මගේ පරිවර්තන පාඨකයන් ආදරයෙන් වැලඳ ගැනීම සතුටක්

ලේඛිකා මහේෂි වීරකෝන්
සැප්තැම්බර් 5, 2022

ආසා දේ කරලා කොටුවීමක් නැති නිදහස් ජීවිතයක් ගත කරන්නයි මගේ කැමැත්ත.

මෙවර තරුණී කවරය සරසන්නේ අපේ රටේ ක්ෂේත්‍ර දෙකක් නියෝජනය කරන සුවිශේෂී කාන්තාවන් දෙදෙනකුගේ සොඳුරු රුවෙනි. ඒ 2020 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ හොඳම ශිෂ්‍යයාව ලෙසින් තේරුණු නීතීඥ එරංගා සඳමිණි දිසානායක සහ පරිවර්තන ලේඛිකාවක ලෙසින් බොහෝදෙනකුගේ ආදරය දිනාගත් මහේෂි වීරකෝන්ගේ රුවෙනි.

මේ උදා වූයේ සැප්තැම්බර් මාසය එහෙමත් නැතිනම් සාහිත්‍ය මාසයයි. පොත පතට පෙම්බඳින සාහිත්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන බොහොමයක් පිරිස මේ සාහිත්‍ය මාසය උදා වනතුරා නොඉවසිල්ලෙන් පසුවෙති. ඒ අලුත් පොත පතින් තම දැනුම් සාපිපාසාව නිවා ගන්නට සේම සාහිත්‍ය ලෝකයේ බොහෝ තරු මේ මාසය පුරාවට හමුවන්නට, වචනයක් දෙකක් හෝ කතාබහ කරන්නට ඉඩහසර උදාවන බැවිනි.

ඉතින් ඒ නිසාම අපේ සාහිත්‍ය කලාවට වසර කිහිපයක සිට පායා දිලෙන අපූරු තරුවකගේ රුව තරුණී කවරයට එක් කරගන්නට අපට සිතුණි. ඒ වාගේම ඇය සමඟ පුංචි කතාබහක නියැළෙන්නත් අප අමතක කළේ නැහැ.

මහේෂි ලියූ පරිවර්තන කෘති කියවා තිබුණත් ඔබ පිළිබඳ තොරතුරු බොහෝදෙනකු දන්නේ නැහැ. ඒ නිසා ඔබ කවුද, මොනවද කරන්නෙ කියලා අපි මුලින්ම දැනගනිමු.

" මම මහේෂිකා බණ්ඩාර වීරකෝන්. ඒ වුණාට මහේෂි වීරකෝන් කියලයි වැඩිදෙනකු හඳුන්වන්නෙ. මගේ උපන්ගම ගම්පොළ. අපේ පවුලේ අම්මයි, තාත්තායි, අක්කයි, මමයි. දැන්නම් විදේශගතව තමයි ජීවත් වෙන්නෙ..."

ඔබේ පාසල් කාලය ගැන මතක් කළොත්

"මම මූලික අධ්‍යාපනය ලැබුවේ ගම්පොළ ශාන්ත ජෝශප් බාලිකාවෙන්. අනතුරුව උසස් පෙළ හදාරන්න නුවර පුෂ්පදාන බාලිකාවට ඇතුළත් වුණා. භාෂාවන් ඉගෙන ගැනීමට තිබුණු ආසාව නිසාම මම උසස් පෙළ සඳහා ප්‍රංශ, ඉංග්‍රීසි සහ ග්‍රීක රෝම ශිෂ්ටාචාරය තෝරා ගත්තා. අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පළමු පන්තියේ උපාධියක් වගේම පශ්චාද් උපාධියක් හිමි කරගත් මම ඒ විශ්වවිද්‍යාලයේම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපදේශිකාවක් ලෙස රැකියාවකට යොමු වුණා."

