රට වෙනුවෙන් කැප වෙන්නටතවදුරටත් සූදානම්

දැන් දරුවෝ අභියෝගවලට බයයි - දර්ශා
නොවැම්බර් 14, 2022

 

වේලාව පෙරවරු 9.00ට ආසන්නය. තලවතුගොඩ බුද්ධදාස ක්‍රීඩාංගණය අසල රැඳී සිටින මගේ නෙත හුරුපුරුදු රුවක් මත ගැටේ. අවුරුදු 15ත්, 18ත් අතර වයසේ පසුවන කෙල්ලන්, කොල්ලන් පිරිසක් වට කරගෙන ඇය යමක් පහදන්නීය. වසර ගණනාවක් ආපස්සට මතකය පියඹා ගියේ සැණෙකිනි. ඇසිපිය හෙළන වේගයෙන් මීටර් 200, 400 පසුකර යන ඒ ජවය, ශක්තිය තවමත් එලෙසම යැයි මොහොතකට මට සිතිණි.

 

තවමත් නොබිඳුණු ආසියානු වාර්තා 06ක් හිමි අපේ කාලයේ ක්‍රීඩා තරුව දමයන්ති දර්ශා මෙලෙස හමුවන්නේ වසර කිහිපයකට පසුවයි. මේ වන විට සිය දියණිය ද ඇතුළු තවත් සිසු පිරිසකගේ පුහුණුකාරියක ලෙසින් ඈ කටයුතු කරන්නීය.

 

අදින් ඇරඹෙන අම්මයි දුවයි විශේෂාංගය වෙත මේ මවත්, දියණියත් කැඳවාගන්නේ ද ඔවුන් සතු ඒ අලුත් තොරතුරු ඔබට කියන්නයි.

 

ඉතින් කොහොමද දර්ශා. දැනට වසර ගණනාවකට ඉහතදී තරගකාරියක ලෙසින් අප හමුවූ ඔබ දැන් පුහුණුකාරිනියක්.

"ඔව්. වසර 20ක් පුරාවට තරග බිමේ රැඳී සිටි මම 2016න් පසුව ක්‍රීඩාවෙන් සමුගත්තා. අනතුරුව 2018 දී විතර තමයි පුහුණුකාරිනියක ලෙසින් කටයුතු ඇරඹුවේ. ඒත් කොරෝනා වසංගතයත් එක්ක ඒ සියලු කටයුතු නැවතිලා. දැන් හෙමින් නැවතත් පුහුණුවීම් ආරම්භ කළා."

 

ඔබ වෙනුවට දැන් දියණිය පුහුණුවීම් කරනවා.

"ඇය කුඩා කාලයේ දී නම් ක්‍රීඩාවට එතරම් කැමැති වුණේ නෑ. ඒත් තේරෙන වයසට එනවිට පාසලේදී ක්‍රීඩාවලට සහභාගි වුණා. අනතුරුව මම පුහුණුකාරිනියක ලෙසින් කටයුතු ආරම්භ කරද්දී ඇයත් පුහුණුවීම් සඳහා පැමිණියා. මේ වසරේ අවුරුදු 16න් පහළ චැම්පියන් ඇය."

 

ඉතින් එසඳි මොනවද ඔයාගේ බලාපොරොත්තු.

අම්මා වාගේම අපේ රටට ජයග්‍රහණ රැගෙන එන්න අදහසක් නැතිද?

"මම පුළුවන් තරම් හොඳින් ක්‍රීඩාවේ යෙදෙනවා. මගේ හැකියාවට යන්න පුළුවන් තරම් දුරකට යන්නත් බලාපොරොත්තු වෙනවා. දැනට මීටර් 100 සහ 200 තරග කරන අතර ඉදිරියේ දී මීටර් 400ත් කරන්න හිතාගෙන ඉන්නවා."

 

එතකොට ඔබේ අනාගත බලාපොරොත්තුව අම්මා වගේම දක්ෂ ක්‍රීඩාවක් වීම.

"මම ඉගෙනීමේ කටයුතු හොඳින් කරගෙන වෛද්‍යවරියක් වීමයි බලාපොරොත්තුව. ඊට අමතරව ක්‍රීඩාවේ ඉහළට යන්නත් කැමැතියි. ඉතින් ඉගෙනීමයි, ක්‍රීඩාවයි දෙකම සමබරව හොඳින් කරගෙන යන්න උත්සාහ දරනවා."

