කිබේරාවේ පාදසලන බැලේ නැට්ටුක්කාරියෝ

නොවැම්බර් 14, 2022

බදාදා හවස් වරුවේ ස්කෝලෙ අන්තිම බෙල් එකත් වැදුණට පස්සෙ තමයි ඔක්කොම පටන් ගන්නේ. සිමෙන්ති බිත්ති සහිත පන්ති කාමරයක් බැලේ ස්ටූඩියෝ එකක් බවට රූපාන්තරණය වෙන එක ටිකක් අමුතුයි. ඒත් නයිරෝබියේ, කිබේරා ප්‍රදේශයේ මේ අමුතු වැඩ වෙනවා. මුලින්ම පන්ති කාමරේ තියෙන ඩෙස්, බංකු ටික අස් කරනවා. පොළොවෙ ඇලිලා තියෙන දූවිලියි, වැලි ටිකයි කඩිනමින් පිහිදැමෙන්නෙ ඊළඟට. 20ක විතර ගෑනු ළමයි කණ්ඩායමක් නිල්, රෝස සහ දම් පාට බැලේ ඇඳුම් ඇඳගෙන මඟ බලාගෙන ඉන්නෙ මයික් වමායා ගුරුවරයා මියුසික් ප්ලේයරය අරගෙන කොයිවෙලේද එතනට ප්‍රාදූර්භූත වෙන්නෙ කියලා හිතමින්. ගුරුවරයා ආපු ගමන් කරන්නෙ මියුසික් ප්ලේයරය පණ ගන්වන එක. ඔන්න ඊළඟට ශාස්ත්‍රීය සංගීතයක් ගුවනේ පාවෙනවා, ගෑනු ළමෝ තමන්ගේ නැ‍ටුම් පටන් ගන්නවා.

 

පහුගිය මාස 18ක් තිස්සේම වමායා සහ ඔහුගෙ බැලේ ශිෂ්‍යාවෝ එක්ක මේ පන්ති කාමරයේ තවත් කෙනෙක් හිටියා. ඒ, ස්වීඩන් ජාතික ඡායාරූප ශිල්පියෙක් වුණ ෆෙඩ්‍රික් ලරිනරිඩි. බදාදා රාශියක් තමන්ගේ ශරීරයට උරා ගනිමින් ෆෙඩ්‍රික් කළේ පින්තූර ගන්න එක. "මුලින්ම ගෑනු ළමයි හැසිරුණේ හරිම සබකෝලෙකින්. පහු වෙනකොට මම එතන ඉන්න එකත්, පින්තූර ගන්න එකත් එයාලට ගාණක් නැතිම වුණා." ඊට පස්සෙ ෆෙඩ්‍රික් මේ නැ‍ටුම් පාසලට ආශක්ත වුණ හේතුවත් වමෑරුවා. "බැලේ නර්තනය ඉහළ සමාජයේ දෙයක් කියලා මගේ අවිඥානයේම තැන්පත් වෙලා තිබ්බා. නයිරෝබියට ආසන්නයේ පිහිටලා තියෙන කිබේරා වගේ ගමක ළමයිට බැලේ නැ‍ටුම් පන්තියක් තියෙනවා කියන එක මට ලොකු පුදුමයක් වුණා. ඒකමයි මම මේ අයව හොයන් ආවෙ."

ආශක්තකම

 

කිහිල්ලේ ඉදන් උරහිස වෙනකන් කඳ කොටස ආවරණය වෙන්න අඳින ලියෝටාඩයත්, ඉඟටියේ ඉදන් මලක පෙති වාගේ විහිදෙන විදිහට සැකසෙන ටූටූ සහ ඉණේ සිට ඇඟිලි තුඩු වන තෙක් දිග ටයිට් කලිසම්වලින් සජ්ජිත මේ කුඩා ලේ නර්තන ශිල්පිනියන් අඳුරු පන්ති කාමරයට වර්ණ ඉහින්නාක්වගෙයි කියන්නේ ෆෙඩ්‍රික්. "මේක හීනයක් සහ බලාපොරොත්තුවක් ගැන කතාවක්. තමන් ගෙවන අතිශය සාමාන්‍ය ජීවිතේට වඩා ගොඩාක් විසාල දිනාගැනීමක්."

