකක් තිබුණා. හැමෝම මාව අඳුරගෙන photos ගන්නවා. gift අරන් දෙනවා. මට දැන් gift ගොඩක් ලැබිලා තියෙන්නේ.

 

coach අභිෂේකා සමඟ ගත කළ කාලය ඇගෙන් ඔබේ සංගීත දිවියට ලැබුණු දේවල් ගැනත් කියමු.

 

Coach අභිෂේකා අම්මා කෙනෙක් වගේ. එයා වෙලාව ගැන හිතන්නෙවත් නෑ. අපි වෙනුවෙන් සෑහෙන්න කැපවුණා. අපිට ෆෝන් එකෙනුත් practice කරන්න උදව් කළා. semi final වල දී මට ඩෙංගු හැදිලා හොස්පිටල් ඉන්න වුණාම coach ගොඩක් positive දේවල් කිව්වේ.

 

ඔයාට ස්තුතියි කියන්න ගොඩක් අය ඇති. අපි ඒ අය ගැනත් කියමු.

 

මගේ අම්මා ආරුමුගම් කවිතා. තාත්තා පෙරුමාල් ත්‍යාගරාජා. මේ දෙන්නා මගේ පස්සෙන්ම හිටියා. මගේ අක්කිත් ඒ වගේම මගේ school එක බණ්ඩාරවෙල tamil central college එකේ principal, teachers ලා, මගේ යාළුවෝ ඔක්කොම මට උදව් කළා. coach අභිෂේකා ඇතුළු coachers ලා හැමෝම, voice teens production එක, මට vote කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි. coach අභිෂේකාගේ team එකේ හැමෝම සතුටු වුණා, මගේ ජයග්‍රහණය ගැන. Team එකක් විදිහට අපි හැමෝම දිනුවා කියලා ඒගොල්ලෝ හිතුවා. voice වලින් මට සිංහල යාළුවෝ ගොඩක් ලැබුණා.

 

ඔබ ඉන්නේ බණ්ඩාරවෙල. නමුත් වරින් වර කොළඹට එන්න වෙන්නේ මේ තරගාවලියත් එක්කයි. අධ්‍යාපන කටයුතු සමඟ මේ ජීවිතය සමබරව ගෙන ගියේ කොහොමද?

 

මම බණ්ඩාරවෙල tamil central college එකේ 9 ශ්‍රේණියේ english medium වලින් ඉගෙන ගන්නවා. වරින් වර ඔන්ලයින් පන්ති පන්තිවලට සහභාගි වුණා. අධ්‍යාපන කටයුතු සඳහා මේ ගමන කොහෙත්ම බාධාවක් කරගත්තේ නැහැ. මගේ අනාගත බලාපොරොත්තුව විද්‍යා අංශයෙන් ඉගෙනගෙන වෛද්‍යවරියක් වීම. මම කොහොම හරි ඒ හීනෙටත් යනවමයි.

 

 

ඡායාරූප - ශාන් රූපස්සර