දැනුම ලබන්න පිපාසයක් ඇතිකරගන්න

අප්‍රේල් 24, 2019

ජීවිතය දිනන්නට වෙර දරන මිනිසුන් වෙනුවෙන් අපි සාර්ථකත්වයේ රහස් ගෙන එන්නෙමු. ඒ රහස් අතරින් අප පසුගිය සතියේ සිට ඔබේ විමසුමට ලක්කළේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී ගේ සාර්ථකත්වයේ පාඩම් ය. අද අපි ඔහුගේ ජීවිතයෙන් ඔබට ගත හැකි තවත් පාඩම් කිහිපයක් විමසා බලමු.

ඔබ ආදරය කරන දේ කරන්න

එනම් ඔබ වඩාත් කැමැතිම දේ කරන්න යන්නයි. මෙසී කුඩා වියේදීම පාපන්දුවට පෙම්බැඳීය. ඒ ප්‍රේමය නිසාම ඔහු එයින්ම ජීවිතය සාර්ථක කරගත්තේය. ඔහු ආදරය කළ දේ කැපවීමෙන් ප්‍රගුණ කරමින් එය සාර්ථකත්වය බලා මෙහෙය වීය. විශිෂ්ට මින්සුන්ට විශිෂ්ට ප්‍රතිඵල ජනනය කරන්න පුළුවන්. මොකද ඒ මිනිසුන් කරන්නේ තමන් ආදරය කරන දෙයයි. ඒ නිසා ඔබත් ඔබ ආදරය කරන දේ කරන්න. ක්‍රීඩාවට අසීමිතව ආදරේ කළේ නැත්නම් මයිකල් ජෝර්ඩන් බාස්කට් බෝල් ක්‍රීඩාවට අතිවිශිෂ්ටයෙක් නොවන්න තිබුණා. අතිවිශිෂ්ට අමෙරිකානු ව්‍යාපාරිකයෙන් වන වොරන් බෆට් ඩොලර් බිලියන ගණන් ආයෝජනය කරන්නේ නෑ ඔහුට ව්‍යාපාර ගැන ආශාවක් කැමැත්තක් නොතිබුණි නම්. වැඩි වාරගණනක් පරාජයන්ට මුහුණ දුන් ජැක් මා තමන්ගේ ව්‍යාපාරය ගැන නොසිතුවා නම් එයට ආශාවක් නොතිබුණා නම් වැරදුණු අවස්ථාවන්හිදීම එයින් ඉවත් වෙන්න තිබුණා. ඒත් ඔහු ඔහුගේ ව්‍යාපාරය ගැන ආසාවක් ඇති නිසාම පැරදෙන්න පැරදෙන්න එයට නැවත නැවත යොමු වුණා. ජැක්ව නවත්වන්න බැරි වුණේ ඔහුගෛ් මේ ආශාවයි. ඔහුට එි පිළිබඳ හිතීම නතර කරන්නම බැරි වුණා. ඒ ව්‍යාපාරය ඔහුගේ රුධිරයයි. ඔහු නිදාගත්තේ, කෑම කෑවේ, කතාකළේ, බිව්වේ තමන්ගේ ව්‍යාපාරය ගැන සිහින දකිමින්මයි. ඒ නිසා ජැක් සාර්ථක වුණා. ඔබටත් යම් විස්මය දනවන ප්‍රතිඵලයක් හිමිකරගන්න වුවමනා නම් ඔබ ආදරය කරන දේ වඩාත් හොඳින් කරන්න. එයට ආදරය කරන්න. එය ඔබේ ජීවිතය කරගන්න. ඔබේ ජීවත්වීමේ මෝස්තරය එය බවට පත්කරගන්න. නිසැකවම අනෙක් අය පුදුම කරන ඔබට පවා එකවර විශ්වාස කළ නො හැකි හොඳම ප්‍රතිඵලයක් ඔබට හිමිවේවි.

 

පාලිකා දිල්රුක්ෂි

2019/04/24 තරුණි බලන්න