මේ ව්‍යාපෘතියට ෆ්‍රෙඩ්‍රික්ට 'වන් ෆයින් ඩේ' සහ 'ඇනෝස් ඇෆ්‍රිකා' යන ළමයින්ගේ කලා කටයුතු වෙනුවෙන් උදව් කරන පුණ්‍යායතන දෙකකින් ආධාර ලැබෙනවා. ෆ්‍රෙඩ්‍රික් තමන්ගේ පුද්ගලික මුදලින් ද පුළුවන් හැම වෙලාවෙම මේ අයට ආධාර දෙනවා.

ළමයින්ගේ බැලේ පන්තියට ඇති ආශක්තකම නිසාම ෆෙඩ්‍රික්ගේ මිතුරු සමාගමේ එකතුවෙන් ළමයින්ට පීසා පාටියක් දෙන්නත් තීරණය කෙරුණා. හැම කෙනෙකුටම ඔවුන් තමන් ඕනෑම සැම්පලයේ ටොපින්ස් සහිතව පීසා එකක් ලැබෙනවා. ගැහැනු ළමයින්ගේ මුහුණ එදා මල් වගේ පිපිලා. තවත් වතාවක් ෆෙඩ්‍රික්, බැලේ පන්තියේ වෙන්ඩිටත්, ඇගේ පවුලේ සියලු දෙනාටත් හිම කිරම සංග්‍රහයක් දුන්නා. "ඒ වගේ පොඩි දේවල් පවා මේ අයට මහමෙරක්. අපේ ජීවන තත්ත්වෙත් එක්ක ගත්තම මේ අය ඉන්නෙ හරිම වෙනස් තැනක. ලෝකෙ තියෙන පහසුකම්, වත්කම් සහ සම්පත් දිහා බැලුවම කිබේරාවේ ජීවත් වෙන අය ඉන්නෙ වෙනම ලෝකෙක. සම්පත් බෙදී යන එකේ වෙනස ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ තමයි. ඒත් ඒවා මේ වගේ වාතාවරණයකදී ඉතා විශේෂව, වෙනස්ව පේන්න ගන්නවා."

 

බැලේ සපත්තු

 

පැමෙලා ආඩියම්බෝ මුලින්ම බැලේ නැ‍ටුමක් දැකලා තිබ්බෙ හරිම කුඩා කාලෙදි, ටෙලිවිෂන් එකෙන්. මේ දර්ශනය කුඩා පැමෙලාගේ ඔළුවෙ ස්ථීරවම තැන්පත් වෙලා තිබ්බ බව එයාටත් වැටහුණේ පස්සෙ කාලෙකයි. 'ඇනෝස් ඇෆ්‍රිකා' පුණ්‍යාධාර සමාගමේ ආධාරවලින් ස්පර්ජන්ස් ඇකඩමිය පටන් ගත්තාම පැමෙලාව ඒ කරා ඇදිලා ගියා. කෙළවර උල් බැලේ සපත්තු දෙකක් ආසාවට වගේ දාලා බැලුවම ඒ මොහොතෙම පැමෙලා බැලේ නැ‍ටුම් ගැන පිස්සු වැ‍ටුණා. මේ බැලේ උමතුව පැමෙලාව වෘත්තීය බැලේ නැ‍ටුම් ශිල්පිණියක් වෙන සිහින දිගේ දැන් සෑහෙන දුරක් අරන් ඇවිල්ලත් ඉවරයි. දැන් පැමෙලාට වයස 16ක්.

