‘මම බර වැඩි නිසයි තාත්තා මල්ලවපොර ක්‍රීඩාවට යන්න ඉඩ දුන්නේ'

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කම දිනූ නෙත්මි අහිංසා
අගෝස්තු 15, 2022

 

නෙත්මි අහිංසා පෝරුතොට, ඇය මේ මහ පොළොවෙන් මතු වූ වටිනා මැණිකකි. බොහෝවිට මැණික් මහ පොළොව මත තිබුණත් එය අපට නො පෙනෙයි. එහි වටිනාකම ද නො දනියි. මැණිකක් සොයාගෙන ඔප දමා ගත් විට එහි වටිනාකම දැනෙයි. නෙත්මි ද එවන් සැඟව තිබූ මැණිකක් යැයි අපට සිතෙයි.

ඇයගේ නම එක්වරම අපට ඇසෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදීය. බර්මින්හැම් හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ දී ඇගේ නම අපට ඇසෙන්නේ ක්‍රීඩාවේ තවත් අලුත් බලාපොරොත්තුවක් මල්ඵල ගන්වමිනි. ඇය මේ පදක්කම දිනා ගත්තේ ද අපට හුරු පුරුදු ක්‍රීඩාවක දී නොවීම තවත් විශේෂත්වයකි. මල්ලවපොර ක්‍රීඩාවෙන් මේ පදක්කම රැගෙන එන නෙත්මි නම් වටිනා මැණික හමුවන්නේ සුරංග කුමාර නම් යුද හමුදාවේ දක්ෂ මල්ලවපොර පුහුණුකරුටය. ඔහු ඇයව බර්මින්හැම් දක්වා රැගෙන යයි.

පන්නල ආසන්නයේ ඇති වෙල්පල්ල නම් ගම්මානයෙන් හමුවූ නෙත්මි ශ්‍රී ලාංකේය ක්‍රීඩා ඉතිහාසයේ අලුත්ම පිටුවක් පෙරළීය. පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලකදී පදක්කමක් දිනාගත් ලංකාවේ ළාබලතම ක්‍රීඩිකාව ලෙසින් ඇය තම ක්‍රීඩා කුසලතාවන් පෙන්වූයේ කිලෝග්‍රෑම් 57 බර පන්තියේ කාන්තා තරගයෙන් ලංකාවට රන් පදක්කම තරම් වටිනා ලෝකඩ පදක්කමට හිමිකර දෙමිනි.

අවුරුදු 18ක් වූ නෙත්මි අහිංසා උපත ලබන්නේ 2004 වසරේ ජූනි 17 වැනිදාය. වෙල්පල්ල මහ විදුහලෙන් අධ්‍යාපනය ලබන ඇය ජාත්‍යන්තරය කරා රැගෙන යන්නේ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව මඟින් කනිෂ්ඨ ක්‍රීඩකයන් සොයා යෑමේ ව්‍යාපෘතිය සඳහා තෝරා ගැනීමදීය. වසරක පමණ විශේෂ පුහුණුවකින් පසු ඇය මේ තරගයට සහභාගී වූයේ තම තම මල්ලවපොර පුහුණුකරු වූ සුරංග කුමාර මහතාගේ මඟ පෙන්වීමෙනි. දහසක් අඩුපාඩුකම් මැද, ක්‍රීඩා පුහුණුවට ශාලාවක්වත් නොමැතිව එළිමහනේ පුංචි කෙල්ලන් කොල්ලන් පිරිවරා 2018 වසරේදී සුරංග කුමාර තම පුහුණුවීම් ආරම්භ කළේ සිතේ සවියෙනි.

මල්ලවපොර ක්‍රීඩාවට අවශ්‍ය කෑම බීම තබා දෛනිකව කුස පුරවා ගැනීම පවා දුෂ්කර වූ පවුලක උපන් නෙත්මි මේ ජයග්‍රහණය කරා පැමිණි ගමන ඉතාම අසීරුය. ඒ අසීරු ගමනේ ජයග්‍රහණය ගැන නෙත්මිට පවසන්නට ඇති දේ බොහෝය. මේ ඇගේ කතාවයි.

"මගේ එකම බලාපොරොත්තුව වුණේ රන් පදක්කම දිනා ගන්න. නමුත් ඒ අවස්ථාව අහිමි වුණා. ඒත් මට දුකක් කනගාටුවක් නැහැ. මගේ ඉලක්කය ඔලිම්පික් තරගය. ඔලිම්පික් යනකොට මගේ ඔක්කොම අඩුපාඩු හදාගන්න පුළුවන්. මට මේ ජයග්‍රහණය ගැන නිහතමානී සතුටක් දැනෙන්නේ අඩුම වයසකින් මේ වගේ තරගයකින් ජයග්‍රහණය කිරීමට හැකි වීම ගැන තමයි.

