වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
රටක හීන එගොඩ කරන ලක්ෂි පැන්න ලොකුම පිම්ම

වීසා ප්රමාදයමට World championship එකට හරස් වුණා
පුංචිම පුංචි කෙළි පැටික්කිගේ දාංගලය හරිම සුරතල්... මේ සුරතලයට අම්මගෙයි තාත්තාගෙයි තිබුණු ආදරයත් මුසුවෙලා දෝර ගලනවා. බන්දුල සිල්වා මහත්තයාගෙයි ගංගා ප්‍රමෝදනී මහත්මියගෙයි සෙනෙහස පිරුණු පුංචි කැදැල්ලට එකතු වුණු දෙවැනි සිඟිත්තියට අයියාගේ ආදරයත් මුසු වෙලා හරිම හැඩකාරයි. මේ ආදරය පිරි සෙනෙහෙ කැදැල්ලේ පුංචි දෝණිගේ දාංගලයට කාගෙවත් තහංචියක් නැහැ. හරිම සැහැල්ලුවෙන් කාලය ගෙවිලා යනවා.
"ගංගා අපේ පොඩි දුව කවදාහරි අපිට බැරි වුණු දේ කරලා Sport වලින් හොඳ තැනකට එනවා... ඒක මට දැන්මම හරියටම කියන්න පුළුවන්." මෙහෙම අනාවැකියක් කිව්වේ බන්දුල සිල්වා මහත්මයා පොඩි දෝණිගේ හැකියාව, බහ තෝරන වියේදීම හඳුනාගෙන.
එදා පානදුරේ බන්දුල සිල්වා කියපු අනාවැකිය හරියට හරි ගිහින්. ක්‍රීඩාවට හැමදාම ආදරය කරපු බන්දුල සිල්වාට ක්‍රීඩාවෙන් ඉදිරියට එන්න බැරි වුණාට අද ඒ අඩුව පුංචි දෝණි පුරවලා තිබෙන්නේ ආසියාවේම දුර පැනීම ඉසව්වෙන් දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වෙමින්. අම්මගෙයි තාත්තාගෙයි ආශිර්වාදයෙන් පුහුණුකරුවෙක් නැතුවම පානදුර ශ්‍රී සුමංගල බාලිකාවෙන් බිහිවුණු ක්රීඩාතරුව දැන් රටම ආදරය කරන අපේක්ෂා දල්වාගෙන බලා සිටින ක්‍රීඩිකාවක් වෙලා. ඇය තමයි ලක්ෂිනී සාරංගි ද සිල්වා. මලල ක්‍රීඩා පිටියේ දක්ෂතම ක්‍රීඩිකාවක් බවට පත්වන්නේ දුර පැනීමේ ඉසව්වෙන්. සාම්ප්‍රදායික රාමුවෙන් මිදිලා ක්‍රීඩාවෙන් ඉදිරියට ආපු ලක්ෂිනී දැන් තවත් දිගු පිම්මක් පනින්න සූදානම් වෙනවා. ඒ නිසාම ඇය මේ දිනවල දිගටම පුහුණුවීම් කටයුතුවල නිරත වෙනවා. කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් කරන අතරතුර පුංචි වෙලාවක් ගිමන් හරින මොහොතක අපට ඇය සමඟ පිළිසඳරේ යෙදෙන්න අවකාශය ලැබුණා.
සාරාංගි ආයමත් මොකද මේ පුහුණු වෙන්නේ...ළඟදී තරගයක්වත් තියෙනවාද?
අපි කතාවට මුල පිරුවේ ආසියානු ක්‍රීඩා තරගාවලියට පසුව නැවත අපේ හිතවත්කම අලුත් කරමින්. අපට ලබන අවුරුද්දේ තරග කිහිපයක්ම තියනවානේ. ඒ තරගවලට සහභාගී වෙන්න තමයි මේ පුහුණුවීම් කරන්නේ. Asian game, Asian champion game, World champion ship තරග තමයි අපට තියෙන ප්‍රධාන තරගාවලි. මේ තරග තුනටම යන්න බලාපොරොත්තුවෙන් තමයි පුහුණු වීම් කටයුතු කරන්නේ.
මේ අවුරුද්දේ කොහොමද සාරාංගිගේ තරග දක්ෂතා...
ඇත්තටම මේ අවුරුද්ද මට හුඟක් හොඳයි. මේ අවුරුද්දේ තමයි මගේ Nation championship වාර්තාව බින්දේ. ඒ වාර්තාව තමයි මීටර් 6.65ක. ඊට අමතරව Commoion welth game ගියා. ඒ තරගාවලියේදී මීටර් 6.42 ක මූලික තරගවටයේදී තියන්න හැකියාව ලැබුණා. ඊට පස්සේ අවසාන මහා තරගයට තේරුණා. නමුත් අවාසනාවට අවසාන මහා තරගයේදී කාලගුණය හරස් වුණා. ඒ කාලගුණය අපට අමාරුයි. ඒ විතරක් නොවෙයි තව අපට අත්දැකීම් අවශ්‍යයි කියලා හිතනවා. ඊට අමතරව World champion ship select වුණා. ඒත් මම ගියේ නැහැ. ඇත්තටම ලංකාවේ තිබුණු තත්ත්වෙත් එක්ක මට යන්න බැරි වුණේ. ඒකට මට visa apply කරන්න තිබුණෙත් ප්‍රමාද වෙලා. සතියක පමණ කාලයක් විතරයි. ඒක කාගෙවත් වරදක් නෙවෙයි. visa එක champion ship එකෙන් මට එව්වේ ප්‍රමාද වෙලා. ඒකට නොහැකි වුණු නිසයි මම Common welth Game එකට සූදානම් වුණා.