'ඇනෝස් ඇෆ්‍රිකා' සංවිධානය එක්ක හවුල්කාරිත්වය දරන 'ආටිස්ට් ෆො ඇෆ්‍රිකා' ආයතනයේ මූල්‍යාධාරවල උපකාරයෙන් දැන් පමෙලා නයිරෝබියේ බෝඩිමක ජීවත් වෙනවා. ඒ වගේම වෘත්තීය නර්තන චිත්‍රාගාරෙක සතියෙ දවස් පහේම බැලේ පුහුණුවීම් කරනවා. "බැලේ නැ‍ටුම්, පැමෙලාගේ ජීවිතේ හරිම නාට්‍යානුසාරීව වෙනස් කරන්න සමත් වෙලා තියෙනවා." ෆෙඩ්‍රික් එහෙම කියන්නෙ හරිම ප්‍රශංසනීය විදිහකට. ඒ වගේමයි පැමෙලා කියන්නෙ දැන් කිබේරාවෙ ඉන්න අනෙක් කුඩා ගැහැනු ළමයින්ට ආදර්ශයක්. පුහුණුවීම්වලින් පස්සෙ විවේකයක් ලැබුණාම පැමෙලා ගෙදර එනවා. ඇගේ සුකුරුත්තන් බැලේ ඇඳුම ඇඟලාගෙන ගෙවත්තේ පුහුණුවීම් කරන්න ඔන්න ඈ පටන් ගන්නවා. පැමෙලා පුහුණුවෙන්නෙ කොහොමද කියලා බලන්න මයික් වමායාගේ බැලේ පන්තියේ කුඩා ගැහැනු ළමයෙකුත් ඇවිල්ලා ඉන්නවා. ඒ හැමෝටම දැන් ඕනෑකරන්නෙ පැමෙලා ගිය ගමන යන්න.

 

නට්ක්‍රැකර්

 

වතාවක් පැමෙලාට කෙන්යාවේ ජාතික රඟහලේ තිබ්බ 'නට්ක්‍රැකර්' මුද්‍රා නාටකයේ නර්තනයේ යෙදෙන්න අවස්ථාවක් ලැබෙනවා. මේ අවස්ථාවට කිබේරාවෙ තවත් බැලේ නර්තන ශිල්පිණියෝ හතර දෙනෙකුත් සහභාගි වෙනවා. මේ පැමෙලා දැන් ඇවිත් ඉන්න දුර ගැන තියපු මුද්‍රාවක් විදිහට පෙන්නන්න පුළුවන්. හැමෝටම පැමෙලාගෙ සිහිනියට යන්න ඕනෑ වීමේ කිසි අරුමයක් නැති බව පුන පුනා කියන්න අනවශ්‍යයි. ෆෙඩ්‍රික්ගේ නිරීක්ෂණවලට අනුව මේ කුඩා බැලේ නැට්ටුක්කාරියන් ක්‍රමිකව තමන්ගේ ආත්ම විශ්වාසය දියුණු කරගෙන. නර්තනය හරහා තමන්ගේ හැඟීම් ප්‍රකට කරන්න ඉගෙනගත්තාට පස්සෙයි ඒ වර්ධනය සිද්ධ වෙලා තියෙන්නෙ. ෆෙඩ්‍රික් ගත්ත එක පින්තූරෙක තියෙන්නෙ කුඩා නැට්ටුක්කාරියන් හය දෙනෙක් පොළොවෙන් උඩට එසවිලා ඉන්න මොහොතක්. මේ එක්තරා දෘෂ්‍ය රූපකයක් බවයි ෆෙඩ්‍රික් කියන්නේ. ඔහුට අනුව මේ, කිබේරාවල ඇති සරල, සාමාන්‍ය වටපිටාවෙන් එපිටට පැන නැඟුණු ගැහැනු ළමයින් හයයි.

ලෝකයේ කොතැන උන්නත් ළමයින් දකින සිහින එකමාකාර බව ෆෙඩ්‍රික් කියන්නෙ තමන්ගේ කැමරා ඇහැ ඇතුළෙන්. ඒ කැමරා ඇහෙන් දැක්ක කතාවක හැඩය සහ පැහැය ‍තෝරා ගැනීම කියවන්නා සතු රාජකාරියක්.

 

නැෂනල් ජියෝග්‍රැ‍ෆික් ඇසුරෙනි

පින්තූර බලන්න ඕන නම්

ෆෙඩ්‍රික් ලරිනරිඩිගේ වෙබ් ලිපිනය:

fredriklerneryd.com

 

Young Ballet Dancers.txt

Displaying Young Ballet Dancers.txt.