මේ මල්ලවපොර තරගයට ආවේ මගේ යාළුවා නිසයි. චමෝද්‍යා තමයි මාව උනන්දු කළේ. එයා මේ තරග මාලාවේ කිලෝ ග්‍රෑම් 53 බර පන්තිය නියෝජනය කළා. එයා තමයි මුලින්ම අපේ තාත්තාගෙන් අවසර අරගෙන මාව මල්ලවපොර ක්‍රීඩා තරගවලට එක්කගෙන ගියේ. ඇත්තටම තාත්තා ඒ වෙලාවේ මට යන්න දුන්නේ මම හුඟක් මහත නිසයි. එතකොට මම කිලෝ 88ක් බරයි. ලෙඩ හැදෙන්නේ නැතිව නීරෝගීව ඉන්න ඕනේ නිසා තමයි තාත්තා මට යන්න ඉඩ දුන්නේ. ඇත්තටම ‍මෙඩල් එකක් ගන්න නෙවෙයි. හැබැයි තරගවලට සහභාගි වෙනකොට මට තේරුණා මට හැකියාවක් තියෙනවා කියලා. මට ලංකාව වෙනුවෙන් පදක්කමක් ගන්න මට්ටමට යන්න පුළුවන් කියලා මට හැඟීමක් ඇති වුණා.

මට වඩා මේ පදක්කමේ ගෞරවය තියෙන්නේ මගේ මාස්ටර් සුරංග සර්ට. ඇත්තටම අපට හරියට පුහුණු වෙන්න තැනක් තිබුණේ නැහැ. අපි තැන් තැන්වල පුහුණුවීම් කළා. හරි තැනක් නැති නිසා එළිමහනේ මෙට්ටයක් දාගෙන තමයි පුහුණු වුණේ. අන්තිමට තැනක් නැතිම තැන මාස්ටර්ගේ ගෙදර මඩුවක් හදා ගත්තා. අපි එතැන අවුරුදු හතරක් පුහුණු වුණා. දැන් ඒ මඩුවේ තහඩු දිරලා හොඳටම තෙමෙනවා. අපි තෙමි තෙමී ඒ මඩුවේ පුහුණු වෙනවා. සමහර වෙලාවට ලිස්සලා වැටෙනවා. ඇත්තටම මගේ පාසල් වැඩත් මම උපරිම හොඳට කරනවා. ඒ නිසා මාස්ටර් එන්නේ හවස. මාස්ටර් හමුදා කඳවුරේ ඉඳන් ගෙදරට එන්නේ හතට විතර. රෑ එකොළහ විතර වෙනකම් පුහුණු වෙනවා. ගෙදර ගිහින් නිදා ගන්නකොට රැ දොළහ විතර වෙනවා. විභාග ළං වෙනකොට පාන්දර දෙකහමාර වෙනකොට නැගිටලා පාඩම් කරනවා. ඒ වගේ කැපවීමක් කරලා තමයි මේ ජයග්‍රහණය ලබා ගත්තේ.

ඇත්තටම තමුන්ගේ ධනය, කාලය, ශ්‍රමය වෙනත් අයකු වෙනුවෙන් වැය කරන පුළුවන් කාලයක් නොවෙයි දැන් තියෙන්නේ. නමුත් මගේ මාස්ටර් ටී.ඒ. සුරංග කුමාර කියන්නේ දෙවි කෙනකුටත් වඩා උසස් මනුස්සකම් පිරුණු සර් කෙනෙක්. ඔලිම්පික් පදක්කම දිනා ගන්න මගේ මාස්ටර් එක්ක තමයි පුහුණු වෙන්නේ. මාස්ටර්ගේ බිරිය ඇයත් මට මවක් වගේ. මගේ මව්පියන්ගෙන් පසුව මට ආදරය, කරුණාව දක්වන මව්පියො වුණේ මගේ පුහුණුකරු සහ ඔහුගේ බිරියයි. ඒ දෙන්නටම තමයි මේ පදක්කමේ ලොකුම ගෞරවය හිමි විය යුත්තේ.

මගේ පියා පෙදරේරුවෙක්. අපට හරියට නිවෙසක් වත් නැති වුණාට මගේ අම්මයි තාත්තයි සියලු දෙයම අඩුපාඩුවක් නැතුව දුන්නා. ඒ දෙන්නා මට ලබා දුන්න ශක්තිය නිසා තමයි මම මේ තරම් දුරක් ආවේ."

ශ්‍රී ලංකාවේ මල්ලවපොර ක්‍රීඩාව අද හොඳම තැනකට රැගෙන විත් තිබේ. ඒ සුරංග කුමාර පුහුණුකරුගේ අනේකවිධ කැපවීම නිසයි. දැන් නෙත්මිට හා සුරංගට ජාත්‍යන්තර පුහුණුව හා මඟපෙන්වීම අවශ්‍යම මොහොතකි. නෙත්මිගේ අහිංසක උත්සාහයට වටිනාකමක් දෙන්නට ක්‍රීඩා බලධාරින් ඔවුන්ට නිසි මඟපෙන්වීමක් ලබාදිය යුතු මොහොත පැමිණ තිබේ. ඒ නිසි මඟ පෙන්වීම හා සහයෝගය ලැබුණොත් නෙත්මිගේ අහිංසක ඔලිම්පික් සිහිනය සැබෑවනු නියතය. ඒ සිහිනය සැබෑ වේවායි තරුණී අපි සුබ පතමු.