වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
“දුවේ..... පුතේ.... ඔයාලගේ අම්මාව, තාත්තාව අවසාන මොහොත දක්වා තනි නොකර ආදරයෙන් රැකබලාගන්න.”
ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය තේමා කරගත් මෙවර තරුණී කවරය සැරසෙන්නේ ආදරණීය ආත්තම්මකුගේ සහ මිනිබිරියකගේ ළබැඳියාව සනිටුහන් කරනා අපූරු සේයාරුවකිනි.
මේ දිනවල අතිශය ජනාදරයට පාත්‍ර ‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ ටෙලි නාට්‍යයේ පුංචි දෝණි සනුජි ලියන්සා ඒකනායක සමඟ සිටින මේ ආදරණීය ආත්තම්මා අපේ ප්‍රවීණ රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්නයි.
හැමදාමත් සෙනෙහෙබර මවකගේ, මිත්තණියකගේ භූමිකාවක් සමඟ පුංචි තිරය හරහා අපේ ආලින්දයට පියමනින හයසින්ත් සැබෑවටම ආදරණීය මවක් සේම මිනිබිරියක සහ මුනුපුරකුගේ සෙනෙහස ලබන මිත්තණියකි. ප්‍රවීණ රංගන ශිල්පිනියක ලෙසින් මෙන්ම සමාජ සද්කාර්යයන් හි නිරතුරුවම නියැළෙන්නියක වූ ඇය බිරියක, මවක, මිත්තණියක, ගෘහණියක ලෙසින් සිය වගකීම්, යුතුකම් ඉටුකරමින් සැහැල්ලු දිවියක් ගත කරන්නීය. ඉතින් ඒ නිස්කලංක ජීවිතයේ අපූරුව ගැනයි මේ කතාබහ.
කොහොමද මේ දවස්වල...?
“වරදක් නැහැ. හොඳින් ඉන්නවා. මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයකම වැඩ කටයුතු කරගෙන යනවා. හොරණ, පිළියන්දල, අතුරුගිරිය වාගේ කොළඹ අවට තමයි ඒවායේ ෂූටිං තිබෙන්නෙ. ඊට අමතරව ඉතින් මගේ දෛනික වැඩ කටයුතු වාගේම යාළු හිත මිතුරන්ගේ, නෑදෑයන්ගේ වැඩ කටයුතු සඳහාත් උදවු උපකාර කරනවා. නිදහසේ ජීවිතය ගලාගෙන යනවා.”
එතකොට ඔබ සමාජ සද්කාර්යයන් බොහොමයකටත් දායකත්වය දක්වනවා කියලා අපට ආරංචියි.
“අපෝ ..... ඒවා ඉතින් රටට, ලෝ්කෙට කිය කියා කරන දේවල් නෙමෙයිනේ. මම කවදත් උපන් දිනයට සාද පවත්වන කෙනෙක් නෙමෙයි. සාදයක් වෙනුවට නැතිබැරි, අපහසු කෙනෙක් වෙනුවෙන් යමක් කරන්නයි මට අවශ්‍ය. ඉතින් වියළි ආහාර, ඇස් කණ්ණාඩි, කාච, කෘත්‍රිම අත්, පාද, රෝද පුටු වගේ දේවල් අවශ්‍ය අය වෙනුවෙන් මම උදවු කරනවා. මම උපයන දේවල්වලින් විතරක් නෙමෙයි මේ කටයුතුවලට මගේ පුතත් මට උපකාර කරනවා.
මම නිතරම කඳානේ තිබෙන වැඩිහිටි නිවාසයකට යනවා. ඒ අම්මලත් එක්ක ෆිල්ම් බලන්න වගේම වන්දනා ගමන්, විනෝද චාරිකා යනවා. කෑම සකස් කරගෙන එතැනට ගිහින් එයාලත් එක්ක සතුටින් දවස ගතකරනවා.
