ආරක්ෂක ක්‍රම තුනක් යොදාගෙනයි මේ තරගය ජයග්‍රහණය කළේ

සැප්තැම්බර් 19, 2022

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ රන් සලකුණ තැබූ දිනයක්... අප පසුගිය දා පසු කළේ මහත් අභිමානයෙනි. ඒ අභිමානවත් ජයග්‍රහණ දෙක ගැනම කතා නොකරන ශ්‍රී ලංකිකයකු නොමැතිය. ඒ ජයග්‍රහණ දෙකම අප රටට රැගෙන එන්නේ රටක් ලෙස ආර්ථික අතින් අසීරුතම මොහොතකය. මේ අසීරුතම මොහොතේ ලෝකය හමුවේ අපේ ශක්තිය මෙතෙකැයි කියා කියන්නට හොඳම අවස්ථාව උදා විය.

තරුණී පුවත්පත ශ්‍රී ලංකාවේ පුරෝගාමී කාන්තා පුවත් පතක් ලෙස ඒ ගැන සටහන් තැබිම යුතුකමකි. එහෙත් අප තබන සටහන සුවිශේෂිතය. අපගේ ක්‍රිකට් කණ්ඩායමත්, නෙට්බෝල් කණ්ඩායමත් ලබාගත් ජයග්‍රහණයන් දෙකම දිනා ගැනීම පසුබිමේ ඇත්තේ දැවැන්ත ශක්තියකි. ඒ ශක්තිය ක්‍රීඩා පිටිය තුළ දකින ක්‍රීඩා කෞෂල්‍යයට වඩා ප්‍රබල ක්‍රියාවලියකි. එම යෝධ යන්ත්‍රණයේ එක් හස්තයක් වන්නේ ක්‍රීඩා පුහුණුකරුවන්ය. අප මේ ජයග්‍රහණයෙන් පසුව සොයා ගියේ ඒ ජයග්‍රහණයට යෝධ සෙවණැල්ලක් වූ එම පුහුණුකාරිනියයි.

 

හයිසින්ත් විජේසිංහ... ඇය ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ පුහුණුකාරිනියයි. මේ ජයග්‍රහණය පිළිබඳ ඇය අප හමුවේ තැබූ අදහස් පෙළ ඉතාම වැදගත්ය. එය නවක ක්‍රීඩිකාවන්ට ද මහඟු ආදර්ශයකි. දර්ශනී ශිවලිංගම් වැනි ක්‍රීඩිකාවක් අප කණ්ඩායමේ සිටීම පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක දී ජාත්‍යන්තරය හමුවේ ඇය දැක්වූ අදහස් ලෝකයට විශාල පණිවුඩයක් රැගෙන ගියාය.

"ක්‍රීඩා පිටියෙන් පිටත මොන ප්‍රශ්න තිබුණත් ක්‍රීඩා පිටිය තුළ අපේ කණ්ඩායම පුදුම එකමුතුවක් තිබුණේ. ඒ එකමුතුව තමයි මේ ජයග්‍රහණයේ ලොකුම රහස. පුහුණුකාරිනිය කියන දෙයට ඔවුන් හැම වෙලාවෙම ඇහුම්කන් දුන්නා. ඒ වගේම අපි හැම තරගයක් අවසානයේම ඒක හොඳට analyze කළා. මැච් එක ඉවර වුණු ගමන් අපේ වැරැදිත් ප්‍රතිවාදී කණ්ඩායමේ ශක්තියත් ගැන හැම වෙලාවෙම කතා කළා. ඒ වගේම අපි ඒ අයගේ ශක්තිය කඩන්නේ කොහොමද කියලා Plan කරපු නිසා තමයි අපගේ මේ ජයග්‍රහණය දිනාගන්න හැකියාව ලැබුණේත්.

 

උදේට අපි පුහුණුවට පෙර කතා කරන්නේ අපේ දුර්වලතා නැති කරගන්නා හැටි. ඒ වගේම ප්‍රතිවාදී කණ්ඩායමේ ශක්තිය බිඳින හැටි සැලසුම් කරනවා. තව දෙයක් තමයි අපි mach එකේදී එකමුතුව සෙල්ලම් කරන ආකාරය ගැන හැම වෙලාවෙම කතා කරනවා. තර්ජනීට Pass එක මදි ද... ආරක්ෂාව වැඩියෙන් දෙන ආකාරය කරන්නේ කොහොමද කියලා සැලසුමක් හැදුවා. අපිට හැදෙන්න අවශ්‍ය සියලු දේවල් අප ඉක්මනින් නිවැරැදි කර ගත්තා. එහිදී විශේෂයෙන් නායිකාව සහ උප නායිකාව වන ගයනි සහ චතු ප්‍රවීණ ක්‍රීඩිකාවක් ලෙස ජයග්‍රහණයට උර දීලා කටයුතු කිරීම අගය කළ යුතුයි. ඒ වගේම සේමිණිත් සහාය දුන්නා. ඊට අමතරව අපගේ කණ්ඩායමේ ළා බාල අයත් හැකි පමණින් උදව් කළා.