හැබැයි ඔබ කවදාවත් රැකියාවකට කොටු වී ඉන්න කැමැති චරිතයක් නොවෙයි.

" අපොයි ඔව්. මම කිසිම දවසක ඒකාකාරී රැකියාවකට කැමැති කෙනෙක් නොවෙයි. පුංචි කාලේ වුණත් අනාගත බලාපොරොත්තු ගැන අහන කොට කියන්නෙ මම ආසා වෙලාවට ආසා දේ කරලා කිසිම කොටු වීමක් නැතිව නිදහසේ ජීවිතය ගත කරන්නයි කැමැති කියලා."

ඒ නිසා ද ඔබ රැකියාවෙන් ඉවත් වෙලා මේ සාහිත්‍ය පැත්තට යොමු වුණේ.

"මම කාලයක් රැකියාව කරගෙන ගිය නිසා හරිම ඒකාකාරී බවක් දැනුණා. ඒ නිසා රැකියාවෙන් ඉවත් වුණා. මගේ සැමියා කොහොමත් විදෙස්ගත රැකියාවක නිරත කෙනෙක්. ඒ නිසා වෙනසකටත් එක්ක මමත් විදෙස්ගත වුණා. නිදහසේ ගත කරන කාලයේ මගේ සිංහල දැනුම වැඩි දියුණු කරගන්න හිතුවේ මගේ අධ්‍යාපන කටයුතු සියල්ලම පාහේ ඉංග්‍රීසි භාෂාවෙන් සිදුවූ නිසා. එහි ප්‍රතිඵලයක් ලෙසින් පුංචි පුංචි කවි ආදිය පරිවර්තනය කළා. ඊට පස්සෙ නිකම් ආසාවට වාගේ පාවුලෝ කොයියෝගේ "බ්‍රීඩා" පොත පරිවර්තනය කළා."

ඊට හිමිවුණු ප්‍රතිචාර කොහොමද?

" ප්‍රතිචාර නම් ඉතා ඉහළයි. මම 2019 වසරේ දී මේ පොත විදර්ශනා ප්‍රකාශන හිමිකරු ජනක ඉණිමංකඩ මහතාට බාර දෙද්දි මෙහෙම ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුණේ නෑ. නමුත් පාඨකයන් බ්‍රීඩා ව ආදරයෙන් වැලඳගත්තා. ඒ උත්තේජනය කොයිතරම් ද කියනවා නම් ඊට පස්සෙ ජපන් ජාතික ලේඛිකාවක් වූ යෝකෝ ඔගාවාගේ "ද හවුස් කීපර් ඇන්ඩ් ද ෆ්‍රොපෙෂර් "කෘතිය ඉලක්කමට පෙම් බැඳි මිනිසා" නමිනුත් ඇල්බෙයා කැමූගේ "මහාමාරියා" කෘතියත්, ගර්ෂියා මාකේස්ගේ ජීවිත කතාව " කියනු වස් පවතිමි" කෘතියත් පරිවර්තනය කර පාඨකයන් අතට පත් කළා."

පොත් ලියන්න පසුකාලීනව යොමු වුණත් ඔබ කුඩා කාලයේ ඉඳන්ම පොත පතට වැඩි නැඹුරුවක් දැක් වූ දැරියක්.

" අනේ ඔව්. මම පුංචි කාලේ ඉඳන්ම පොත් කියවන්න හරිම ආසයි. මගේ අම්මා, තාත්තා, අක්කා වාගේම මාමලා, පුංචිලා ඒ කියවීමට ලොකු පෙළඹවීමක් ඇති කළා කිව්වොත් නිවැරැදියි. මොකද ඔවුනුත් නිතරම පොත පත ඇසුරු කරනවා වාගේම අපිට පොත පත ගෙනැත් දුන්නා."

පොත් ලියනවාට අමතරව ඔබේ විනෝදාංශ ගැන මතක් කරමු.