ඊට අමතරව වකුගඩු රෝගීන්ට අවශ්‍ය ප්‍රතිපාදන එකතු කරන සංගමයකටත් මගේ දායකත්වය ලබාදෙනවා. වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මේ සඳහා ලොකු වෙහෙස මහන්සියක් දරනවා. සෑම පොහොය දිනයකම කැලණි විහාරයට යන එකත් මම අනිවාර්යයෙන්ම කරන දෙයක්. ඒ මේ සංගමයට ආධාර පිණිස සැකසූ පුවත්පත විකුණන්න. මම කොහේ හරි දුරගමනක් යද්දිත් මේ පුවත්පත ගෙනිහින් විකුණලා මුදල් හොයා දෙනවා. කැට එකතු කරන්න යනවා. ඔය විදිහට තමයි ඉතින් මගේ කාලය ගතවෙන්නේ.
ඇත්තටම මේ කටයුත්ත සඳහා මාව සම්බන්ධ කරගත්තේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ අයියා. ඒ වෙනුවෙන් එයාට මම හැමදාමත් ස්තූතිය පිරිනමනවා.”
මේ කියන දේවල්වල හැටියට නම් ඔබ හරිම කාර්යබහුල කාන්තාවක්. ඉතින් මේ කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද කියන්නකෝ ?
“අනේ මන්දා.... මට නම් ඉතින් වැඩ ටික කරලා ඉතිරිවෙන්න කාලයකුත් තියෙනවා. මොකද දවසේ වැඩ ටික පිළිවෙළකට, කලට, වේලාවට කරනවා නම් අපිට කාලය ඉතිරි කරගත හැකියි. මම සාමාන්‍යයෙන් උදෑසන 4.30 ත් 5.00 ත් අතර තමයි අවදි වෙන්නේ. ඊට පස්සේ පැය භාගයක් විතර මගේ ආගම අදහන්න යොදාගන්නවා. අනතුරුව නිවෙසේ උයන පිහන, පිරිසුදු කිරීම් වාගේ දේවල් කරනවා. මගේ වැඩට උදවු කරන්න කෙනෙක් හිටියත් කෑම පිසින වැඩ ටිකනම් මගේ අතින් කරන්න කැමැතියි.
ඊට අමතරව යොදාගත්තු වැඩවලට යනවා. යාළුවන්, නෑදෑයන් එක්ක ඇවිදින්න යනවා. මම උපතින්ම රෝමානු කතෝලික. ඒත් පල්ලියට වාගේම පන්සලටත්, කෝවිලටත් යනවා. ඒවායින් මට පුදුමාකාර මානසික සුවයක් ලැබෙනවා.”
අපි දැක්ක දවසේ ඉඳන් අද වෙනතුරු ලස්සනට ඉන්න රහසත් ඒක ද?
“මට හමුවෙන හැමෝම කියන්නෙ ඔය කතාව. අනේ මන්දා... මම දන්නෙ නෑ ඔය කතාව ඇත්තද කියලා. මම ඉතින් විශේෂයෙන් කියලා දෙයක් කරන්නෙ නෑ. මගේ හිත පිරිසුදුයි. සැහැල්ලුයි. මේ හිතට බරක් නැහැ. කාටවත් ඊර්ෂ්‍යා කුහකකම් කරන්නෙ නෑ. අනුන්ට මට පුළුවන් විදිහට උදවු උපකාර කරගෙන ඉන්නවා. ඉතින් සමහරවිට ඒකම වෙන්න ඇති හේතුව.
මම කවදත් ව්‍යායාම්, කෑමබීම තෝරාබේරාගෙන ගන්නවා වාගේ දේවල් කරන්නෙ නෑ. මොකද මම ව්‍යායාම් කරන්න හරිම කම්මැලි කෙනෙක්. එළවළු, පලතුරු ඔය ඕනෑම දෙයක් කනවා. ඉස්සරනම් හොඳට මස්, මාළු කෑවා. හැබැයි දැන් ටික කාලයක ඉඳන් මස්, මාළු ආහාරයට ගන්නේ නෑ. ඒ හැර අතට අහුවෙන ඕනෑම දෙයක් කනබොන කෙනෙක්.”
ඔබේ පවුලේ උදවිය ගැනත් කතා කරමු
“මගේ සැමියා අයිවන් විජේරත්න. එකම පුතා ශිරාෂ් විජේරත්න. මගේ ගම වුණේ කොළඹ, මෝදර. අයිවන්ලා පදිංචි වෙලා හිටියෙත් ඒ කිට්ටුවමයි.
ඡායා - ශාන් රූපස්සර
2019/10/02 තරුණි බලන්න