 

මෙවර ආසියානු ශූරතාවය වෙනදාට වඩා වෙනස්. අපිත් එක්ක තරග කරපු හැම කණ්ඩායමකම හිටියේ හොඳ පුහුණුකාරිනියන්. විශේෂයෙන් ඒ අය විදේශ රටවල පුහුණුකාරිනියන් ගෙන්වාගෙන තිබුණා. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල පුහුණුකාරිනියන් තමයි ඒ රටවල පුහුණුකාරිනියන් වී තිබුණේ. ඇත්තටම සිංගප්පූරු කණ්ඩායමේ පුහුණුකාරිනිය වුණේ World cup එකක්, Commonwealth එකක් දිනපු පුහුණුකාරිනියක්. එයාගේ මඟ පෙන්වීමත් එක්ක තමයි

 

අපට මේ game එක ලැබෙන්නේ. එහිදී මම පුහුණුකාරිනිය ලෙස මගේ උපායශීලී ක්‍රම වෙනස් කරන විට ඒ පුහුණුකාරිනියත් එයාගේ උපායන් වෙනස් කරමින් තමයි පිටියෙන් පිටත සටන සිද්ධ වුණේ.

අපි අර්ධ අවසාන තරගයට ක්‍රීඩා කළේ හොංකොං කණ්ඩායමත් සමඟ.

 

 

 

ඒ කණ්ඩායම හොඳින් තරග කරනවා. ඒ වගේම තමයි අවසාන මහා තරගයේ දී පළමු වටයේ දී අපි හිටියේ තරමක් පහළ. ඒකට හේතුව අපේ කණ්ඩායමේ මුලින්ම තරගයට ප්‍රවේශවීමේ ප්‍රමාදයක් තිබුණා. ඇත්තටම සිංගප්පූරු කණ්ඩායම හිටියේ ඉතාම හොඳ මට්ටමක. ඔවුන් මේ තරගයට ප්‍රවේශ වූ විට විදේශ සංචාර තුනක් අවසන් කරලා පැසිෆික් කියන තරගයත් දිනාගෙන හිටියේ. ඔවුන් ලොකු පළපුරුද්දක් ලබාගෙන හිටියා. අපට ඒ පළපුරුද්ද නැති වුණා.

 

මම හිතනවා එතැන අපට ලොකු තර්ජනයක් වුණේ. තරග පිටියේ ක්‍රීඩා ලෝලීන්ගෙන් ඔවුන්ට විශාල දිරි ගැන්වීමක් තිබුණා. ඔහුන් ඝෝෂා කරමින් සිංගප්පූරු කණ්ඩායම දිරි ගන්වන විට අපේ ක්‍රීඩිකාවන්ට කියන කිසිම දෙයක් ඇහනේනේ නැති වුණා. මෙවර තමයි Asia game එක වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹපු තරගය. ඒකත් අපට ලොකු අවාසියක් වුණා.

 

මම දැනගෙන හිටියා අපේ කණ්ඩායම මර්දනය කරන්න විවිධ උපක්‍රම යොදන බව. අපේ කණ්ඩායම ඒකට විශාල ආරක්ෂාවක් දුන්නා. චතු, ගයනි, මල්මී, භාෂි, ගයන්ජලී defence court එකම traces line එකත් එක්කම defence කළා. අපි defence ක්‍රම තුනක් අනුගමනය කරමින් තමයි තරග කළේ.

අපේ කණ්ඩායමේ දැන් ඉන්නේ හොඳ දක්ෂ පළපුරුදු ක්‍රීඩිකාවන්. මම දන්නේ නැහැ. ඒ ක්‍රීඩිකාවන් දිගටම ක්‍රීඩා කරයි ද කියන එක. මම හිතනවා World cup එක අපට ජයග්‍රහණය කිරීම අභියෝගයක්. නමුත් අපට ජයග්‍රහණය කරගන්න බැරිකමක් නැහැ. ඒ තරගයට තර්ජනී ශිවලිංගම් සමඟ යන්න හැකියාව තිබුණොත් අපේ කණ්ඩායමට විශාල වාසිදායකයි. ඒ උස World Cup එකට හරිම වාසිදායකයි. මම හිතනවා තර්ජනී ශිවලිංගම්ට ආරාධනා කළොත් ලබන වසරේදීත් ඇය ක්‍රීඩා කරයි. එසේ ක්‍රීඩා කළොත් අපේ කණ්ඩායම ශක්තිමත් ලෙස

තරගයට මුහුණ දේවි. එසේ නොහැකි වුවහොත්් ලා බාළ කණ්ඩායමක් යොදා ඊළඟ වසරේ ආසියානු ක්‍රීඩා ශූරතාවය දිනා ගැනීම තමයි හොඳම ක්‍රමය වන්නේ."

 

 

ඡායාරූප අන්තර්ජාලයෙනි