" මම නැටුම්වලට හරිම ආසයි. ඒ වගේම චිත්‍ර අඳින්න, සංගීතය රස විඳින්න, හොඳ චිත්‍රපට බලන්න වාගේම රට රටවල්වල සුන්දර ස්ථාන නරඹන්න යන්නත් හරිම කැමැතියි. නිදහස අගය කරන මම නිදහසේ, සැහැල්ලු ජීවිතයක් ගත කරන්නයි කැමැත්ත."

මේ හැමදේකම පිටුපස්සෙන් ඉඳගෙන ධෛර්යය සපයන ඔබේ ආදරණීය සැමියා ගැනත් කියමු නේද?

" මගේ සැමියා තිමිලක මලින්ද තෙන්නකෝන්. හරිම ආදරණීය සැමියෙක්. මාව හොඳින්ම තේරුම් ගත්තු කෙනෙක්. තිමිලක පොත් පත් කියවන්න කැමැති නෑ. හැබැයි මගේ ලේඛන කටයුතු වෙනුවෙන් මාව නිතරම උනන්දු කරනවා. මාව අගය කරනවා. හැම තිස්සෙම සතුටින්, සැහැල්ලුවෙන් ඉන්න ජීවිතයක් මට ලබා දීම තමයි එයාගේ ආසාව. එයා කවදත් සාම්ප්‍රදායික සැමියෙක් නොවේ. අපි හොඳ යාළුවෝ දෙන්නෙක් වාගේ එකිනෙකා තේරුම් අරගෙන ජීවත් වෙනවා."

ඉදිරි කටයුතු ගැන සඳහන් කළොත්.....

" මේ දිනවල දොස් තොස්තිගේ

" ඉඩියට් " සහ ස්විස් ජාතික ලේඛක මාටින් ෂුටර්ගේ "ස්මොල් වර්ල්ඩ්" පොත් දෙක පරිවර්තනය කරගෙන යනවා. ඉදිරියේ දී ස්වතන්ත්‍ර පොතක් දෙකක් කරන්න වාගේම කවි පොත් කිහිපයක් පරිවර්තනය කරන්නත් කැමැත්තක් තිබෙනවා."

 

************************************

අම්මා තමයි මගේ ලෝකය

නීතීඥ එරංගා සඳමිණී දිසානායක

තනියම යන්න බය වුණත් කවදාකවත් බයයි කියලා පෙන්නුවේ නෑ..'

 

සුමුදු මොළකැටි අතපය, ළදැල්ලක් සේ සැණෙකින් සසැලෙනා සිත, අව්රැල්ලට පවා රතු වී වෙහෙසට පත්වන ගත මේ ගැහැනිය එහෙමත් නැතිනම් කාන්තාව පිළිබඳ බොහෝදෙනකුගේ හඳුනාගැනීමයි. එහෙත් ඔබ මොහොතකට සිතුවා ද පිටතට නො පෙනෙන ඒ සිතෙහි ශක්තිය කෙතරම් ද කියා.

 

ලොවක බර උසුලනා මිහිතලය සේම කාන්තාව ද සියලු දුක් දොම්නස් ළතැවුල් උහුලා දරා හිඳින්නීය. වැටි වැටී නැඟී සිටින්නීය. තලන්නට, පෙළන්නට තව තවත් ශක්තිමත් වන්නීය.

එවන් අපූරු ගැහැනු පෞරුෂයට කවදත් හිස නමා ආචාර කරන, ඇයව අගය කරන තරුණී පිටු අතරට කැඳවාගෙන එන ෙම් දිරිය දියණිය ද එවැන්නියකි. කෙතරම් බාධක, දුක් කම්කටොලු පැමිණිය ද අැය සිය අධිෂ්ඨානය අත් නො හැරියාය. වැටෙන, වැටෙන මොහොතක් පාසා දෙපයින් නැඟී සිටිමින් අද දවසේ පැහැබර අනාගතයක් දෙස බලා හිනැහෙන්නීය.