ඔයාගේ පසුගිය වාර්තා අතර හොඳම වාර්තා වුණේ මොනවාද?
මම ජාතික වාර්තාව තිබ්බා මීටර් 6.65. ඊට අමතරව මීටර් 6.52 වාර්තා කළා ජාතික තරගාවලියේදී. ඊට අමතරව Common welth game එකේදීත් හොඳ වාර්තාවක් තිබ්බා. සාරංගි දුර පැනීමේ ක්‍රීඩාවට එකතු වුණේ කොහොමද කියලත් පොඩ්ඩක් කියන්නකෝ....
මම පුංචිම කාලේ පටන් මේ ක්‍රීඩාවට දස්කම් පෙන්නුවා. මුලින්ම මට පුහුණුකරුවෙක් හිටියේ නැහැ. එහෙම පටන් අරගෙන තමයි මුලින්ම දුර පනින්න පටන් ගත්තේ. ඇත්තටම මේකට මගේ අම්මයි තාත්තයි දෙන්නගේ මඟපෙන්වීමත් හේතු වුණා. ඒ දෙන්නම මලල ක්‍රීඩාවට දක්ෂයි. මගේ මුල්ම පුහුණුකරු වුණේ මගේ පියා කිව්වොත් නිවැරැදියි. ඒ විතරක් නොවෙයි ඒ දෙන්නත් දුර පැනීම කරලා තියෙනවා. දැන් තාත්තා හමුදාවෙන් විශ්‍රාම අරගෙන ඉන්නේ.
ඔබ තරුණ ක්‍රීඩිකාවක්... ඒ නිසා තව දුර ගමනක් තියනවා. ඒ ගමන සැලසුම් කරලා තියෙන්නේ කොහොමද?
මගේ ක්‍රීඩා ගමන තීරණය වෙන්නේ දක්ෂතා එක්ක. මම ක්‍රීඩාවෙම යෙදී ඉන්න ලොකු බලාපොරොත්තුවක් නැහැ. මම උපාධිධාරිනියක්. මම ව්‍යාපාර කළමනාකරණය ගැන ICBT ආයතනයේ උපාධියක් කළා. මම හැමදාම ක්‍රීඩාවම කරගෙන යන්න කැමැති නැහැ. ඒකට තවත් අමතර සුදුසුකම් එකතු කරගන්න තමයි මම කැමැති. අනාගතයේ ලොකුම බලාපොරොත්තුව තමයි 2024 ඔලිම්පික් සිහිනය. ඒක තමයි මගේ ක්‍රීඩාවේ ලොකුම බලාපොරොත්තුව.
ඔබ දැනට රැකියාවක් කරනවා ද?
මම දැන් ඉන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ. යුද හමුදා ක්‍රීඩා කණ්ඩායමට ක්‍රීඩා කරන අතර පුහුණුවීම් කටයුතුවලට විශාල පහසුවක්. ඒ වගේම විශාල අනුග්‍රහයක් ලැබෙනවා.
සාරංගිගේ පුහුණුකරු කවුද?
වයි.ජී. කුලරත්න සර් තමයි මගේ දැන් පුහුණුකරු. ඔහු මට හමු වුණේ 2010 වසරේදී. ඊට පෙර පාසල් කාලේදී ඒ.සී.එස්. චන්ද්‍රසේන සර් තමයි පුහුණුකරු වුණේ. ඔහු පොඩි කාලයක් පුහුණුවීම් කළා. ඊට පස්සේ තනියම ක්‍රීඩා පුහුණුවෙලා තමයි කොළඹට ආවේ.
ඇත්තටම ඔබ දක්ෂ තරුණ ක්‍රීඩිකාවක්... ක්‍රීඩාවෙන් ඉදිරියට එන අපේ නංගිලාට මල්ලිලාට දෙන්න පුළුවන් උපදේශය මොකක්ද සාරාංගි...
ක්‍රීඩාවක් කරනවා නම් ඉගැනීමක් තියෙන්න ඕනේ. ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩිකාවක් වෙන්න නම් දැනුම අවශ්‍යමයි. අපට යම් දුරක් හරි යන්න පුළුවන් දැනුම තිබුණොත් විතරයි. ක්‍රීඩා කරනවා කියන්නේ කකුල් දෙකෙන් දුවගෙන ගිහින් පනින එක නොවෙයි. ඊට වඩා ඔළුවෙන් කරන්න ලොකු දෙයක් අපට තියනවා. ඒ Prepomes එක තමයි ක්‍රීඩාවේ රහස. ක්‍රීඩා කරනවා නම් අධ්‍යයනයක් තිබිය යුතුයි. ඒක තමයි දුර ගමනකට ශක්තිය.