 

එසඳි සිරිවර්ධන කියන්නේ දර්ශාගේ වැඩිමහල් දියණිය. ඔබට තවත් පුතුන් දෙදෙනකු සිටිනවා. ක්‍රීඩාවට ඔවුන්ගේ දායකත්වය කොහොමද?

"මගේ ලොකු පුතා දිසඳුට වයස අවුරුදු 12යි. එසඳිටත් කලින් පුතා තමයි මා එක්ක පුහුණුවීම් කළේ. නමුත් ඔහු පාසල් ක්‍රිකට් ටීම් එකට තේරුණාට පස්සෙ පුහුණුවීම් අත්හැරුණා. දැන් අධ්‍යාපන කටයුතුවලට අමතරව ඔහුගේ සම්පූර්ණ කාලයම වැය කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්. පොඩි පුතා විනුත්ට තාම වයස අවුරුදු හතයි. එයා නම් තවම ක්‍රීඩාවක් තෝරාගෙන නැහැ."

 

ඔබ රැකියාවක නියුතු කාන්තාවක්. ඊට අමතරව මවක්, පුහුණුකාරිනියක් විදිහට කාර්යබහුල තැනැත්තියක්.

"මම තවමත් MAS ආයතනයේ රැකියාව කරනවා. ඊට අමතරව සතියේ දින දෙකක සවස් කාලයේත්, සෙනසුරාදා, ඉරිදා උදය වරුවත් පුහුණුකාරිනියක විදිහට පිට්ටනියට එනවා. දරුවන්ගේ පාසල් කටයුතු, පන්ති, ගෙදර වැඩ මේ හැමදේම සමබරව කරගෙන යනවා. ඉවුම් පිහුම් වැඩවලදී නම් මගේ අම්මා ලොකු සහයෝගයක් දෙනවා. ඊට අමතරව දරුවන්ගේ වැඩවලදී මහත්තයාගෙන් ලැබෙන දායකත්වය විශාලයි. විශේෂයෙන්ම ලොකු පුතාගේ පිටුපස හිඳිමින් සියලුම දේ ඉටු කරන්නෙ මහත්තයා තමයි. අපි තුන්දෙනාම එකතු වෙලා සමබරව මේ දේවල් කරගෙන යනවා."

 

ඉදිරි බලාපොරොත්තු ගැනත් සඳහන් කළොත්.

"මගේ ඇකඩමියේ වැඩ කටයුතු වාගේම දරුවන්ගේ කටයුතුත් හොඳින් කරගෙන යෑමයි බලාපොරොත්තුව. මා සතු දැනුම, අත්දැකීම් හැමදේම ඔවුන්ට ලබා දෙනවා. හරිදේ හරියට කියාදී පාසල් මට්ටමින් දරුවන් ටිකක් සූදානම් කරවීම තමයි බලාපොරොත්තුව.

 

ඔබ කාන්තාවක් විදිහට ක්‍රීඩාවට පිවිසෙන දියණියන්ට උපදෙසක් ලබා දුන්නොත්....

"ඇත්තටම කිවුවොත් අපේ කාලයේ වගේ නෙවෙයි දැන් දරුවෝ ක්‍රීඩාවෙන් ඈත් වෙලා. ඒ වගේම අභියෝගවලට මුහුණ දෙන්න බයයි. පුංචි ප්‍රශ්නයක් මතු වුණත් ජීවිතයෙන් පලායන්න උත්සාහ දරනවා. සෞඛ්‍ය අතිනුත් පිරිහිලා. ඒ නිසා පුතාලා වගේම දුවලාත් ක්‍රීඩාවට යොමු වීම ඉතා වැදගත්. නීරෝගිමත් ජීවිතයකට ක්‍රීඩාවේ නිරත වීම අත්‍යවශ්‍යයි. ඒ වාගේම ක්‍රීඩාව හරහා ජීවිතයට ලැබෙන මනා පුහුණුව, විනය වැනි දේවල් පරිපූර්ණ ගැහැනියක් වීමට බලපානවා. ඒ නිසා මම නම් කියන්නෙ සෑම දරුවෙක්ම කුමක් හෝ ක්‍රීඩාවක නිරත විය යුතුමයි."

 

ඡායාරූප - ශාන් රූපස්සර