ඇය එරංගා සඳමිණී දිසානායක. 2020 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයේ දක්ෂතම ශිෂ්‍යයන් හතරදෙනා අතරින් එක් අයකු වන්නේ ඇයයි. ඒ වාගේම නීති පීඨයේ දක්ෂතම ශිෂ්‍යාව ලෙසින් සම්මාන ලබන්නේ ද එරංගායි. පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරියක ලෙසින් දිවුරුම් දුන් එරංගා පසු කරගෙන පැමිණි ගමන් මඟ එතරම් සුව පහසු වූවක් නොවේ. අපේ රටේ තවත් දියණියකට දිරිය, සවිය සපයන්නට ඇය මෙලෙස සිය හඬ අවදි කළාය.

 

මගේ උපන්ගම මාතර. මම දන්න දවසේ ඉඳන් මගේ එකම නෑදෑයා වුණේ අම්මා. ගර්ලි මධුරි පරණවිතාන නම් වූ ඇය කෘෂිවිද්‍යා ගුරුවරියක්. අවුරුදු ගණනාවක් අම්මා සේවය කළේ ඈත දුෂ්කර පාසල්වල. ඒ නිසාම අපි දෙන්නගෙ ජීවිතත් හරිම දුෂ්කර වුණා.

 

පාසල් ගමන

ඇත්තටම කිව්වොත් මගේ පාසල් ගමන ආරම්භ වෙන්නෙ මව් කුසේ සිටිය දී කියලමයි අම්මා නම් කියන්නෙ. මම ඇයගේ කුසයේ පිළිසිඳ ගත් දවසේ ඉඳන් ඇය සමඟ පාසල් ගියා. ඊට පස්සෙ ළදරු මාව දාලා යන්න කෙනෙක් නැති නිසා මාව පාසලට රැගෙන අම්මා පන්ති කාමරේ පැත්තක මේසයක මාව නිදි කරවනවාලු. අම්මගේ

ශිෂ්‍යයෝ තමයි මාව නැළෙව්වෙ, හුරතල් කළේ. අවුරුද්දක්, දෙකක් වෙද්දි පුංචි සුදු ගවුමක් ඇඳලා අම්මගේ බයිසිකලයේ ඉදිරිපස කූඩයට බැහැලා ගිය ඒ ගමන ගැන තාමත් මගේ හිතේ තියෙන්නෙ සුන්දර මතකයක්.

ප්‍රාථමික අධ්‍යාපන කටයුතු සඳහා මාව ඇතුළත් කළේ තංගල්ල ප්‍රාථමික විද්‍යාලයට. හැබැයි අම්බලන්තොට දුෂ්කර පාසලක හිටපු අම්මාට මාරුවක් ලැබුණේ නෑ. ඒ නිසා ඇය මාව පාසල් නේවාසිකාගාරයේ නැවැත්තුවා. ඒ නිසා පාසලට ඇතුළත් වන පළමු දවසෙත් මට පිටත් වෙන්න සිදු වුණේ මේ නේවාසිකාගාරයේ ඉඳලයි. ඒ විදිහට අවුරුදු 1 1/2ක් අපි දෙන්නා දෙපැත්තක හිටියා. බැරිම තැන අම්මා මගේ පාසල ළඟ බෝඩිමකට ආවා. මුහුද ආසන්නයේ තිබුණු මේ බෝඩිමෙන් අපි ඉවත් වුණේ සුනාමියට මාස හතරකට කලින්.

මම හතර වසරේ ඉගෙනගද්දි ආයෙමත් අපේ පදිංචිය තිබුණේ අම්බලන්තොට. උදේ පාසල් වෑන් රියක ගියත් සවස් වරුවේ තිබුණු අමතර ශිෂ්‍යත්ව පන්තිය නිසා මට තනියම බස් එකේ තමයි එන්න වුණේ. පැයක් විතර ගතවන ඒ ගමන තනියම යන්න බය වුණත් හැබැයි කවදාකවත් බයයි කියලා පෙන්නුවේ නෑ. ඒ මොකද මම දන්නවා අපි දෙන්නාගෙන් කාටහරි කැපවීමක් කරන්නම වෙනවා කියලා.

හැමදාමත් පන්තියේ පළමුවැනියා වුණු මම කථික තරගවලට ඉදිරිපත් වුණේ පුදුමාකාර ආසාවකින්. මගේ පාඩම් මේසය ඉදිරිපිට සඳහන් කරලා තිබුණේ.

 

"එරංගා ඔයාට පුළුවන්.

ශිෂ්‍යත්වයට ලකුණු 200ම ගන්නවා. මම කවදාහරි කථිකාචාර්යවරියක් වෙනවා." කියලයි.

කිව්වා වාගේ මාතර දිස්ත්‍රික්කයෙන් ඉහළ ලකුණු අරගෙන මම ශිෂ්‍යත්වය පාස් වුණා. කොළඹ දේවි බාලිකාවට මාව තේරුණා. නමුත් ඒ වෙලාවෙත් අම්මට කොළඹට මාරුවක් ගන්න පරක්කු වුණා. පුංචිම කාලේ නේවාසිකාගාරයේ හිටපු නිසාද මන්දා අම්මා නැතිව කොළඹ එන්න මම කැමැති වුණේ නෑ. ඒ නිසා මාව ටික කාලයකට කියලා ශාන්ත තෝමස් උසස් බාලිකාවට ඇතුළු කළා. හැබැයි ඒ මාරුව අවුරුද්දෙන් අවුරුද්ද ප්‍රමාද වුණු නිසාම මම උසස් පෙළ කළෙත් ඒ පාසලෙන්මයි.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළට මුහුණ දුන් මම විෂයයන් නවයටම A සාමාර්ථ හිමි කරගත්තා. හැබැයි පන්තියේ හැමෝම උසස් පෙළ සඳහා විද්‍යා, ගණිත විෂයයන් තෝරා ගත්තත් මම තේරුවේ කලා විෂයයන්. අවසානයේ 2015 වසරේ මාතර දිස්ත්‍රික්කයේ පළමුවැනියා විදහට A/L විභාගය සමත් වන්න මට හැකියාව ලැබුණා.

 

ක්‍රීඩා කුසලතා

මම කවදාවත් පොත පතේ ඇලීගෙන හිටපු කෙනෙක් නෙමෙයි. නමුත් හැම වාරයකම වැඩිම විෂයය ලකුණු තිබුණේ මට. සාහිත්‍ය, දැනුම මිනුම, ගද්‍ය රචනා, කථික ආදී තරගවලින් සමස්ත ලංකා ජයග්‍රහණයන් හිමි කරගත්තා පමණක් නොව ක්‍රීඩාවට පුදුමාකාර විදිහට ඇලුම් කළා. උස, දුර, කඩුළු පැනීම් අාදී ඉසව්වලින් පළාත් මට්ටමේ ජයග්‍රහණ මා සතු වුණා. ශිෂ්‍ය නායිකාවක්, විවාද කණ්ඩායම් නායිකාවක් විදිහට කටයුතු කළ මම සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම නිවේදන කටයුතු කළා. ඇත්තටම මේ හැමදේම මගේ ජීවිතය සාර්ථකත්වය කරා මෙහෙය වූවා.

 

අම්මා

අම්මා තමයි තව අදටත් මගේ ලෝකය. මම පුංචි කාලේ ඉඳන්ම ඇය පුදුමාකාර දුකක් වින්දා. ජීවිත කාලය පුරාවටම අපි දෙන්නට ජීවත් වෙන්න වුණේ බෝඩිංවල. අපේ අම්මා බොහෝම අමාරුවෙන් ණය මුදලක් අරන් පුංචි ඉඩම් කෑල්ලක් ගත්තා.

 

හැබැයි ඒකෙ හදාගත්තු පුංචි නිවාස කෑල්ලෙ පවා අපිට ඉන්න නො හැකි වුණේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැහැනු හැමදාමත් අසරණ වෙන නිසා.

මගේ අම්මට කාලයක් තිස්සෙ පපුවේ මහන්සිය හැදෙනවා. ඒ වෙලාවට අපි දෙන්නම සති ගණන් රෝහල්වල. රෑට අම්මගේ ඇඳ යට නිදාගන්න මම උදේට රෝහලේ නාන කාමරයෙන් ලැහැස්ති වෙලා පාසල් යනවා. දවල්ට ඇවිත් අම්මට කවලා හවස පන්ති ඉවර වෙලා ආයෙමත් එනවා. රෑට පාසල් වැඩ කළේ රෝහල් කොරිඩෝවේ ඉඳගෙන. එහෙම කරලා තමයි මම උසස් පෙළ ජයගත්තෙ.

විභාගය ඉවරවෙලා මම පන්ති කරන්න පටන් ගත්තා. ඒ ලැබෙන මුදල්වලින් ඩිප්ලෝමා කිහිපයක්ම කරගන්න හැකි වුණා. 2017 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පස්සෙ අම්මට කොළඹට මාරුවක් ගන්න හැකියාව ලැබුණා. නවාතැන් ගාස්තු, කෑම, බීම, බස් ගාස්තු, අම්මගේ බෙහෙත් මේ හැමදේටම ලොකු වියදමක් වුණා. ඒ නිසා අපි දෙන්නම හවස් වරුවට පුංචි පුංචි රැකියාවල් කිහිපයක්ම කළා. ඔන්ලයින් වැඩ කළා. එහෙම තමයි මේ හැමදේම කරගත්තෙ.

කැම්පස් එක ඇතුළෙදිත් මම ක්‍රීඩා කළා. බාහිර වැඩ බොහොමයක් කළා. කෙටි කතා, කවි ලිව්වා. නිවේදන කටයුතු කළා. අන්තිමට විශ්වවිද්‍යාලයේ දක්ෂතම ශිෂ්‍යයන් හතරදෙනා අතරට වාගේම නීති පීඨයේ දක්ෂතම ශිෂ්‍යාව වෙන්නත් මට හැකියාව ලැබුණා. ආධුනික නීතීඥවරියක් විදිහට කටයුතු කරපු මම පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරියක් විදිහට දිවුරුම් දුන්නා. මම කථිකාචාර්යවරියක් වෙන්න තමයි හීන දැක්කෙ. එය ඉටුවෙන තුරා ආසාවෙන් මඟබලා ඉන්නවා.

අපි හීන දකින්න ඕනේ. ඒ හීන පසුපස හඹා යන්න ඕනේ. හිතේ අරමුණු ජයගන්න නම් කැපවීම, අභියෝග ජය ගැනීම වැටෙන කොට ධෛර්යයෙන් නැඟී සිටීම තිබිය යුතුමයි. මම කවදත් හිතන්නෙ ජීවිතේ හැමදේම සිදුවන්නෙ හොඳටයි කියලා.

මගේ ජීවිතය පුරාම සෙවණැල්ල වුණු අම්මාට වාගේම මගේ පාසල් දෙකට, දහම් පාසලට, කොළඹ විශ්ව විද්‍යාලයට, පුංචි කාලේ ඉඳන් අකුරු කළ ගුරුවරුන්ට, අම්බලන්ගොඩ මෙට්රෝ සිංහ සමාජයට, මම වැටෙන කොට සවියක් වුණු හැම දෙනාටම හිස නමා ආචාර කරන්න මෙය අවස්ථාවක් කරගන්නවා.

 

ඡායාරූප - ශාන් රූපස්සර